2017 ජුනි 03 වන සෙනසුරාදා

සෙනසුරු අපලේ දුක් ගිනි ඉවර නෑ

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 535

සෞරග්‍රහ මණ්ඩලයේ සිටින ග්‍රහයන් අතරින් සෙමින් ගමනේ යෙදෙන ග්‍රහයා ලෙස සෙනසුරු නම් කර තිබේ. එක් රාශියක වසර 02 මාස 06ක් හෝ ඊට වැඩි කාලයක් ගත කිරීම මෙම ග්‍රහයාගේ ස්වභාවයයි. පසුගිය 2016 වසරේ මැද භාගයේදී තමන්ට සතුරු ග්‍රහයෙකු වන එසේම එකිනෙකාටද සතුරු වන අඟහරු ග්‍රහයාට අයත් වෘශ්චික රාශියෙන් ඉවත් වී බ්‍රහස්පති ග්‍රහයාට හිමි ධනු රාශියට ඇතුළු විය. සාමාන්‍යයෙන් වෘශ්චික රාශියද සෙනසුරුට සතුරු ස්ථානයකි. 

ඒ අනුව සෙනසුරා සතුරු වෘශ්චිකයේ සිටි කාලයේදී අප රටට හා සමාජයට, පරිසරයට විඳින්නට මඟ පැදුණු අයහපත් ප්‍රතිඵලවල බලපෑම් අදටද අවසන්වී නැත. එසේ තිබියදී දැනට ධනු රාශියේ සිටින සෙනසුරු ග්‍රහයා මෙම අප්‍රේල් 06 වැනිදා සිට වක්‍ර ගමනක් ආරම්භ කර තිබේ. එයින් ඇති වූ බිහිසුණු ප්‍රතිඵලය සිංහල - දෙමළ අලුත් අවුරුද්ද ආරම්භ වූ දිනවලදීම අප කාටත් දැකගන්නට ලැබුණි. කුණුකන්ද නායයාමද ඊට නිදසුනකි. රාහු කේතු ග්‍රහයන් දෙදෙනාද සතුරු රාශියේ සහ කුම්භ රාශියේ ගමන් ගන්නා අතර මෙම වසරේ අගොස්තු 18 වන දිනය දක්වා එම රාශිවල සිටිනු ඇත. වක්‍රවු සෙනසුරු ග්‍රහයා 2017-06-21 දින ආපසු වෘශ්චිකයට පැමිණෙයි. ලංකා කේන්ද්‍රයට අනුව (කුම්භ ලග්නය ශ්‍රී ලංකාව අයත්වන බැවින්) මෙය අහිතකර බලපෑම් රජයට, නායකකාරකාදීන්ට ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇති බව මගේ හැඟීමයි. 

පොදු ජනතාව පීඩනයට

රහස් කුමන්ත්‍රණ, බෙදීම්, බිඳීම් ආදිය ඇතිවීමෙන් විශේෂයෙන් පොදු මහජනතාව බොහෝ පීඩාවන්ට පත්වනු ඇත. කම්කරුවන්, දුකට පත් අය තව තවත් කරදරවලට ලක්වන බවද පෙනෙන්නට තිබේ. ජුනි 21 ඔක්තෝබර් 25 අතර කාලය සෙනසුරු චක්‍රය යෙදී ඇත. මේ කාලය තුළ කුජ ග්‍රහයාද නීච රාශිගතව සිටින බැවින් ආරක්ෂක අංශවල අයටද අයහපත්වේ. තරුණ කොටස් අතර අරගලකාරී තත්ත්වයක් ඇතිවනවා සේම ඒවා පාලනය කිරීමට යාමේකී ඉහතදී ආරක්ෂක නිලධාරින්ටද අනතුරුවලට මුහුණ දීමට හා ගැටුම්කාරී තත්ත්වයන්වලට මුහුණදීමටත් සිදුවනු ඇත. විශේෂයෙන් බෞද්ධාගමික පූජකයන් වහන්සේලාටද ග්‍රහ පිහිටීම් අශුභ ලෙස බලපවත්වයි. සිත් බිඳීම්, කලකිරීම් වැනි දේවල්ද පැනනැගීමෙන් රටතුළ අවුල් ගෙනදෙන බවද පෙනේ. 

ලග්න පහකට ඒරාෂ්ඨක

මහජනයා අතර නොසන්සුන් බව අධික වීමටද ඉඩ තිබේ. මේ අයහපත් ග්‍රහචාරය තරමක් දුරට හෝ සැලකිල්ලට ගෙන කටයුතු කරමින් සාමකාමීව බුද්ධිමත්ව තීන්දු තීරණ ගනිමින් හා ඒවා ක්‍රියාවට නගමින් මෙම ග්‍රහ පීඩා වළක්වා ගැනීමට කල්පනාකාරී විය යුතු බව සැම දෙනාම සැලකිල්ලට ගත යුතුය.

අඟහරු නීචය නිසා වාහන, යන්ත්‍ර වර්ග වලින් විය හැකි අනතුරැ ඉහළයාමක් ඇතිවිය හැකි බැවින් ඒ ආශ්‍රිත කටයුතුවල යෙදෙන අය වෙනදාට වඩා සැලිකිලිමත් වන්න.

මෙම සෙනසුරු වක්‍ර ගමන යෙදී තිබෙන කාලය තුළ වෘශ්චික, තුලා, ලග්න හිමි අයට සහ ධනු ලග්න හිමි අයට ලග්න එරාෂ්ඨක නම් අපලයද මේෂයට අෂ්ඨම ඒරාෂ්ඨකයද යෙදෙනු ඇත. එනමුත් උපන් ග්‍රහ පිහිටීම් සහ දැනට ගතකරන දශා අතුරු දශා අනුව අපලවල තත්ත්වයන් ගැන තීරණය කළ යුතුය. සෑම කෙනෙක්ම ඉවසීමෙන් සහ කල්පනාකාරීව කටයුතු කර ජීවිතය සාර්ථක කරගත යුතුවේ. 

ජ්‍යොතිර්වේදී
ඩී.ඩබ්.පී. ලියනගේ