බෙංගාල බොක්ක නැවත වරක් අප්සෙට්ය. මිනිසුන්ගේ සිත් සතන් වගේම පරිසරයද අඳුරුය. ශීතය. වැසිබරය. එහෙත්, ඒ අතරේම උණුසුමක්ද පැතිරෙනු දැනෙයි. ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය හේතුකොට ගෙනය.
සමහරු ඡන්දය පැවැත්විය යුතු යැයි කියති. තවත් සමහරු මේ එයට නිසි කාලය නොවේ යැයි කියති. නොයෙක් කතා බතා, වාද විවාද කෙරෙද්දී අපේක්ෂකයෝ, පාක්ෂිකයෝද පිරිවරාගෙන වැඩට බැස සිටිති.
යුද්ධය වගේම, ඡන්දයද හොඳ බිස්නස් එකකි. ඡන්දයේ දිනුම් - පැරදුම් කාට ගියත් එයින් අතුරු වාසි ලබන්නෝ නම් ගොඩ යති.
මෙවර ඡන්දය ඉතා තීරණාත්මක යැයි හැම පක්ෂයක්ම පවසනු ඇසෙයි. සැබැවින්ම එය සිරි ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳ ඉඟියක් පළකරනු ඇති බැවිනි. එසේ හෙයින් මෙවර ''පුංචි ඡන්දය'' වඩාත් තීරණාත්මක වනු ඇත්තේ, මේ රටේ පව් ගෙවන පොදු ජනතාවටය. ඉහතින් කී ආකාරයෙන්, ඡන්ද සමයේදී අතුරු වාසි ලබන පිරිස් අතරට, නැකැත්කරුවෝ නොහොත් දෛවඥයෝද අයත් වෙති. මේ දිනවල, ඡන්ද අපේක්ෂකයෝ එළිපිට හෝ හොර රහසේ දෛවඥ කාර්යාල වෙත යති.
මෑතකදී එක් පළාත් සභා අපේක්ෂකයෙක් දේශපාලන අනාවැකි කීම ගැන ප්‍රසිද්ධියක් උසුළන දෛවඥයෙක් හමුවීමට ගියේය. ඔහුගේ හඳහන පරීක්ෂා කළ, දෛවඥයා මෙසේ කීය.
''මහා බ්‍රහ්මයා එක්ක තරග කළත් මේ සැරේ ඔබතුමා උඩින්ම දිනනවා. ඒක වළක්වන්න ශක්‍රයාටවත් බෑ.''
මහත් සතුටට පත් අපේක්ෂකයා, දෑත් පිරිමදිමින්, පහත් ස්වරයෙන් මෙසේ ඇසීය.
''හැබෑද? මං වැඩි ඡන්ද කීයකින් විතර දිනයිද?''
''ඒකනං මට හරියටම කියන්ඩ බෑ. ඉර, හඳ, තරු වෙනස් නොවුණට, මිනිස්සුන්ගෙ අදහස් හිටිහැටියෙ වෙනස් වෙනවනෙ.''
දෛවඥයා, කපටි සිනාවක් පා ඇඟ බේරා ගත්තේය.
ඊට සුළු මොහොතකට පසු, අනෙක් පිලේ අපේක්ෂකයාද පැමිණියේය. දෛවඥයා ඔහුට මෙසේ පැවසීය.
''මෙදා පාර, සක්කරයගෙ පුතා වයිමා ආවත් ඔබතුමාගේ ජයග්‍රහණය වළක්වන්න බෑ''
ඒ අපේක්ෂකයාද ආපසු ගියේ මහත් සතුටිනි. අපේක්ෂකයන් සතුටු වන තරමට, දෛවඥයාට ලැබෙන තුටු පඬුරුද වැඩිවෙයි.
එහෙත්, මැතිවරණයෙන් පසු, ඇතැම් දෛවඥයන්ට ගෙවල් දොරවල්ද අතහැර සැඟවෙන්නට වූ බැව් පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණි.
ඇතැම් අපේක්ෂකයන් සිය මැතිවරණ ව්‍යාපාරය අරඹන්නේත් නැකතටය. ඡන්ද පොළට යන්නේත් නැකතටය. රුස්වීම් පවත්වන්නේ රාහුකාලය මඟ හරිමිනි.
මීට කලකට ඉහත, කොළඹට නුදුරු පළාතක විසූ, උපතින්ම සමාජවාදියෙක් ලෙස ප්‍රකටව සිටි, දේශපාලනඥයෙක් මැතිවරණයකට ඉදිරිපත් විය. මාක්ස්ටත් වඩා මාක්ස්වාදී බව පෙන්වුවත්, ඔහු මිථ්‍යා විශ්වාසයන්හි එල්බ ගත්තකු බව බොහෝදෙනාට රහසක් විය.
මැතිවරණ සමයේ දිනෙක ඔහු, රුස්වීමකට යාමට පිටත්වෙද්දී වහලයේ කොණක සිටි හූනෙක් කෑ ගැසුවේය. හූනු ශාස්ත්‍රය තදින්ම විශ්වාස කළ දේශපාලනඥයාට යකා වැහුණේය. සාලයේ මුල්ලක තිබූ තුවක්කුව අතට ගත් ඔහු, හූනාට වෙඩි තැබුවේය. හූනා කෙසේ වෙතත්, සිවිලිමේ කොටසකුත්, උළුකැට කීපයකුත් කැඩී බිම වැටුණි.
මෙම සිද්ධිය, විරුද්ධ පිලේ අපේක්ෂකයාටද ආරංචි වුණි. ඔහු එය, රුස්වීම්වල කියන්නට ගත්තේ රස කරමිනි. අවසානයේ, අර අපේක්ෂකයා පරාජය වූයේය.
සත්‍යගරුක දෛවඥයන්ද නැත්තේ නොවේ. මේ එවැනි අයෙක් පිළිබඳ උපහාස කතාවකි. වාසි අවාසි නොතකා, ඇත්ත කියන කියන්නකු ලෙස ප්‍රකටව සිටි දෛවඥයකු හමුවට, ප්‍රාදේශීය මැතිවරණ අපේක්ෂකයෙක් ගියේය. ඔහුටද අවශ්‍ය වූයේ තමා ජය ලබන්නේද යන්න දැන ගැනීමටය.
වේලාපත්කඩය පරීක්ෂා කළ දෛවඥයා, කනස්සලු පෙනුමින් හිස දෙපසට වැනුවේය. ''ඔබතුමාගේ උපන් වෙලාව හරි නෑ. මේ පාර පරදිනවා. අපරාදෙ, දවස් දෙකකට කලින් උපන්න නං, දිනන්න තිබුණා.''
අපේක්ෂකයාගේද මුහුණ මැළවිණි.
''එතකොට, මේ පාර දිනන්නෙ කවුද?''
''දවස් දෙකකට කලින් ඉපදුණු කෙනා දිනයි.'' දෛවඥයා ඉවත බලාගෙන කීය.
ජ්‍යොතිශ් ශාස්ත්‍රය යනු භාෂාවකි. එය හොඳින් උගත් පුද්ගලයාට, අහසේ ග්‍රහ තරු කියවා, අනාවැකි පළ කළ හැකිය. අපායේදී පමණක් එසේ කළ නොහැක. ඒ අපායට අහසක් නැති බැවිනි. එහෙත්, මෙලොව සිටි ජ්‍යොතිශවේදීන් (දෛවඥයන්) වැඩිපුරම සිටින්නේද අපායෙහිමය.
I කපිල කුමාර කාලිංග