2023 අප්‍රේල් 30 වන ඉරිදා

මැයි පළවැනිදා යයි පෙළපාළි

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 134

මැයි දිනය අත ළඟය. එය ජාත්‍යන්තර කම්කරු දිනයයි. එහෙත් සිරි ලංකාවේදි නම් මැයි දිනයද දේශපාලනඥයන්ගේය. කම්කරුවන් ඇතුළු සියලු වැඩ කරන හා නොකරන ජනතාව විවිධ දේශපාලන පක්ෂවලට බෙදී මැයි දිනය දා පෙළපාළි යනු දැකගත හැකිය.

ලෝකයේ කම්කරුවන්ට එක්සත් වන්නැයි කීවේ කාල් මාක්ස් ය. සිරි ලංකාවේ කම්කරුවන්ට එය අදාළ නැත. කොටින්ම ඔවුන්ගෙන් බහුතරය මාක්ස් කවුදැයි හඳුනන්නේත් නැත.

වර්තමානයේ මෙරට කම්කරු පන්තියට නායකත්වය දෙන බොහෝ දෙනා අයත් වන්නේ ධනපති පන්තියටය. දැන් දැන් ඉස්සර මෙන් ''ධනපතියන් භංග වේවා'' යැයි කියනු අසන්නට නොලැබෙන්නේද එහෙයින් විය හැකිය.

මැයි දිනය ද දන්සලක් බඳුය. ප්‍රවාහනය, කෑම බීම නොමිලේය. සමහර විට මුදල් ද ලැබේ. දුර බැහැර පළාත්වල උදවිය නොමිලේ කොළඹ පැමිණ මුහුද බලා රැල්ල පාගා යන්නේ මැයි දිනයේදීය.

පෙළපාළිවල යන අය හඬ නගා කියන්නේ කල් තියා මුද්‍රණය කර බෙදා දෙන සටන් පාඨයන්ය. ඒවා කිසිදු සැබෑ නොවන ඉල්ලීම් බවද ඔවුහු දනිති. ''දියව් දියව්'' යැයි කොතෙක් කෑ ගෑවත්, කිසිදු ඒ කිසිවක් ලැබෙන්නේ නැත. මැයි දිනයෙන් පසු කොළඹ නගර සභාවේ කම්කරුවෝ බිම දමා ඇති සටන් පාඨ පත්‍රිකා කුණු කරත්තවලට එකතු කරගෙන යති.

මැයි දිනයේ පාට රතුය. බොහෝ දෙනාට මැයි දිනයට පමණක් එළියට ගන්නා රතු කමිස ඇත. කැපුවත් කොළ හා නිල් යැයි කියන අය පවා මැයි දිනයේදී රතු අඳිති. රතු මැයි දිනයේ ඉතිහාස කතාව ඔවුහු නොදනිති.

බොහෝ මැයි දින පෙළපාළිවලදී ධනපතියෝත්, නිර්ධනයෝත් එක්ව ගමන් කරති. පාලකයෝත්, පාලිතයෝත් එකම බැනරය යට අත්වැල්බැඳ යති. එහෙයින් වත්මන් මැයි දිනය යනු පන්ති සමගිය විදහා දක්වන සංදර්ශනයකැයිද කිව හැකිය.

මැයි දිනයට සෙනඟ රුස් කරවන උපක්‍රම කිහිපයකි. ඉන් වඩාත්ම වැදගත් වන්නේ මත්පැන්ය.

රතු කට්ට පැනපු ඇතැම් අය රුස්වීම් භූමිය තෙක් නොගොස් මඟ දෙපස පදික වේදිකාවල හෝ ගස් යට වැතිර ගනිති. සමහරු තමන්ගේ සංවිධායකයාගේ පෙළපාළිය මඟහැරී වෙනත් අයගේ පෙළපාලිවල ගමන් කරති. තමන් ගමේ සිට ආ බසය නතර කළ තැන සොයාගත නොහැකිව පසුදින පාරේ බසයක නැගී ආපසු යන අයද නැතුවා නොවේ.

කොළඹට නුදුරු ආසනයකට අලුත පත්වූ සංවිධායකවරයකු ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් පවත්වාගෙන ගිය සදාචාරවාදියෙකි. ඔහුගේ ලේකම්වරයා වූයේ මැයි දින සංවිධානය ගැන හොඳ අත්දැකීම් ඇත්තෙකි.

''සර්, පෙළපාළියෙ යන අයට අරක්කු දෙන්න වෙනවා.'' ඔහු කීය.

''නෑ නෑ නෑ.. මගෙ පෙළපාළියේ අරක්කු නෑ. ඒ වෙනුවට අපි හොඳම හෝටලේකින් බුරියානි දෙමු.'' සංවිධායක කීය. ලේකම්ටද ඊට එකඟ වීමට සිදුවිය.

බුරියානි සඳහා විශාල මුදලක් වැය කෙරුණි. එහෙත් මත්පැන් නැති බව දත් පාක්ෂිකයෝ කනස්සල්ලට පත්වූහ. පිටුපසින් පැමිණියේ වෙනත් ආසනයක පෙළපාළියකි. එහි ගමන් ගත් රථයක ඕනෑ තරම් කයිප්පු පැකට් තිබුණි. බුරියානි පැකට් ගත් ජනයා කසිප්පු පැකට් සොයා ගියහ. අවසානයේදි ''බුරියානි සංවිධායක'' ගේ පෙළපාළිය ගාලු මුවදොරට ළඟා වන විට එහි සිටියේ මුලින් සිටි සෙනඟින් හරි අඩකටත් අඩුවෙනි.

ටික කලකින්ම එම ආසන සංවිධායකවරයා සිය පිරිසුදු ප්‍රතිපත්තිත් සමඟ දේශපාලන භූමියෙන් ඈත්ව ගියේය. සිරි ලංකාවේදී ''මැයි දින මත්පැන'' එතරම් ප්‍රබලය.

දේශපාලන පක්ෂ මැයි දිනය යොදාගන්නේ තමන්ගේ ශක්තිය පෙන්වීමටය. එහෙත් ඇතැම් විට මැතිවරණවලදී පෙනී යන්නේ මැයි දිනයට ආ සෙනඟ තරමටවත් ඔවුන්ට ඡන්ද ලැබී නැති බවය.

මැයි දිනය ඉංග්‍රීසියෙන් May days ය. එයට තවත් තේරුමක්ද ඇත. ගුවන් යානා හෝ මුහුදු නෞකා අනතුරකදී සංඥා නිකුත් කරන්නේ ''මේ ඩේ, මේ ඩේ'' යනුවෙනි. 

එක් සිනා කතාවක එන අන්දමට ඉන්දියාවේ ප්‍රාදේශීය ගුවන් තොටුපළක් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක යාන්ත්‍රික දෝෂයක් ඇතිවිය. ගුවන් නියමුවා වහාම ගුවන් තොටුපළ අමතා ''මේ ඩේ, මේ ඩේ, මේ ඩේ'' යැයි කීය. නිවාඩු දිනයක් වූ හෙයින් එදින එහි සේවයට යොදවා තිබුණේ ආධුනික නිලධාරියෙකි. %මේ ඩේ^ සංඥාව නොදත් ඔහු මෙසේ කීය.

''ඔව් ඔව්, ඒ වුණාට අපි වැඩ''

ගුවන් නියමුවා යළිත් වරක් සැලෙන හඬින් ''මේ ඩේ, මේ ඩේ'' යැයි කීය. එවර ආධුනික නිලධාරියා මෙසේ කීය. ''මොනව කරන්ඩද කැප්ටන්. අපි වැඩ කරන පන්තියෙනෙ.'' සුළු මොහොතකට පසු මහ හඬක් නගාගෙන ගුවන් යානය තොටුපළට කඩා වැටුණේය.

I කපිල කමාර කාලිංග 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00