2017 ජුනි 03 වන සෙනසුරාදා

කොළඹටත් සිරිපාදයක්

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 385

සීතල උඳුවප් මහේ හිස ජටා බැඳ ඇඟ වසා පොරෝගෙන සමනළ ගිර කරුණා කිරීම පින්බර වන්දනාවකි. උඳුවප් පුරපෝය සිට වෙසක් පෝය දක්වා සය මාසයක් සිරිපා අඩවිය පාළු නොවන්නේත් තුන් සරණේ කවිවල නාදය ඇසෙන්නේත් ඒ නිසාය. අපූරු වන්දනා චාරිකාවක් වුවද මඟ අසීරුය. ගමන කටුකය. හමුවන දේශගුණික හා පාරිසරික ස්වභාවයන් හමුවේ ඇතැමකුට බලපාන සෞඛ්‍ය ගැටලු ගමනට පීඩාවකි. එවිට ගමන අතරමඟ නවත්වන බැතිමතුන් අසරණය. ඔවුනට සිරිපා කරුණාව සිහිනයක් වැනිය.

එවැනි සැදැහැවතුන් ඇතුළු ජනතාව උදෙසා අක්කර තුනකට අධික වනගැබක් තුළ පිහිටි පර්වතයක් මත්තේ අඩි 200ක් තරම් අහස උසට නැංවූ සකලාංග පූර්ණ සිරි පා අනුරුව සැබෑ ශ්‍රී පාදස්ථානය කරුණා කළාක් මෙන් බැතිමතුන්ට දැනෙන ආකාරයට ඉදිකෙරී තිබේ.

හෝමාගම, මාගම්මන සරණධම්ම විවේකාශ්‍රමය අනේක විද තුරුලතාවන්ගෙන් සෙවණ වූ පින්බිමකි. විහාරය පිවිසුමේ වම්පසින් වූ බිම්කඩ තරමක් සමතලා පොළවකි. වැලි මළුවක් වූ මිදුල පසෙක පිහිටි මකර තොරණ අපූරැය. ගාම්භීර පෙනුම අප සිරි පා වන්දනාවට පේ කරනවා වැනිය. හිස්වැසුම් පාවහන් ඉවත ලූ බැතිමත්හු තොරණ යටින් අනුරැව කරැණාවට සැරසෙති.

එතැනින් තරමක් දුරට දිවෙන්නේ වැලි හා පස් මිශ්‍ර ගුරු මාවතකි. එය කෙළවර වම් පස ස්වභාවදහමේ නිර්මාණයක් වූ පර්වතය බිත්තියක් වැනිය. ඒ අසලින් වූ අසීරු ගල්පඩි කළුගල් කැට ඇතිරූ එකකි. කඳු මාර්ගය එළැඹෙන ඉන් ඉදිරිය ගල් මුල් වන අතු රාශියක් පසු කළ යුතුය. ඈතින් කඩාහැලෙන දිය දහරක හඬට දෙසවන් පිරී යද්දී එහි අසිරිය දෑස මානයේ පෙනෙන්නේ වම්පස ගල් තලාවෙන් කඩාවැටෙන දිය ඇල්ල දැකීමෙනි. පඩියෙන් පඩිය ගලින් ගලට පැන යන ගමනේ හමුවන පියගැට පෙළකි. වරකට කෙනෙක් හෝ දෙදෙනකුට පමණක් යා හැකි තරමට එය පළලය, සවිමත් කොන්ක්‍රීට් ශක්තිය හා යකඩ අත්වැට සිරි පා අනුරූ වන්දනාවට පහසුවකි.

මෙතැන් සිට කඳු මුදුන දිස්වන්නේ වන ලැහැබක් මැද නැගී සිටින මහා පර්වතයක විලාසයෙනි. මුදුනට එක එල්ලේ නැගීම අසීරැය. කොන්ක්‍රීට් ඇතිරූ පඩි පේළිය වංගු සහිතය. තට්ටු කීපයකින් ඉහළට නැගුණු පඩිපෙළ තැනෙක වූ තැනිතලා කොටස් කීපයකට නිර්මාණය වූ පියගැට පේළි රැසකට ඈතින් වම්පස ඉඳිකටු පහන ලෙස සටහන් වූ පුවරැවකි. එතැන මීටර් කීපයක් දුරට එල්ලා ගැටගසන සුදු නූල් රැසකි. ශ්‍රී පාද වන්දනාවට ආවේණික චාරිත්‍ර ඇරඹෙන්නේ එසේය.

ශ්‍රී පාද වන්දනාවට පළමු වර යන ළමයි කිරි කෝඩු කාරයෝය. පළමු වතාවට යන වැඩිහිටියන් දඬු කෝඩු කාරයෝය. මේ දෙපිරිසම එක්ව ඉදිකටුවට අමුණන නූල ගැටගසන්නේ එතැනය. මහා පර්වතය පසෙක පිහිටි සුවිසල් වෘක්ෂයකි. එහි අතු පතර නැගෙන ශබ්දය මිහිරිය. ඒ අතර හමන සුළඟ බෙහෙවින් සිසිල්ය.

දැන් කෙමෙන් ගමන් මගේ අසීරු ඉසව්වට ළංවී ඇත. පියගැට පෙළ නැගීම දුෂ්කරය. පාදයක් තබා අනෙක් පය ඉස්සීම අපහසුය. පඩිපෙළේ අත්වාරුව ඊට තරමක සහනයකි. සීතල සුළඟ තිබුණද සිරුරට දහඩියද මුසුවේ. මේ නගින්නේ මහගිරිදඹය නම් අසීරු ඉසව්වයි.

වදින්න යන මේ නඩේට බුද්ධං සරණේ සරණයි. තාලයට ඇසෙන මේ කවි පද නිමවෙත්ම තවත් තැනෙකින් ඇසෙන්නේ,
වැඳලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. ආදී අපූරු කවි ගායනාය.

මේ අතර මහා දිය දහරක් කඩාහැලෙන ශබ්දය ඇසෙන්නේ ගමන් විඩාවට අස්වැසිල්ලක් හා සමානවය. පර්වතය මුදුනේ සිට ඇදහැලෙන දිය කඳ විසිරී පෙණ විහිදුවමින් ගලයි. මෙය සිරිපා අනුරුවේ සුන්දර සීත ගඟුලයි. සීතල සුළඟට මුසු වන දිය දහරේ පිනි බිදු ගත දවටන්නේ තව තවත් සීතල දනවමිනි.

තැනිතලා වංගු සහිත දුෂ්කර ගමන් මඟ විටෙක වැටී ඇත්තේ පර්වත කුහරය තුළිනි. පිටතින් සොබාදහමෙන් නිර්මාණය වූ විශාල ගලක් ලෙස පෙනුණද එය සිමෙන්ති බදාමයෙන් කළ එකකි. සවි ශක්තිය හා අත්වැට හරහා මනා ආරක්ෂාවක් තිබුණද හිතට තරමක බියකි. පර්වත කුහරයේ තැනෙක විශාල කුහරයකි. එතැනින් ඈත අහස මෙන්ම යායට විහිදී ගිය තුරු හිස් මෙන්ම කඳු වැටි පවා දකින්නට තිබේ. එතැන සැබැවින්ම විඩාව නිවන්නට සමත් නැරඹුම් ස්ථානයකි.

මේ ආකාරයට ස්ථාන කීපයක් පසු කළ පසු සිරිපා බිමට අධිගෘහිතව අදටත් වැඩ වාසය කරන බවට විශ්වාස කරන සමන් දෙවියන් උදෙසා වූ දේවාලය පිහිටුවා ඇත. එහි යන සැදැහැවතුන් දේව අවසර ලබා පේවී තුන් සරණය කවි ගායනා කරමින් කරුණා කිරීම දැකුම්කළු දසුනකි. එවැනි සුන්දර ගමනක් අවසානයේ තට්ටු හතකින් සමන්විත අඩි 200ක් අහස උසට නැගි ගමනේ අග්‍රඵලය උතුම් වූ ශ්‍රී පාද අනුරුව දැක බලාගැනීම හා නැමදීම සැදෑහැවතුන්ගේ නෙතගට සතුටු කඳුළක් එක්කරන්නට සමත්ය.

පර්චස් කීපයක වූ ගල් තලාවක ගොඩ නැංවූ ශ්‍රී පාද අනුරුව වන්දනා කළ බැතිමතුන්ගේ පහසුව උදෙසා ඉහළට නගින සහ පහළට බසින පඩිපේළි අන්ත දෙකකින් නිමවා ඇත. එහි පළමු පඩිපේළි කීපය බැසගත් තැන තරමක ඉඩ කඩ සහිතය. දොළොස්මහේ පහන දැල්වෙමින් තිබෙන්නේ එතැනය. තවත් පසෙක පිහිටුවනු ලැබූ ඝන්ඨාරයකි. නොනවත්වා සිදුකරන නාදය පරිසරය සිසාරා යයි. ඉර පෑයූ පැහැදිලි අහසක් ඇති දිනෙක මේ ස්ථානයට සමනළ අඩවියේ ශ්‍රී පාදස්ථානය ඈතින් දිස්වන්නේ කාගේත් සිත් පහන් කරමිනි. අනෙක් පස ඈතින් අහස උසට නැංවූ කොළඹ ගොඩනැගිල් සමූහයක් දකින්නට ලැබේ. ඒ හැර සෙසු සෑම ස්ථානයක්ම හරිත පැහැයෙන් යුතුය. හඳ පෑයූ පෝයදාට මේ බිමේ සිරියාව අනන්තය.

අඩි 200ක් ඉහළින් බිමට බසින පියගැටපෙළ අන්තයේ ගැඹුර ඊටත් වැඩිය. එහි පතුල අක්කරයක පමණ විහිදුණු නිල් දිය දහරින් පිරි වැව් තලයකි. ඒ ඔස්සේ පෙනෙන පරිසර සිරිය අපූරුය. පහළින් තුරුහිස් අතරින් පෙනෙන සුදෝ සුදු චෛත්‍ය, බුදුගෙය, සමාධි පිළිම වහන්සේ හා බෝධිය මෙන්ම වළාකුළු බැමි පේළිය මනස්කාන්තය. 

මේ සුන්දර සිරිපා අනුරුව සහිත පින්බිම වන්දනාවට හෝමාගම නගරයේ සිට දියගම මාර්ගයේ ක්‍රිලෝමීටර් 3ක් පමණ යායුතුය. මාගම්මන සරණධම්ම විවේකාශ්‍රමයේ විහාරාධිපති කොට්ටාවේ ධම්මානන්ද හිමියන් සිරිපා අනුරුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ උන්වහන්සේ දිනපතා ශ්‍රී පාදස්ථානය වෙනුවෙන් පුද සත්කාර කරන බවය. මෙරට පළමු වතාවට ස්ථිර වශයෙන් නිර්මාණය කළ සිරි පා අනුරුවේ වියදම ලක්ෂ 120කි. එය විහාරාධිපති හිමියන්ගේ පෞද්ගලික ධනයෙන් හා දායක පින්වතුන්ගේ ශක්තියෙන් ගොඩනංවා ඇත. මෙහි සැලසුම හා ඉදිකිරීම් ධර්මදාස සිරිවර්ධන මහතා විසින් සිදුකර ඇති අතර දිය ඇල්ල නිර්මාණය ටී. සිරිල් මහතා විසින්ද විදුලි සැපයුම් සුදත් හා දම්මික යන අය විසින්ද නිම කළ බව උන්වහන්සේ පවසති.

සිරිපා අනුරුව ස්ථිර වශයෙන් නිමවා පසුගිය වෙසක් පෝය වෙනුවෙන් දින ගණනාවක් ප්‍රදර්ශනය කෙරිණ. පවතින විවිධ ගැටලු මත නිතිපතා එහි ගමන් කිරීමට අවස්ථාව සැලසීම අපහසුය. එබැවින් සෑම වෙසක් හා පොසොන් පෝය දිනයක් වෙනුවෙන්ම මෙය විවෘතව තැබෙනු ඇත. ඒ අනුව මෙවර පොසොන් පෝය වෙනුවෙන් 8 වැනිදා සිට 12 තෙක් සිරි පා අනුරුව වන්දනාවට පැමිණිය හැකිය.

කතාව හා සේයාරූ - 
සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00