2017 ජුනි 03 වන සෙනසුරාදා

ගංවතුරින් ගොඩයන්න හදන ලොක්කන්ගේ පොර ටෝක්

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

තවකෙකු නාය යාමෙන් ඉක්බිති ක්ලීන් සූට් හැඳ පැළඳ නිරීක්ෂණ චාරිකාවල නියැලෙමින් එක දා ගත්තේය. ඇතැමෙකු කුඩා මඩ කඩිතිවලට බැස, ඡායාරූප upload කරමින්, තෙවරප්පෙරැමගේ චරිතය දුර්වල ලෙස අනුකරණය කරන්නට විය. ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ සිට ට්විටර් පණිවිඩයක් එවමින් ශෝකය පළ කරන්නට තරම් කාර්යක්ෂම වූහ. එතුමා ගැන නම් සතුටු වෙන්නට යමක් අපට තිබේ. ඒ පත්තරෙන් කියවන්නට කලින් ආපදා තත්ත්වය ගැන එතුමා දැන ගැනීම පිළිබඳවය. ආපදාවට අමතරව කෙනෙකු විස්මයටත් කැළඹීමටත් පත් වූයේ ජනාධිපතිවරයාගේ අන්න ඒ කාර්යක්ෂමතාවය පිළිබදවය. අගමැතිතුමා නම් නිලධාරීන් කැඳවා බබාලට මෙන් කළ යුතු දේ අරභයා උපදෙස් ලබා දෙන අයුරු අප රූපවාහිනී ප්‍රවෘත්ති තුළින් නැරඹුවෙමු. 

ඒ අතරේ අප නිරීක්ෂණය කරන ලද වැදගත්ම ලක්ෂණය නම් ආපදාවකට මූණදීමට අවශ්‍ය තරම් යන්ත්‍රෝපකරණ හෝ මෙවලම් ආණ්ඩුව සතුව නොතිබීමය. වෙසක්, පොසොන්, අවුරුදු ලබන තරම් ක්‍රමානුකූලව සහ විධිමත්ව ගංවතුර මාසයක්ද කැලැන්ඩර්ගත වී ඇති තත්ත්වයක් තුළ අඩුම ගණනේ ආපදාවට ලක් වීමට නියමිත අවදානම් කලාපවල හෝ සූදානම් ශරීරයෙන් නොසිටීමේ ආණ්ඩුවේ වරදට ජනතාව සිය ජීවිත වලින් සහ දේපලවලින් වන්දි ගෙවූහ. ගංදියේ වියරුවට එරෙහිව සිය ශක්ති ප්‍රමාණයෙන් සටන් කරමින් වහලවල් උඩට වී සිටි මිනිසුන්ව මුදා ගැනීමට බෝට්ටු ටිකක්වත් කල් තියා සූදානම් කර ගැනීමේ නුවණක් අප ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් නොදැක්කෙමු. ආපදාවකදී අමතන්න යැයි ඔවුන් විසින් ප්‍රසිද්ධ කොට තිබූ දුරකථන අංක බොහෝ විට කාර්යබහුල විය. ඉඳහිටක හෝ සම්බන්ධ කර ගත හැකි විටෙක නිශ්චිත පිළිතුරු දෙනවා වෙනුවට මරැ කියවන්නට ගත්හ. ඇතැම් විට මෙන්න මේ ගොල්ලන්ට කතා කරලා බලන්නැයි ඔවුන් ලබා දුන් අංක අප සමඟ උරෙනුර ගැටෙමින් වැඩ කළ අපේම සහෝදර සහෝදරියන්ගේ දුරකථන අංක විය. 

අවසානයේ අප තේරැම්ගත් තිත්ත ඇත්ත නම් ජනතාව තරමටම ආපදා කළමනාකරණ අමාත්‍යංශයද අවතැන් වී ඇති වගය. තත්ත්වය මෙසේ තිබියදී ජනතාව දෙයියන්ගේ පිහිට පැතූහ. කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ, රබර් උණ්ඩ ආණ්ඩුව සතුව ඕනෑ තරම් තිබුණත් බෝට්ටු, ගුවන් යානා, ප්‍රථමාධාර ආණ්ඩුව සතුව නොවීය. ඊළඟ ගං වතුරටවත් අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේ සපයා ගැනීමට කදුළු ගෑස් සඳහා වියදම් කරන ධනස්කන්දය ඉතුරැ කර ගන්නැයි අපි ආණ්ඩුවට දැන් තියා මතක් කරන්නෙමු. ආණ්ඩවට අමතරව තවත් පිරිසක් ගංවතුරින් අවතැන් වූහ. ඒ අතර බොදු බල සේනාවත්, සිංහල, රාවයත්, රාවණා බලකායත් කැපී පෙනුණි. සිංහලයන් ගැන හද කකියවන ප්‍රේමයකින් යුත් සංවිධාන තවමත් ආ ගිය අතක් නැත. සිංහල ගම්මාන එහෙම පිටින්ම ගං වතුරට ගසා ගෙන යද්දී, සිංහල ගම්මාන අනුකම්පා විරහිත නායයාම්වලට යට වෙද්දී ජාතිමාමකයින් වෙනුවට අප දුටුවේ මිනිසුන් කෙරෙහි වූ හුදු මානව දයාවෙන්ම ගේමට බැස සිටි කොල්ලෝ කෙල්ලෝ ටිකක් පමණි. 

පපුවේ සිංහලේ කොටා ගත් ශුද්ධ සිංහලයන් ද කොයි අත ගියා දැයි නොදනිමු. දැන් දැන් ලංකාව තුළ ජීවත් වීම අහම්බයක් බවට පත් වෙමින් තිබේ. කලෙක යුද්ධය නිසා ජීවත් වීම අහම්බයක් විය. දැන් ස්වභාවික ව්‍යසන නිසා ජීවිතය අහම්බයක් වෙමින් තිබේ. එසේ ජීවත් වන්නට සිදු වීම කරුමයකි. එහෙත් මේ වනාහී වෙනස් කළ නොහැකි කරුමයක් නොවේ. මානව සංහතිය සිය ප්‍රගතිය සටහන් කරගත්තේම සොබාදහම සමඟ අනවරත අරගලයක නිරත වෙමිනි. 

ඒ අරගලය ඉදිරියටත් වලංගුය. එහෙත් එකී අරගලය අපට ජය ගත හැක්කේ වඩ වඩාත් සබුද්ධික වීමෙන් මිස මිථ්‍යාව ළඟ දණ නැවීමෙන් නොවේ. මේ ව්‍යසනයේදී ද මිථ්‍යාවට ඇති ඉඩ කොතරම් දැයි අප සියැසින් දුටුවෙමු. පරිසරය හා අපට අරගලයක් ඇතත් එය ජය ගත යුත්තේ දියුණු පරිසර විද්‍යාත්මක වැඩපිළිවෙළක් තුළය. පරිසරයට ආදරය කරන කළමනාකාරීත්වයක් තුළය. පරිසරය ගැන නිසි පමණට සලකා බලන සංවර්ධන ක්‍රියාමාර්ග තුළය. අවසාන දිය දහරද වියළී ගිය පසු මුදල් අහාරයට ගත නොහැකි බව මිනිසා තේරැම් ගනු ඇතැයි වරක් සියැටල් කී කතාව හොඳටම වලංගු වන්නේ මේ යුගයටය. ලාභය පමණක් ඉලක්ක කරගත් ආර්ථික ක්‍රමයක් ඇතුළේ තව තවත් මෙබදු ව්‍යසන බලාපොරොත්තුවෙන් සිටියාට කම් නැත. ඒ විපත්තීන් මීටද වඩා කෲර විය හැකිය. මේ විපත්තීන්ගේ ප්‍රභවයට උපත දෙන සමාජ, ආර්ථික, දේශපාලන මූලාශ්‍ර දැන්වත් හඳුනා නොගන්නේනම් තිස්තුන් කෝටියම ලංකාවට ගොඩ බැස්සත් අපව ගලවා ගන්නට පුළුවන්කමක් නොලැබෙන බව, ඊළඟ නිරිතෙදිග මෝසමටත් ගංවතුර ගලනවා සේම සහතිකය.

නලින්ද සංජීව ලියනගේ

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00