මානව සංහතියේ ප්‍රගමනය එක රැයකින් සිදුවූවක් නොවේ. වර්ෂ මිලියන ගණනක් තිස්සේ ලෝ වාසී සියලු ජනතාව එකතු කළ දැනුම මේ ප්‍රගමනයේ එක ප්‍රබල සාධකයක් විය. ආදි කාලීන ජන කොටස් අතර දැනුමේ බොහෝ සීමා සහිතකම් දකින්නට ලැබුණු අතර තමන් අවට සිදුවන සංසිද්ධීන් අවබෝධ කර ගනු වස් විද්‍යාවක් ඔවුන්ට නොවීය. ඉර, සඳ, තරු පායද්දී සොබාදහමේ ඒ අපූර්වත්වය වටහා ගැනීමේ භෞතික විද්‍යා දැනුමක් නොතිබුණු ආදී කාලීනයන් එකී ග්‍රහවස්තු දේවත්වයට නැංවූහ. වැසි වසිද්දී, අකුණු ගසද්දී බියපත් වූ ජනතාව සොබාදහමේ මේ අරුමැසිය වටහාගැනීමේ විද්‍යාව වෙනුවට සිය බියපත් බව විසින් තල්ලුකොට හරින ලද ආගමික ආස්ථානයන්ට පසු බැස්සහ. ලොව ආගම් පහළ වූයේ මෙන්න මේ දැනුමේ සීමා සහිත බව නිසාය.
සොබාදහමේ අභියෝගය ජයග්‍රහණය කරන්නට තරම් දැනුම බලවත් නොවූ යුගයක සොබාදහමේ අණසකට යටත් වීම හැර අන් ඉරණමක් ඒ ජනතාවට නොවීය. ලොව බිහි වූ බොහෝ ආගම් දෛවවාදයට නැඹුරු වූයේ එබැවිනි. ඒ අර්ථයෙන් බොහෝ ආගම් විඥානවාදී දර්ශනයක් අනුදත්හ. පසුබිම් කතාව කෙසේ වෙතත් ආගම් බිහිවීමෙන් සමාජ ක්‍රමය බරපතල වෙනස්කම්වලට ලක්විය. එකල ලෝකය පුරා පංති සමාජය අද මෙන් මෝරා නොතිබුණත් එවැනි මෝරා යාමකට තුඩු දෙන සුහුඹුල් ලක්ෂණ සමාජය තුළ යහමින් දකින්නට ලැබිණි. රාජ්‍යය, විධිමත් ආයතනයක් දක්වා කෙමෙන් විකාශනය වෙමින් තිබුණු අතර සිය ජනතාව මර්දනය කිරීමේලා, නොඑසේනම් පාලනය කිරීමේලා මර්දන උපකරණ අවශ්‍ය විය. ලොව බොහෝ ආගම් අන්න ඒ අර්ථයෙන් හැමවිටම පාලක පන්තියේ සේවයට කැප වී සිටියහ.
තත්ත්වය එසේ වුවත් හැම ආගමක් විසින්ම සමාජයේ පැවති තත්ත්වය වඩාත් යහපත් අයුරින් පවත්වා ගෙන යාම උදෙසා වූ ආචාරධාර්මික මඟ පෙන්වීම් ලබා දුන්නහ. ශිෂ්ටාචාරයේ ආරම්භක සලකුණු තබමින් සිටි ජනතාවකට එවැනි මඟ පෙන්වීමක් අත්‍යවශ්‍ය වූ අතර සමාජය ලෙහෙසියෙන් පාලනය කිරීමේලා පාලකයන්ටද එවැන්නක් තීරණාත්මක විය. සතුන් නොමරන, සොරකම් නොකරන, කාමයෙහි වරදවා නොහැසිරෙන, බොරු නොකියන, සුරා පානය නොකරන පුද්ගලයන් දුර්ලභ වූ බැවින්ම එවැනි ශික්ෂා පද ආගම් තුළට අන්තර්ගත විය. පන්සිල් යනුවෙන් බෞද්ධයන් හඳුනාගන්නා මේ ශික්ෂා පද අනෙක් ආගම් තුළද වෙනස් වෙනස් ස්වරූපයෙන් දකින්නට ලැබෙයි. ඉන් අප තේරුම් ගත යුතුව තිබෙන්නේ එවැනි ශික්ෂා පද සුරැකි ජනතාවකට වඩා ඒවා කඩ කළ ජනතාව බහුල වූ බවය. ඝාතනය සාමාන්‍යකරණය වූ සමාජයක ජනතාව ඉන් මුදා ගනු වස් “පාණාතිපාතා වේරමණී ශික්ෂා පදං සමාදියාමී” වැන්නක් අනිවාර්ය විය. අද ද සමාජය තුළ දකින්ට ලැබෙන අපරාධකාරී මානසික ස්වභවාය සැලකිල්ලට ගත් විට, ආදී කාලීන සමාජ විකාශනය තුළ එවැනි මානසිකත්වයක් පාලකයන් පැතූ සමාජ පිළිවෙළ තීරණාත්මක ලෙස අවුල් කරන්නට ඇත. ආගම් කෙරෙහි රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ පාලකයන්ගේ අමුතු ධාර්මික බවක් නිසා නොව ආගම් ඇසුරින් පාලකයන්ට ලැබුණු මෙන්න මේ පහසුව නිසාය. ශිෂ්ටාචාරයේ එක මොහොතකදී ආගම විසින් සිදුකළ කාර්යභාරය අප කැමති වුවත් අකැමැති වුවත් බැහැර කළ නොහැකිය. ජනතාව දේශපාලනිකව සක්‍රීය වීමේ හෝ සංවිධානය වීමේ ගුණය ආගම විසින් අහුරන අතර මාක්ස්වාදීන් ප්‍රමුඛ භෞතිකවාදීන් ආගම් ප්‍රතික්ෂේප කරන රහස ඇත්තේ එතැනය. ආගමක් තුළ සංවිධානය වීම වෙනුවට වඩාත් විද්‍යාත්මක දර්ශනයක් තුළ සංවිධානය වීමට ජනතාව සමත් වූවා නම් ලෝකය තුළ අද අප මේ දකින බොහෝ ඛේදවාචක අතුරැදන් වී යනු නියතය. ලොව පුරා දකින්නට ලැබෙන පංති විෂමතාවය සමාජය තුළ උත්පත්තියෙන් තිබුණු ස්වභාවයක් නොවේ. මුල් කාලීන සමාජය සාමූහිකව ජීවත් වූ අතර එය පංති විරහිත සමාජයක් විය. අපි ඊට “ප්‍රාග් කොමියුනිස්ට් සමාජය” යැයි කියමු.
එහෙත් එකී සමාජ ක්‍රමය බිද වැටී වහල්, වැඩවසම්, ධනේෂ්වර ආදී නම් ලත් සමාජ රටාවන් බිහිවූයේ හැම විටම එක ජන කොටසකගේ අයිතිවාසිකම් සූරා, පාගා දමමිනි. එක පංතියකගේ විභූතිය වෙනුවෙන් සාතිශය බහුතර ජනතාවකගේ ලෙයින්, රුධිරයෙන්, දහදියෙන් සහ බොහෝ විට සිය ජීවිතයෙන් පවා කරන ලද කැප කිරීම් මේ සමාජ සංවර්ධනය විසින් ඉල්ලා සිටි අතර ඒ ඝට්ටනයේදී සියලු ආගම් පීඩකයාගේ පැත්තේ සිට ගත්හ. වඩා දියුණු විද්‍යාත්මක දර්ශනයක් මත පදනම් වෙමින්, තියුණු දේශපාලනික මුවහත් බවකින් ලෝකය වෙනස් කරනු වෙනුවට, මේ භවයේ පින් රැස් කොට ඊළඟ ආත්මයේ සුඛිත මුදිත ජීවිතයක් ලැබීමේ අමන සිහිනයකට ඒ ජනතාව ගාල් කළහ. ආගම් විසින් ඉෂ්ඨ සිද්ධ කරන ලද මේ කාර්යභාරය නිසාම ලෝකය අද කිව නොහැකි යුද ගැටුම් වලින් පිරී තිබේ. කිව නොහැකි දුප්පත්කමකින් පීඩා විඳිමින් සිටී. ලෝකයේ එක කොටසක් අධිපෝෂණයෙන් රෝගාතුර වෙද්දී තව කොටසක් මන්දපෝෂණයෙන් මිය යති. ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් අමෙරිකාවේ මන්ද පෝෂණයෙන් මිය යන එබදු දරු පැටවුන් දිහා මහා කරුණාවෙන් බලා වැදෑරූ ශාස්තෘවරයෙකු ගැන හෝ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන අප අසා නැත.
එබදු ශාස්තෘවරයෙකු හෝ දෙවියෙකු සරණට නොපැමිණෙන නමුදු අපි නත්තල් කාලෙට නත්තල් සමරමු. වෙසක් කාලෙට වෙසක් සමරමු. පොසොන් සමයට පොසොන් සමරමු. කුණු කදු ජනතාවගේ හිස මත කඩා වැටෙද්දී ඒවාට වග කිව යුතු උන්නැහේලා මේ සැමරුම්වලට මුවා වී භාවනා කරති. අටසිල් සමාදන් වෙති. අසූහාරදහසක් ධර්මස්කන්ධය මෙනෙහි කරති. අවසානයේ ජනතාව මරා දැමීමේ සියලු පව් සෝදා හරිති. ජනතාවගේ රීරිමාංශය උරා බොන ධනපතියන් එක රැයෙන් දානපතියන් බවට පත් වී මහ දන්සල් පවත්වති. කොත් පලන්දති. කප්රුක් පූජා කරති. රාජ්‍යයේ අනුග්‍රහයෙන් වෙසක් කලාප නම් කෙරෙති. ඒ කලාපවල රශ්මයෙන් මීතොටමුල්ලේ අවතැන් වූ ජනතාවගේ ඡායාවද මැකී යති. පාලකයන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය එසේ පවතිද්දී තවත් සේනාවක් ආගම සුරුකීමේ ජාතික වගකීම තමන් අතට ගනිති. සිවුර කරට ගෙන තැන් තැන් වලට කඩා වදිති. කුණුහරුප වපුරති. කන පලන බවට තර්ජනය කරති. තමන් විසින් සමරන්නේ අහිංසාවාදය ඉහළින්ම අගය කළ ශාස්තෘවරයෙක් වග අමතක කරති. අල්ලා ගැනීම වෙනුවට අත හැරීම උත්කර්ෂයට නැංවූ ශාස්තෘවරයෙකුගේ ගෝලයන් බව අමතක කරති. ඒ ශාස්තෘ ආගමක් නිර්මාණය කළේ අනුගමනය කරන්නට මිස ආරක්ෂා කරන්නට නොවේ. එහෙත් ඒ වග මේ හාදයන්ට කියා දෙන්නට ඒ ශාස්තෘ දැන් නැත. එහෙත් දේශපාලනිකව සමාජය වෙනස් කරන්නට පතන ජනතාවකට හිතන්නට යමක් තිබේ. මේ ආගමික ඇස් බැන්දුම් අතරින් මුළු මහත් සමාජයටම දැනුම ගෙන යන මාදිලියක් තිබිය යුතුය. එබදු සබුද්ධික ජනතාවක් නොවන්නට මේ ආගමික උන්මත්තකයන් රට ඇෆ්ගනිස්ථානයක් බවට පෙරළනු ඇත. ඉරාකයක් බවට පෙරළුණු ඇත. අපට අවශ්‍ය සතුටින් සැනසිල්ලෙන් සිටින්නට හැකි ශ්‍රී ලංකාවකි. මන්ද යත් මේ රට ගිනි ගත්තත් යන්නට වෙන දීපයක් දේශයක් අපට නොමැති බැවිනි. අප මේ රට දිවි හිමියෙන් සුරුකිය යුතු වෙමු. ඒ සඳහා සිවුර කරට ගන්නා මදාවියන් පරාජය කළ යුතුය. එය අතින් පයින් පොර අල්ලා ලබාගත හැකි ජයක් නොවේ. ඒ සඳහා දැනුම අවශ්‍යය. අප දැනුමේ දේශපාලනයකට ජනතාවට ඇරයුම් කළ යුතුව ඇත්තේ එබැවිනි.
♦ නලින්ද සංජීව