2023 අප්‍රේල් 09 වන ඉරිදා

2023 අලුත් අවුරුද්ද කොහොමද?

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 632

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යක් වන සිංහල අලුත් අවුරුද්ද සඳහා දිනයක් වෙන්කර වසරක් පාසා චාරිත‍්‍රානුකූලව එය උත්සවශ‍්‍රීයෙන් සැමරීම සිදුකෙරේ. මෙය වසර දසදහස් ගණනකට පෙර සිට එන මංගල්‍ය චාරිත්‍රයකි. හිරු සඳු මුල්කොට ගනිමින් රාශි චක‍්‍රය පදනම්ව ගොඩනැගුණු මේ ඓතිහාසික උත්සවය තාරකා විද්‍යාවට අනුව මහ වර්ෂය හා බැඳී පවතී.

අස්විද නැකතේ සිට රේවතී නැකත දක්වා වූ නක්ශස්ත්‍ර 27 ඇතුළත් අංශක 360 ක වූ  ලෝක ගෝලය සමාන කොටස් 12 කට බෙදා ඇති අතර අස්විද බෙරණ හා කැති නැකතේ කොටසක් සමගින් ඇති අංශක 30ක ප‍්‍රමාණය මේෂ රාශිය ලෙසට සැලකීම ජ්‍යොතිෂයේ නියමයයි.

වත්මන්හි භාවිත වන කැලැන්ඩරය එකල නොපැවති අතර එහිදී භාවිතයට ගැනුණේ සූර්යයා සහ සඳු අතරේ ඇති කෝණමය වශයෙන් දුරස්වීම හරහා ඇතිවන තීථියන් දිනයන් සේ සලකමිනි.

හිරුගේ දිනයක් යනු අංශකයක් ගතකරන කාලයයි. අංශක 30ක් ගත කිරීම සූර්ය මාසයක් සේ සලකයි. උපකාල්පනික වශයෙන් හිරු එක් රාශියක් පසුකිරීමයි. එහි ආරම්භක මාසය මේෂය වන අතර වසරේ අවසන් මාසය මීනයයි. එය නක්ශස්ත්‍ර 27න් අවසන් නැකැත් 3 වැනි පුවපුටුප, උත‍්‍රපුටුප රේවතී යන නැකැත් තුන අයත් රාශියයි.

මීන රාශියේ ඇතිවන අමාවක දිනයෙන් පසු උදාවන හෙවත් සූර්යා සමග සිටි අංශකයෙන් සඳු ඉවත් වීමත් සමග චන්ද්‍ර මාසය වන බක් මාසය ආරම්භ වේ.

දින දර්ශනයට අනුව 2023 වර්ෂයේ බක් මාසය ආරම්භ වන්නේ මාර්තු මස 21 වැනි කුජ දින රාත‍්‍රී 10.57ට සූර්යා මීන රවියේ සිටින අවස්ථාවේදී ය. මෙම බක් මාසය තුළ සිදුවන සූර්ය සංක‍්‍රාන්තිය හෙවත් හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීම සිදුවන්නේ අප්‍රේල් මස 14 වැනි කිවි දින සවස 02.59ට බැවින් නව වසරක ආරම්භයක් හැටියට පිළිගැනීම බක් මහ උළලේ විද්‍යාත්මක පදනමයි.

මෙවර සිංහ ලග්නය උදාව පවතින අතර අතර 10 වැන්නේ සිකුරු බලවත් වූවත් එම සිකුරු පාප කර්තරී වී නිධානාම්ශව දුර්වලව පිහිටිම නිසා රජය කොතරම් උත්සාහ කළත් ජනතාවගේ නැගිටීම තුළ රජයට කිසිවක් කරකියා ගන්නට බැරි තත්වයක් උදාවීම වැළැක්විය නොහැක. මැයි 5 වෙනිදා දක්වා දේශපාලනමය වශයෙන් රටේ කලබැගෑනි රාශියක් මතුවීමට හේතු ඇති කරයි. විදේශ රටවල් පවා ජනතාවගේ සහායට ඉදිරිපත් වී සහයෝගය දක්වන බවත්.පෙන්නුම් කරයි. කෙසේ වෙතත් ඉදිරි කාල පරිච්ඡේදය දූෂණයෙන් තොර පරිපාලනයක් බලාපොරොත්තු විය හැකිය. ඒ සඳහා සංවත්සර කේන්දරයේ 7 වැන්නේ සෙනසුරු බලවත් වීමත් අෂ්ඨක වර්ග සටහනේ බාහ්‍ය කර්ණ අගයට වටා අන්තඃකර්ණ කොටසේ අගය වැඩි වීමත් හේතුවෙයි. කෙසේ වුවද වර්ෂයේ මැදෙන් පසු රටට අද පවතිනවාට වඩා යහපත් තත්ත්වයක් උදා වී ගැටලු නිරාකරණය වනු ඇති බව පැවසිය යුතුය.

නව වර්ෂය උදාවත් සමග බොහෝ දෙනෙකු වැඩි උනන්දුවක් දක්වන්නේ තම තමන්ගේ උපන් ලග්නයට මෙම වර්ෂය තුළ ජ්‍යෝතිෂමය වශයෙන් ඇතිවන යහපත අයහපත ගැන දැනගන්නටයි. 

එහෙත් මෙහිදී සංවත්සර කේන්දර සටහනට අනුව උදාවන වර්ෂය තුළ, එහි උදාව පවතින ලග්නය සහ එහි පිහිටි ග‍්‍රහයින්ගේ බලය හරහා ජන්මින්ගේ අභිවෘද්ධිය තකා යම් උපදේශාත්මක සරලව අදහසක් ගෙනහැරපෑම සිරිතකි.

මේෂ - ඉතා යහපත් වසරක්

අධ්‍යාපනයේ නියැලෙන අය වඩාත් සැලකිළිමත්විය යුතුයි. කෙසේ වෙතත් ජයග‍්‍රහණ රාශියක් අත්පත් කරගැනීමේ හැකියාව තිබේ. ශනි සහ කුජ දශා ගෙවන අය ජූලි 1 සිට අගෝස්තු 18 දක්වා වූ කාලය ප‍්‍රවේසම් වන්න. එම කාලය ආයෝජන සඳහා යොමු නොවන්නේ නම් මැනැවි. පොදුවේ ගත්කල්හි ඔබට ඉතා යහපත් වර්ෂයක් වන අතර ගෞරවාන්විත බව ලබාදෙයි. බොහෝ මිතුරන් ලබන උසස් බලාපොරොත්තුවලින් පිරී වර්ෂයකි. ගනුදෙනු යහපත් වේ. ගුරුගේ දශා ගතකරන අයට අගෝස්තු දක්වා අධික වියදම්, සතුරන් ඇතිවිම මෙන්ම හදිසි ප‍්‍රතිකාර අවශ්‍යවන්නට හේතු ද ඇති කරයි. නමුත් අගෝස්තු මාසයෙන් පසු අධ්‍යාපනයේ නියුතු අයට ඉතා සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකි බව පෙනෙන්නට තිබේ. ශරීර සෞඛ්‍යය යහපත් වේ. අමුත්තන්ගෙන් හා බාහිර අයගෙන් උදව් උපකාර ලැබෙනු ඇත.

වෘෂභ - කීර්ති ප්‍රශංසා ලැබේ

මෙම ලග්න හිමියන්ට ඉතා යහපත් වසරක් වන අතර අවිවේකී බව හේතුවෙන් ශරීර සෞඛ්‍යයට තරමක් හානි පැමිණිය හැකියි. නමුත් ගුරු දශා ගෙවන අය සැලකිළිමත් වන්න. ඔක්තෝබර් 3 සිට නොවැම්බර් 16 දක්වා රෝගවලින් ආරක්ෂා වන්න. එම කාලයේ ණය දීමෙන් හා ගැනීමෙන් වැළකී සිටින්න. උගත්කමින් ප‍්‍රයෝජන ගැනීමට හැකිවීමත් රැකීරක්ෂා ලාභ ලැබීමත්, උසස් අයගේ සැලකිලි ලැබීමත් ධාර්මිකව ජීවිකාව ගෙවන අයට කීර්ති ප‍්‍රශංසා ආදිය ලැබීමටත් හේතු ඇති කරයි.

මිථුන - ඉවසීමෙන් කටයුතු කරන්න

හිත කලබල සහිත වසරකි. බොහෝ ජයග‍්‍රහණ ලබාගතහැකි වන්නේ ඉවසීමෙන්මයි. ඉක්මන්කාරී හා ආවේගශීලී වීම නුවණට හුරු නැත. ජූලි 1 සිට සැප්තැම්බර් 18 දක්වා රවි ශනි දශා ගෙවන අයට මානසික වශයෙන් පීඩාවන් ඇතිකරන අතර දුරබැහැර ගමන් යෑමෙන් මෙන්ම ගිවිසුම් අත්සන් කිරීමේදීද කල්පනාකාරී වන්න. 2024 පෙබරවාරි 5 සිට මාර්තු 16 දක්වා කුජ ගුරු ශනි සිකුරු දශා ගෙවන අයට අගුණයි. කෙසේ නමුත් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. සැප්තැම්බර් මාසයෙන් පසු රුකීරක්ෂා ලාභ හා වැඩිහිටියන්ගේ උපකාරද පවුලේ සමගිය ඇතිවේ. මේ වසරේ ඔබේ බලාපොරොත්තු රාශියක් ඉටුවනවා නියතය.

කටක - රැකියා වෙනසකට

අලුත් තනතුරු ලබන්නට හොඳ වර්ෂයකි. එහෙත් සඳුගේ දශා ගතකරන අය නම් ආගමානුකූලව යහපත් ලෙසට ජීවිකාව ගෙනයෑම මැනැවි. ඔක්තෝබර් 09 සිට නොවැම්බර් 2 දක්වා කාලය ගෙවල් වාහන හා සුඛ විහරණය පිළිබඳ ගැටලුකාරී තත්වයන්ට මුහුණ පාන්නට සිදුවෙයි. විශේෂයෙන්ම කටක ලග්න හිමි අය රුකියා වෙනස් කිරීමෙන් කරදර විඳින්නට සිදුවන බැවින් වෘත්තිය ආරක්ෂා කරගන්න. කෙසේ වෙතත් පිට පළාත්වල සේවය සඳහා යෙදෙන්නට සිදුවෙයි.

සිංහ - විනෝදජනක දුරගමන්

විදේශ ගමන් සඳහා බලාපොරොත්තු වන අයට ඉතා හොඳ වසරකි. පොදුවේ ඔබට යහපත් වර්ෂයකි. හවුල් ව්‍යාපාරවලට හිතකරයි. කුජගේ දශා ගතකරන අය පවුලේ සමගිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැපවී ක‍්‍රියා කරන්න. එවැනි අය ඔක්තෝබර් 02 සිට නොවැම්බර් 16 දක්වා මානසික වශයෙන් හානියක් ඇතිකර ගන්නට පරිසරයක් ගොඩනැගෙන බැවින් ඒ ගැන දැනුවත් වී කලබල නොවී යහපත් තීරණ ගන්න. විනෝදජනක දුර ගමන් යෙදෙයි. ආගමික භක්තිය ඇතිවෙයි.

කන්‍යා - මිශ්‍ර ඵල

සඳු ග‍්‍රහයා ලග්නයේ 3 වැන්න හා 8 වැන්නේ සිටින අයට ශුභදායක වර්ෂයකි. නමුත් ගුරු දශා ගතකරන අය නොයෙක් දානමය පින්කම්වල යෙදෙන්න. එවැනි අයට සිකුරුගේ දශාවකුත් ලබා තිබේ නම් අගෝස්තු 1 සිට සැප්තැම්බර් 19 දක්වා ප‍්‍රවේසම් විය යුතුයි. අගෝස්තු මාසයේ සිට ශරීර සැපයට අහිතකර කාලයකි. මුරණ්ඩු දරුවන් ඇති කන්‍යා ලග්න හිමි දෙමාපියන්ට එම දරුවන් නිසා කරදර විඳින්නට සිදුවනු ඇත. ගුරු දශා ගතකරන අයට පවුලේ අසමගිය කරදර රෝග පීඩාදිය වර්ධනය වීම නඩුහබ හෝ තරඟ තිබේ නම් එයින් පරාජය අත්වීම ආදී අශුභතාවයන්ට මුහුණපාන්නට සිදුවන්නේ අගෝස්තුවලින් පසුවයි.

තුලා - වස‌‌ර මැදදී වාසනාව

තුලා ලග්න හිමියන්ට ඉතා බලවත් වූ ශුභදායක වර්ෂයක් වේ. විශේෂයෙන් ගුරු ශනි දශා ගතකරන අයට ශුභයි. ජූලි අගෝස්තු හා සැප්තැම්බර් මාස දෙකෙහි අධික වියදමත් පාඩු සිදුවීමටත් ඉඩ ඇති බැවින් එම කාලය කල්පනාකාරීවන්න. අන් අයට ජූලි දක්වා අධික වෙහෙසකර ගමන් යාමට සිදුවන අතර ඒ නිසාම අසනීප ඇතිවීමට පරිසරය සැකසෙයි. නමුත් ජූලිවලින් පසු නොයෙක් ආකාරයේ ගිවිසුම් මගින් වාසනාවන්ත තත්ත්වයක් ඇතිකර ගන්නට වාතාවරණය සලසා ගැනීමට හැකිවනු ඇත. බලාපොරොත්තු ඉටුවෙයි. මංගල යෝග උදාවෙයි.

වෘශ්චික - හිතේ සතුට සමග විශේෂ වාසි

මෙම ලග්න හිමියන්ට පදිංචියේ වෙනස්කම් ඇතිකරන්නට හේතු ඇති කරයි. අගෝස්තු 17 සිට සැප්තැම්බර් 17 දක්වා වෘත්තිමය වශයෙන් අයහපත් ප‍්‍රතිඵල ගෙන දෙන්නේ රවි හා ශනිගේ දශා ගතකරන අයටයි. ඒ ගැන විශේෂ අවධානයකට ලක්කොට අපහසුතාවයන් සමනය කරගන්නට උත්සාහ වන්න. ගෙදර දොර වැඩකටයුතුවලට වැඩිපුර වෙහෙසෙන්නට සිදුවෙයි. අසල්වැසියන් හා උරණ වන්නට හැකි මානසිකත්වයක් ගොඩනැගෙයි. එසේම අන් අයට අවංක ලෙසට සේවය සලසමින් ජීවත්වන අයට හිතේ සතුට මෙන්ම විශේෂ වූ වාසි අත්වනු ඇත.

ධනු - හැම අතින්ම ශුභයි

ධනු ලග්න හිමියන්ට ඉතාමත් ශුභ වර්ෂයකි. උපන් කේන්දරයේ සඳු ග‍්‍රහයා ලග්නය 5 වැන්න හා 10 වැන්නේ සිටින අයට ඉතා යහපත් වසරක් වනු ඇත. ජූලි මාසයෙන් පසු ඉතාමත් ශුභ කාලයක් උදාවනු ඇත. ඔක්තෝබර් 3 සිට නොවැම්බර් 16 දක්වා කාලය රවි සහ ගුරු දශා හිමියන් ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී සිටින්න. එසේම ඔවුන් එම කාලයේ වාද විවාදවලට යෑමෙන්ද වැළකී සිටින්න. වර්ෂය මැද දී ඉගෙනීමෙන් සාර්ථක ප‍්‍රතිපල අත්වන අතර සිතේ සතුට මෙන්ම ආදර සම්බන්ධතා ඇතිවේ. ඒවාටද ඉතා සාර්ථක අන්දමින් දෙමාපියන්ගේද ආශිර්වාද ලැබෙනු ඇත.

මකර - දේපල අවුල් ඇති වේ

සීමාවකින් තොරව විනෝදය සඳහා පෙළඹෙන අය ප‍්‍රවේසම් වන්න. වසර පුරාවට ශුභඵල අත්වන අතර ගුරු දශාව ගතකරන අය ශරීර සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ධනවත් වීමට මෙන්ම මුදල් රුස්කිරීමට පෙළඹුණත් එය අසීරු කරුණක් වනු ඇත. වැඩිහිටියන් තමාට විරුද්ධ වනු ඇත. ගෙදර වාසය කිරීමට එතරම් කැමැත්තක් නොදක්වනු ඇත. දේපළ පිළිබඳ අවුල් වියවුල් මතුවෙයි. ස්ථාන මාරුවක ඇතිවන්නටද ඉඩ ඇත.

කුම්භ - සියලු සැප සම්පත්

අගෝස්තු මාසයෙන් පසු ආර්ථික වාසි අත්වනු ඇත. සියලු සැප සම්පත් අත්විඳින්නට හැකිවේ. නමුත් 2024 පෙබරවාරි 02 සිට මාර්තු 16 දක්වා කාලය නොයෙක් ආකාරයේ කරදරවලට මුහුණපාන්නට සිදුවේවි. නඩුහබ ඇති අයට එම කාලයේ අවාසි වන අතරෙ බොහෝ දෙනකුට විශාල වශයෙන් පාඩු ගෙන දෙයි. එහෙයින් ලද දෙයින් සතුටු වී යහපත් දිවිපෙවෙතක් ගතකරන්නට සිතට ගන්න. කෙසේ වෙතත් තමුන්ගේ පුද්ගල කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් දක්වනු ඇත. නිදහස් ලෙස සිතන්නටත් තම බලය පෙන්වීමටද උත්සාහ දරනවා ඇත. තරමක් දුරට රාගාධික වනු ඇත.

මීන - දෙවරක් සිතන්න

අධික වෙහෙසකර වූ වර්ෂයකි. අගෝස්තු 18 සිට මාසයක් යනතෙක් රවිගේ දශාවක් ඇති අයට බොහෝ අහිමි වීම් හා ධන හානි ඇති කෙරේ. ඒ ගැන දැනුවත් වීම තුළ එයට සාර්ථකව මුහුණ දියහැකි වෙනවා ඇත. නමුත් මිත‍්‍රයින්ගෙන් රුවටෙන්නට සිදුවෙයි. රහස් කටයුතුවලින් ලාබ ලබන්නට පෙළඹෙයි. තීරණ ගන්නා විට දෙවරක් සිතා කටයුතු කරන්න.

සාමවිනිසුරු ජොතිෂ්‍යවේදී
වෛද්‍ය ඩබ්ලිව්. තිලක් ද සිල්වා