2017 ජුනි 03 වන සෙනසුරාදා

ජ.පුර රෝහලෙන් සඟරුවනට අසාධාරණයක්!

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

පූජ්‍ය පක්ෂය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් මෙතෙක් කාලයක් පවත්වාගෙන ගිය නොමිලේ ප්‍රතිකාර කිරීමේ ක්‍රමය අප්‍රේල් 6 වැනිදා සිට නතර කර දමා ඇති බවට අපට දැනගන්නට ලැබුණේ දින කිහිපයකට ඉහතදීය. ජාතික භික්ෂු පෙරමුණ විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහි ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් පවසා සිටියේ 2017.04.06 දින නිකුත් කර ඇති අභ්‍යන්තර චක්‍රලේඛ අංක 15/2017 අනුව, එය මේ වනවිට නවතා දමා තිබෙන බවත්, පැවති එම යහපත් පිළිවෙත වෙනුවට කිලෝමීටර් 5ක සීමාවක් පනවා ඉන් පිටත සිට පැමිණෙන පූජ්‍ය පක්ෂයේ අයගෙන් සම්පූර්ණ මුදල් අයකර ප්‍රතිකාර කිරීම මේ වෙනුවට ආරම්භ කර තිබෙන බවත්ය.

කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන පූජ්‍ය පක්ෂය ඉතාමත් සුළු සංඛ්‍යාවක් බව පවසන උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බලා අදාළ චක්‍රලේඛය වහාම අහෝසි කර පෙර තිබූ පරිදි පූජ්‍ය පක්ෂය සඳහා නිදහස් වෛද්‍ය ක්‍රමය නොපමාව නැවත ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් ද යවා තිබෙන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට බොහෝ දෙනකු ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ එහිදී ලැබෙන කාර්යක්ෂම සේවාව හා නිදහසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට ඇති හැකියාව නිසාය. මෙය අප රටට ලැබුණේ ජපන් රජයේ ආධාරයක් ලෙසිනි. මෙයට දශක තුනකට පමණ පෙර, එනම් 1984 වර්ෂයේ දී රෝහල විවෘත කෙරුණ අතර මෙහිදී පූජ්‍ය පක්ෂයට විශේෂ වරප්‍රසාදයක් ලබාදෙමින් පූජ්‍ය පක්ෂයට නොමිලේ ප්‍රතිකාර කිරීමේ එකඟතාවක්ද පැවතුණි. ඒ අනුව වසර ගණනාවක් තිස්සේ එම සේවාව ක්‍රියාත්මක වූ අතර ඒ හරහා ආගම් භේදයකින් තොරව සියලුම ආගමික නායකයන් හට නොමිලේ ප්‍රතිකාර කටයුතු සිදුකෙරිණි. නමුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට එම ප්‍රතිකාර සේවාව නැවැත්වීමට රෝහල් කාර්ය මණ්ඩලය මගින් තීරණය කිරීමත් සමඟම භික්ෂූන් වහන්සේලා කිහිප නමකම අපහසුතාවයට පත්වූහ.

“ඇත්තටම ජයවර්ධනපුර රෝහලෙන් ගෙන ඇති මෙම තීන්දුව ගැන මුලින්ම අපේ බලවත් කනගාටුව මෙහිදී ප්‍රකාශ කරනවා. පොදුවේ සියලුම ආගම්වල නායකයන් හට නිදහස් ප්‍රතිකාර ලබාදීම අත්හිටුවීමට තමයි මෙහිදී තීරණය කරලා තියෙන්නේ.”

ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් ඉහත කාරණාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළේ මෙලෙසිනි. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ හිමියෝ මෙසේ පවසති.

“මේ සම්බන්ධයෙන් මම ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් විමසීමක් කළා. එහිදී රෝහලේ අධ්‍යක්ෂකවරයා අප සමඟ පැවසුවේ මින්පසු රජයෙන් රෝහලට ලබාදෙන මුදල් අඩුකරන නිසා රෝහලේ වියදම් සීමා කිරීම හා රෝගීන්ගෙන් මුදල් අයකර ගනිමින් ආදායම් උපයාගත යුතු බවට භාණ්ඩාගාරයෙන් දැනුම් දුන් බවයි. ඒ අනුවයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ පූජ්‍ය පක්ෂය සඳහා මෙතෙක් කාලයකට සිදුකළ නොමිලේ ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අත්හිටුවන්නට.
මෙම රෝහල 1984 වසරේදී ශ්‍රී ලංකාවට දක්වන ගෞරවයක් හැටියට ජපාන රජයෙන් පිහිටුවන්නේ පූජ්‍ය පක්ෂයට නිදහස් ප්‍රතිකාර කිරීමේ එකඟතාවයක් එක්කයි. අපි මේකෙන් ප්‍රශ්න කරන්නේ ජපන් ජාතිකයන්ට තියෙන බෞද්ධකමවත් අපේ පාලකයන්ට නැද්ද කියලයි.

මෙවර ජාත්‍යන්තර වෙසක් දිනය ලංකාවේදි සමරලා, රාජ්‍ය වෙසක් උත්සව කරලා බලධාරීන් ජාත්‍යන්තරයට පෙන්වන්නට උත්සාහ කළා බෞද්ධ කේන්ද්‍රස්ථානය, ලෝකයේ බෞද්ධ මධ්‍යස්ථානය ලංකාව කියලා. නමුත් මේ රටේ ඉන්න ඉතාමත් සුළු පිරිසක් වන පූජ්‍ය පක්ෂයට එනම් බෞද්ධ භික්ෂූන්ට හා සෙසු ආගමික නායකයන්ට ලබාදෙන සහනය තමයි මේ විදිහට නවත්වන්නට කටයුතු කරලා තියෙන්නේ. 

ලංකාවේ ආගමික නායකයෝ ගොඩක් නෑ. ලක්ෂයක්වත් නෑ. ඒ අතරිනුත් වැඩිපුරම ඉන්නේ භික්ෂූන් වහන්සේලා. මුළු ජනගහනයෙන් 0.43ක් වැනි සංඛ්‍යාවක් තමයි පූජ්‍ය පක්ෂය ඉන්නේ. ඒකෙනුත් ජයවර්ධනපුර රෝහලට එන්නේ ඉතාමත් සුළුතරයක්. 0.001ටත් අඩුයි. එවැනි තත්ත්වයකදී තමයි රෝහලේ කාර්ය මණ්ඩලය මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ.

මෙතන තියෙන තවත් කනගාටු තත්ත්වයක් තමයි දැන් රෝහලට රෝගියෙක් ප්‍රතිකාර ගන්නට එන්නේ රෝගී තත්ත්වයක් නිසානෙ. මේ විදිහට ප්‍රතිකාර ලබාගන්න ආවම රෝගී තත්ත්වය විමසනවා වෙනුවට ඔබ ආවෙ කිලෝමීටර් කීයක දුරින් ඉඳලද කියලා අහනවා නම් ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මේ අය කිලෝමීටර් ගණන විමසලා තමයි ප්‍රතිකාර කරන්නේ.

ජයවර්ධනපුර රෝහලට යන්නට ස්වාමීන් වහන්සේලා කැමතියි. එතන පන්සලක් වගේ කියලයි ගොඩක් හාමුදුරුවරු කියන්නේ. උන්වහන්සේලා එම රෝහලට ගිහින් බොහොම සුවසේ ප්‍රතිකාර ලබාගෙන යනවා. ගෞරවනීය විදිහට ප්‍රතිකාර සිදුකෙරෙනවා. මෙම නව තීරණයෙන් පස්සේ ගොඩක් ස්වාමීන් වහන්සේලා අපහසුතාවයන්ට පත්වෙලා තියෙනවා. ළඟදි මේ කිසිදු දෙයක් නොදැන රෝහලට ප්‍රතිකාර ලබාගන්නට ගිය ස්වාමීන් වහන්සේ නමකට පරීක්ෂණ සඳහා මුදල් ගෙවාගන්නට ක්‍රමයක් නැති වීම නිසා අන්තිමේදි රෝහල් කාර්ය මණ්ඩලය තමයි උන්වහන්සේට මුදලින් උපකාර කරලා තියෙන්නේ. එවැනි සිදුවීම් කිහිපයක්ම සිදුවෙලා තියෙනවා. එතකොට මේ අය ලෝකෙට පෙන්වන බෞද්ධකම මොකක්ද? ආගමික නායකයන් හට තිබෙන සැලකිල්ල මොනවගේද? මෙය හරිම කනගාටුදායකයි. 
මෙතන තියෙන තවත් දෙයක් තමයි අපි දේශපාලන බලවතුන් ගත්තම ඒ අයට හෝ පවුලේ කෙනකුට රෝගයක් හැදුනම ඔවුන් ප්‍රතිකාර ලබාගැනීමට යන්නේ ලෝකයේ මිල අධිකම රෝහල්වලට. ලංකාවේ භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කිරීමේදී ඔවුන්ට ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මුදල් වෙන්කිරීමට සීමාවකුත් නෑ. ඒ ඔක්කොම කරනවා. මෙතන තියෙන්නේ දෙවිදිහක සැලකිල්ලක්. ජාත්‍යන්තරයට පෙන්වන බෞද්ධකම මේ අය ළඟ නෑ. පන්සිල් සුරකින ගුණයක් මේ අය ළඟ නෑ. වංචාකාරී, ප්‍රෝඩාකාරී හා සූරාකෑමේ ප්‍රතිපත්තියක් තමයි මේ අය තුළ තියෙන්නේ. මේ වනවිටත් භික්ෂූන් වහන්සේලාට ගත් ඉහත තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් තියෙනවා. ජනාධිපතිතුමාටත් අපි ලිපියකින් මේ බව දන්වලා තියෙනවා. ඒ සඳහා යම් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම විරෝධතාවක නියැලෙන්නට අපි බලාපොරොත්තු වෙනවා.”

වසර ගණනාවක් තිස්සේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් සිදුකරගෙන ආ නිදහස් ප්‍රතිකාර ක්‍රමය නතර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාගෙන්ද අපි විමසීමක් කළෙමු.

“ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ මුදල් අයකරන රෝහලක්. මේ වන විට අපට භාණ්ඩාගාරයෙන් උපදෙස් දී තිබෙන්නේ රෝහලේ වියදම රෝගීන්ගෙන් ලබාගන්නා මුදල් හරහා අපිම පියවාගත යුතුයි කියලයි. ඇත්තටම අපි විසින්ම ආදායම හොයලා රෝහල පවත්වාගෙන යාම තමයි සිදුකළ යුතු වෙන්නේ. පහුගිය කාලේ අපිට භාණ්ඩාගාරයෙන් අයවැය පරතරය දුන්නා. දැන් වසර තුනක ඉඳලා එම පරතරය බින්දුව කිරීමටයි අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ. ඊට අමතරව මෙම රෝහල තෘතියික වෛද්‍ය මධ්‍යස්ථානයක්. එහි අදහස වෙන්නේ දෛනික රෝග නෙමෙයි, විශේෂ රෝගවලට (හදවත් රෝග, වකුගඩු රෝග, බයිපාස් සැත්කම්) ප්‍රතිකාර කෙරෙන රෝහලක් ලෙසයි මෙය පවත්වාගෙන යන්නේ.

රටේ ඕනෑම රෝහලක් සාමාන්‍යයෙන් දෛනික ප්‍රතිකාර සිදුකරන්නේ රෝහල අවම කිලෝමීටර් 5ක් වැනි දුර ප්‍රමාණයකටයි. ඒ අනුව අපි තීරණය කළා, මුළු රටේම මේ වෙද්දි මෙම රෝහලේ ලියාපදිංචි වී සිටින දාහකට අධික භික්ෂූන්ගේ ප්‍රතිකාර කටයුතු එලෙසමත්, රෝහල අවට කිලෝමීටර් 5ක් දුර ප්‍රමාණයේ සිටින පූජ්‍ය පක්ෂයේ සියලු දෙනාට නොමිලේ ප්‍රතිකාර කිරීමටත් හා වෙනත් රෝහලකින් මෙම රෝහලට තෘතියික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලද පිරිසක් හැරෙන්නට කිලෝමීටර් 5ට වඩා දුරින් සිටින දෛනික රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට එන අය සඳහා යම් පාලනයක් සිදුකරන්නට. මොකද ඕනෑම රෝහලකදී මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් තියෙනවා.

තවත් දෙයක් තමයි පසුගිය කාලෙදි අපි ලබාගත්ත දියුණුවත් එක්ක අපේ රෝහල වෙත එන පූජ්‍ය පක්ෂයේ රෝගීන් සංඛ්‍යාව අතිශයින්ම වැඩිවීමත් සමඟ තෘතියික ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන බොහොමයක් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී යම් යම් අපහසුතා ඇතිවුණා. ඇතැම්විට මෙම තත්ත්වය පාලනය කරගැනීමට අපහසු තත්ත්වයකට පවා පත්වුණා. ඉතින් මුළු රටේම නොමිලේ ප්‍රතිකාර කෙරෙන අවස්ථාවක සාකච්ඡා වට කිහිපයකින් පසුව තමයි අපි තීරණය කළේ පූජ්‍ය පක්ෂයේ අලුතින් රෙජිස්ටර් වන හිමිවරුන් සඳහා කිලෝමීටර් 5ක දුර ප්‍රමාණයකින් සිටින අය සඳහා පමණක් නොමිලේ ප්‍රතිකාර ලබාදෙන්නට. නමුත් ඕනෑම අවස්ථාවකදී අප වෙත යොමුකරන හිමිවරුන් සඳහා ප්‍රතිකාර කටයුතු සිදුකරනවා. මෙය ඉතාමත්ම සාධාරණ තීරණයක් ලෙසයි අප නම් දකින්නේ.”

පූජ්‍ය පක්ෂය යනු සමාජයේ නිරතුරුවම වන්දනීයත්වයට බඳුන් වන ගරුතර කොට්ඨාසයකි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් පූජ්‍ය පක්ෂය උදෙසා නොමිලේ ප්‍රතිකාර සේවාවක් පවත්වාගෙන ගියේද ඒ අතිමහත් ගෞරවපූර්වත්වය නිසාමයි. එහෙත් මෙය තෘතියික වෛද්‍ය මධ්‍යස්ථානයක් බැවින් රෝහල් පරිපාලනය පැත්තෙන් ගන්නා ඇතැම් ක්‍රියාමාර්ගයන්හිද යම් සාධාරණීයත්වයක් තිබිය හැක. කෙසේ වෙතත් කිසිවක් ගැන තීන්දුවක් දීමට අපි ඉක්මන් නොවෙමු.

♦ හේමමාලා කුමාරි රාජකරුණා

තිබුණු පහසුකමක් නැති කළේ ඇයි?

I හෑගොඩ විපස්සි හිමි

ඕනෑම රජයක් කවුරු බලයට පත්වුණත් මෙතෙක් කල් තිබුණු දේවල් තියෙනවනෙ. භික්ෂූන් වහන්සේලාට කාලයක් තිස්සේ තිබුණු පහසුකම් තියෙනවා. ඇයි මේ පහසුකම් කපාහරින්නේ. මොකක්ද මේ අයට තියෙන බෞද්ධ විරෝධී අදහස්. ප්‍රතිකාර කිරීමක් කියන්නේ ගිලානෝපස්ථානයක්. භික්ෂූන් වහන්සේලා මේවා බලෙන් ඉල්ලන්න යන්නේ නෑ. නමුත් මෙතෙක් කල් තිබුණ පහසුකම් නැතිකරන්නේ ඇයි කියන ගැටලුව තමයි අපිට තියෙන්නේ.

භික්ෂු වරප්‍රසාද අහිමි කිරීමක්

I මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ සුදු ජාතීන් පාලනය කරන කාලයේත් භික්ෂූන් වහන්සේලාට සහන සලසලා දීලා තිබුණා. රෝහලකට වුණත් තවත් ඕනෑම තැනක වුණත් කහ සිවුරු දැක්කම යෑමේ අවසරය තිබුණා. ජයවර්ධනපුර රෝහලක් ආරම්භ කළ මොහොතේ ඉඳලා භික්ෂූන් වහන්සේලාට අයකිරීමකින් තොරව වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව තිබුණා. මේ මෑතක ඉඳලා භික්ෂූන් වහන්සේලාට දුන් වරප්‍රසාද නැති කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා බුද්ධාගමට තැන දෙනවා, ආරක්ෂා කරනවා, පෝෂණය කරනවා කියලා. එතකොට බුද්ධාගමක් ඉතිරිවෙන්නෙ නෑ භික්ෂූන් වහන්සේලා නැත්නම්. බුදුසසුන ආරක්ෂා කරන්නේ බුදුහාමුදුරුවොවත් විහාරයේ තියෙන ධර්ම ශාලාවවත් නෙමෙයි. මේ රටේ භික්ෂූන් වහන්සේලා තමයි සසුන ආරක්ෂා කරන්නේ. ඉතින් අධිරාජ්‍යවාදීන්ගේ කාලයේවත් නොකළ ආකාරයට අද වෙද්දි සිදුකරන මෙවැනි ක්‍රියාවලීන් සිදුවෙන්නේ බුද්ධ ශාසනය නගාසිටුවීමක් නෙමෙයි, බුද්ධ ශාසනය හෑල්ලුවට ලක් කිරීමක්.

තීන්දුව වෙනස් කරන්න එකඟ වුණා

I තීනියාවල පාලිත හිමි

මේ සම්බන්ධයෙන් මම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා සමඟ කතා කළා. මම එතුමාට කිව්වේ මෙතෙක් කල් කරගෙන ගිය වැඩපිළිවෙළ නවත්වන්න එපා කියලයි. මෙය ඉතාම අසාර්ථක වැඩපිළිවෙළක් බවත් මම පැහැදිලි කරලා දුන්නා. මේ මගින් රජයත් අපහසුතාවයට පත්වෙනවා. අනිත් එක ලංකා රෝහලත් පූර්ණ වශයෙන්ම පෞද්ගලික රෝහලක් වුණත් මාසයකට වරක් ආගමික නායකයන්ට රුපියල් හාරදහසක බෙහෙත් නොමිලේ ලබාදීම සිදුකරනවා. මේක තනිකරම රජයේ රෝහලක්. ඒ අය එකඟ වුණා මෙම තීරණය වෙනස් කරන්නට.”

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00