පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයෙන් තවත් රසවත් කියුම් දෙකක් අසන්නට ලැබුණි. ඉන් එකක් නම් හොරා කාපු බළලාට උම්බලකඩ පොල්ලෙන් දමා ගැසීමය. අනික, ලොකු සපත්තු කතාවය. ඒ දෙකම ඇමැති මාරු සම්බන්ධයෙනි.
ඇමැති මාරු ගැන මීට කලින්ද ලියා ඇති නිසා ඒ ගැන අලුතින් කියන්නට දෙයක් නැත. අනිත් අතට අපි වැනි සිම්පල් සයිමන්ලා එවැනි ලොකු තානාන්තර ගැන කතා කරන්නට යාමෙන් වන්නේ කට රිදීම පමණි. වැඩ සිදුවන්නේ ලොක්කන්ට ඕනෑ විදිහටය. නඩුත් හාමුදුරුවන්ගේය. උම්බලකඩ සහ සපත්තුත් උන්නාන්සේලාගේමය.
කරවල මෙන්ම උම්බලකඩද මත්ස්‍ය මාංශයකි. කරවලවලට නම් උගේ සම්භවය කියැවෙන තෝර, මෝර, පරා යනාදි වශයෙන් නමක් යොදයි. උම්බලකඩේ නම් මොකාගේ දැයි මොකෙක්වත් දන්නෙ නැත. ඒ කෙසේ වෙතත් නිර්මාංශික උදවියගෙන් බොහෝ දෙනා උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැත. එසේම බල්ලකුටවත් උම්බලකඩයක් දෙන්නේද නැත.
උම්බලකඩද සුඛෝපභෝගි ආහාරයක් තරමටම ගිනි ගණන් නිසා බල්ලන්ට තබා මිනිසුන්ටද උම්බලකඩ කෑමට සිදුවී තිබෙන්නේ හූල්ලමිනි. කාගෙන්වත් පිනට නොලැබෙන නිසා බල්ලන්ටද උම්බලකඩ කෑමට සිදුවී තිබෙන්නෙ හොරා කෑමෙනි.
හොරකම ගැන අපූරු කතාවක් ළඟදි ස්වාධීන රූපවාහිනියේ සොඳුරු ආඥාවෙන් අසන්නට ලැබුණි. ඊට සහභාගිව සිටි කුමාර තිරිමාදුර නම් ජනප්‍රිය නළුවා රට කරවන ඇත්තන්ට යෝජනාවක් කරමින් අවුරුදු හතරකට සොරා කෑම නතර කර රට සංවර්ධනය කොට ඉන් පසු යළි සොරා කෑවාට කම් නැතැයි කියා සිටියේය. එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබුණු අතර මුහුණු පොතටද එක්ව ප්‍රතිචාර ලබන්නට විය. අදාළ උදවිය කෙසේ වෙතත් මහජනතාව නම් තිරිමාදුරයන්ගේ යෝජනාව දෑතට ඔසවා ස්ථිර කරනවාට සැක නැත.
තිරිමාදුරගේ යෝජනාවෙහි අසරණකමක් මෙන්ම බැරෑරුම්කමක්ද ගැබ්ව ඇත. ඔහු සොරකම නතර කරන්නැයි කියන්නේ ටික කලකටය. එය සදාකාලිකවම නතර කළ නොහැකි තරමට මේ රට තුළ මුල් බැස ඇතැයි ඔහු සිතනවා විය යුතුය. එහෙත් රට දැන් තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට, තාවකාලිකව හෝ වංචාව, දූෂණය, මුදල් නාස්තිය, හොරකම නවතා රට වැසියන්ටද පොඩි චාන්ස් එකක් දිය යුතුය.
බිලියන ගණන් වියදම් කොට වාහන ගැනීමට මුදල් තිබෙන මේ රට දුප්පත් යැයි කියන්නේ මොන මෝඩයාද? ඒ වාහන දෙක තුනක් කාට කාට හෝ විකුණා ගතහොත් හැම වැසියකුටම බෝනස් එකක්ද දිය හැකිය.
මුදල් ඇමැතිතුමාට ලොකු සපත්තු කුට්ටමක් ලැබෙන්නේ මෙබඳු තත්ත්වයක් රටේ තිබියදීය. හිර සපත්තුවකට වඩා ලොකු සපත්තුවක් ලැබීම වඩා හොඳ බව අපගේ හැඟීමය. හිර සපත්තුවට කකුල කැපෙයි. දුර ගමනක් යා නොහැකි වෙයි. ලොකු සපත්තුව ඇතුළට රෙදි හෝ කඩදාසි ගුලියක් බස්සා ගත් පසු අද්ද අද්දා හෝ ගමන් කළ හැකිය. අලුත් පාරක ගමන් කිරීමට පෙර අලුත් සපත්තු කුට්ටමක් තිබේදැයි සිතා බලන්නැයි ඉංග්‍රීසි කියමනක්ද ඇත. සුප්‍රකට නිළි මැරිලින් මොන්රෝ කියූ ආකාරයට ගැහැනියකුට ගැළපෙන පාවහන් යුවළක් දුනහොත් ඇය ලෝකයම ජයගනු ඇත. මෙය ඇමැතිවරැන් සම්බන්ධයෙන්ද සාධාරණ බව පැහැදිලිය.
හැම දෙයකට මෙන්ම සපත්තුවටද දේශපාලනයක් ඇත. දේශපාලකයන්ට අපහාස කිරීමටද සපත්තු යොදා ගත හැකි බව 2008 වසරේදී ඉරාකයේ පැවති මාධ්‍ය හමුවකට ආ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ට එල්ල වූ ප්‍රහාරයෙන් ඔප්පු විය. දේශපාලකයන්ට සපත්තුවෙන් දමා ගැසීම හැකි මාධ්‍යවේදීන් ලෝකයේ සිටින බව ඒ සිද්ධියෙන් හෙළි විය. අපේ රටේ සිටි ඇමැතිවරයකු තමන්ට නමක් පටබැඳගත්තේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සෙරෙප්පු දෙක තම්බා සුප් බීමට වුව තමා නොපැකිළෙන බව ප්‍රකාශ කිරීමෙනි.
මිනිසකුට තිබෙන්නේ දෙපයකි. එහෙත් ඒ සඳහා පාවහන් දහස් ගණන් මිලදී ගත් අයද ලෝකයේ සිටි බව පිලිපීන ජනපති ආර්යාව ඉමෙල්ඩා මාකෝස්ගෙන් හෙළිවිය. දැන් ඇගේ පාවහන් එකතුව තිබෙන්නේ පිලිපීනයේ කෞතුකාගාරයකය. සපත්තු කුට්ටමකට පවා ඉතිහාසයේ කටුගෙට යා හැකි බව කවුරු කවුරුත් දැන සිටීම හොඳය. ඉතිහාසයට සපත්තුවක ලොකු පොඩිකමක් වැඩක් නැත. එය සළකන්නේ සපත්තුවක් ගිය ගමන පමණි.
සපත්තු දිලිහෙනවා - මිනිස්සු පිරිහෙනවා යැයි කියමනක්ද ඇත. ඉමෙල්ඩා මාකෝස්ට සිදුවූයේ ඒ සන්තෑසියය. දෙපා නොමැති අය දකින තුරා මිරිවැඬි සඟළක් ඉල්ලා හැඬීම ගැන නන්දා මාලනියගේ ජනප්‍රිය ගීතයකින්ද කියැවෙයි.
ඉංග්‍රීසියෙන් ෂූ මේකර් යනු සපතේරැවා නොහොත් පාවහන් සදාන්නාය. එහෙත් ජර්මනියේ ෂූ මේකර්ලා වැහි වැහැලාය. ඒ සැවොම සපතේරුවෝ නොවෙති. සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයකු දාන ෂූ මේකර්ගේ ක්‍රීඩා පාවහන් යුවළ ඩොලර් කෝටි ගණනකට වෙන්දේසි කළ හැකිය.
සපතේරුවා සහ කුරු මිනිසුන් දෙදෙනා පිළිබඳ සුරංගනා කතාව ලෝක ප්‍රකටය.
දුක් මහන්සිවී ජීවත්වන සපතේරුවකු හා ඔහුගේ බිරිඳ එක් උදෑසනක ප්‍රීතියට පත්වන්නේ කිසිවකු විසින් රාත්‍රියේදි අලුත්ම පාවහන් යුවළක් මසා නිමකොට තබාගොස් ඇති බව දැකීමෙනි. එදිනම එහි එන අමුත්තෙක් ලොකු මුදලක් දී ඒ අලුත් පාවහන් යුවළ රැගෙන යයි. පසුදින පාවහන් යුවළ දෙකක්ම දකින්නට ලැබෙයි. අර අමුත්තාම පැමිණ ඒ දෙකම මිලදි ගනී. මෙසේ ක්‍රම ක්‍රමයෙන් සපතේරු යුවළ පොහොසත් බවට පත්වෙති. තමන්ට රහසේ උපකාර කරන්නේ රාත්‍රියේ එන කුරු මිනිසුන් දෙදෙනකු බව සොයා ගන්නා සපතේරැ යුවළ ප්‍රති උපකාර පිණිස ඔවුනටද කුඩා ඇඳුම් කට්ටල දෙකක් හා පාවහන් පිරිනමති. එකිනෙකාට උදව් උපකාර කිරීමෙන් ලෝකය ප්‍රීතිමත් තැනක් කළ හැකි බව මේ කතාවෙන් කියැවෙයි. දේශපාලකයෝද සුරංගනා කතා කියති. එහෙත් ඒවා සැබෑ නොකරති. එහෙයින් ලෝකය තවමත් දුක්ඛිතය. දුප්පත්ය. වඩා වැදගත් වන්නේ සපත්තුවේ වටිනාකම හෝ ප්‍රමාණය නොව එය පැළඳ සිටින්නා යන ගමන බව නැවත සිහිපත් කරනු වටී.
සත්‍යය, තම පාවහන් පැළඳ ගැනීටමත් පෙර බොරුව, ලෝකය වටා ගමන් කරන්නට සමත් වන බව අපි දනිමු. ගළවා දැමිය යුත්තේ ඒ බොරු පාවහන්ය.
කපිල කුමාර කාලිංග