2017 ජුනි 03 වන සෙනසුරාදා

ලංකාව කුඩු කප්පිත්තන්ගේ කෙළිබිමක්!

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:02 151

පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව මෙරට තුළ සිදුවෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හසුකර ගැනීමේ මෙහෙයුම් තවත් උත්සන්න කෙරෙමින් පවතී. එම මෙහෙයුම් වැදගත් පියවර ගණනාවකින් ඉදිරියට තැබීමට මේ වන විට එම අධිකාරීහු සමත්ව සිටිති. මෙම වැටලීම්වලදී ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන්වන ක්‍රම හඳුනාගැනීමට මූලිකත්වයක් ලබාදෙන අතර මෙහිදී හෙරොයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරේ.

හෙරොයින් යනු ප්‍රබල මත්ද්‍රව්‍යක් වශයෙන් හඳුන්වා දී ඇති අතර පොලිස් මූලස්ථානයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙම ප්‍රබල මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 259ක් පසුගිය ජනවාරි 01 වැනිදා සිට මැයි 18 අතර කාලය තුළදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී සිටී. ඒ අනුව පසුගිය වසරට වඩා මෙම වසරේ අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. පසුගිය මුළු වසර තුළදී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 266.96 කි.

මේ වසර තුළදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් ප්‍රමාණය මේ ආකාරයට ඉහළ යනු ලැබුවේ පසුගිය මැයි මස 11 වැනි දින පුත්තලම පොලීසිය මගින් හලාවත මුතුපන්නිය ප්‍රදේශයෙන් අල්ලා ගනු ලැබූ කිලෝග්‍රෑම් 198 හේතුවෙනි. මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළදී අත්අඩංගුවට ගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය එය විය. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියන දෙකක් ඉක්මවා ඇති බවට ගණනය කොට ඇත.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ. මෙම සාර්ථක හෙරොයින් වැටලීම සිදුවූයේ පිළියන්දල වෙඩි ප්‍රහාරයෙන් දින දෙකකට පසුවය. මෙම වෙඩි තැබීම හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකු බරපතළ තුවාල ලැබූ අතර එක් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්විය. අසල වෙළෙඳසලක සිටි 12 හැවිරිදි දැරියකද වෙඩි වැදීමෙන් තුවාල ලබා පසුගියදා මියගිය අතර ඇයගේ සොහොයුරාද බරපතළ තුවාල ලබා රෝහලේ පසුවෙයි.

එම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට නායකත්වය ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කරනුයේ එම නිලධාරියා එකී කාර්යාංශයේ ඉහළින්ම දක්ෂතා පෙන්වා ඇති නිලධාරියකු බවයි. එසේම පොලිස් පරීක්ෂක රංගජීව මහතා විසින් සිදුකළ වැටලීම් විසිඅටකදී හෙරොයින් කිලෝග්‍රෑම් 500කට වඩා වැඩි ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ. ගණන් බලා ඇති ආකාරයට ඔහු තනිවම මේ වන විට හෙරොයින් ටොන් භාගයක තරම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ නිලධාරියෙකි.
මූලික විමර්ශනවලින් පසුව එම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලද චූදිතයන් හතර දෙනකුට මේ වන විට මරණීය දණ්ඩනය නියමව තිබේ. අනෙකුත් නඩු මේ වනවිටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
පසුගිය වසරේ පොලීසිය හා නාවික හමුදාව ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමකදී බහුදින යාත්‍රාවක් මගින් රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝ 111ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර එහිදී විදේශිකයන් 14 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම වැටලීමද සිදුකරන ලද්දේ එකී පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු ඔත්තුවක් අනුව බවද සඳහන් වේ.

හෙරොයින් ජාවාරම් වැටලීම් සම්බන්ධයෙන් ඔහු හිමිකරගෙන තිබූ කීර්තිනාමය හේතුවෙන් ඔහු මරාදැමීම සඳහා කුඩු ජාවාරම්කරැවන් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක කරයි. පිළියන්දල ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ වී තිබුණේ පොලිස් පරීක්ෂක රංගජීව ඝාතනය කර දැමීම බව පැහැදිලි වේ.

2000 වසරේ සිට මේ දක්වා කුඩු ජාවාරම් නඩු විභාගවලින් පසුව විදේශිකයන් විසි දෙනකුද ඇතුළත්ව පුද්ගලයන් එකසිය හතර දෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව තිබේ. මෙම කාලය තුළදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළින් වැටලීම් 97ක් විමර්ශනය කර ඇත. එසේම වැරදිකරුවන් බවට සනාථ වූ දහසය දෙනකුට මරණීය දණ්ඩනය නියම කෙරිණි. එම 16 දෙනා අතර කුඩු රජකු ලෙසින් සැලකෙන වෙලේසුදා සහ නේපාල ජාතිකයෙක්ද කාන්තාවක්ද සිටිති. හලාවතදී සිදුකළ විශාල හෙරොයින් වැටලීමට අමතරව පසුගිය සති කිහිපය ඇතුළත තවත් හෙරොයින් ජාවාරම් ගණනාවක් අල්ලා ගැනීමටද හැකිව තිබේ.

මැයි 12 වැනිදා ශ්‍රී ලංකා වෙරළාරක්ෂණ බලකාය විසින් කන්කසන්තුරේ වෙරළාරක්ෂණයේදී හෙරොයින් කිලෝග්‍රෑම් නවයක් අත්අඩංගුවට ලත් අතර කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාර්ගයේ කසළ ගොඩක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රැම් තුනක් ද අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

අතීතයේදී මෙන් නොව මෑත කාලයේ සිට රට තුළට ගෙන්වන හෙරොයින් ආපසු වෙන රටකට නොයවා රට තුළම භාවිතයට ගැනෙන බව සොයාගැනීමට හැකිව තිබේ. රට තුළ හෙරොයින්වලට ඇති ඉල්ලුම ඉහළ යාම ඊට හේතුවයි.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයේ 2016 වාර්ෂික වාර්තාවට අනුව නිරිතදිග ආසියාවේ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවටත්, මාලදිවයින සහ යුරෝපා රටවලටත් සිදුකරනු ලබන හෙරොයින් ප්‍රවාහනය ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිගමනයට අනුව විශාල බෙදාහැරීම් ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවට හෙරොයින් විශාල වශයෙන් ළඟාවන්නේ රන් ත්‍රිකෝණය ලෙසින් හඳුන්වන කලාපයෙනි. එම කලාපයට ඉරානය, පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අයත් වේ. මෙම රටවල දේශසීමාවල් හරහා සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම මුලින්ම ඉන්දියාවටත්, ඉන්දියාවෙන් මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවේ වෙරළාසන්නයටත් ප්‍රවාහනය කෙරේ. වැඩිදුරටත් සඳහන් වන ආකාරයට ඊට අමතරව ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ ජනශූන්‍ය කලාප ඔස්සේ හෙරොයින් මෙරටට ළඟාවන බව පැවැසෙයි.

කෙසේවුවද පසුගිය වසර කීපය තුළදී හෙරොයින් සහ කොකේන් ඉතා විශාල වශයෙන් වැටලීම සිදුකෙරැණු අතර ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස සැහැල්ලුවෙන් නොසලකන රටක් බව පැවසෙයි.
නියෝජ්‍ය පොලිස්පති ජයකොඩි සඳහන් කරනුයේ මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය වැටලීම් මේ ආකාරයට සිදුවීම මත්ද්‍රව්‍ය විරෝධී බලකායන්වල පවතින ඉහළ ප්‍රමිතින් නිසා සිදුවන බවයි. ඒ සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව යන ආයතන අතර මතුව තිබෙන අන්තර් සහයෝගය එයට රුකුලක් වී තිබේ.

මේ අතර ගුවන් මගින් ද ප්‍රධාන වශයෙන් පාකිස්ථානයේ සිට හෙරොයින් ගෙන්වන බවද හෙළි වී තිබේ. රේගු ආරංචි මාර්ග දක්වන්නේ කරච්චි - ඩුබායි මාර්ග හෝ කරංචි - දෝහා මාර්ග ඔස්සේ ලංකාවට කුඩු ගෙන්වන බවයි.
ඔවුන් ඩුබායි සහ දෝහා හුවමාරු ස්ථාන වශයෙන් යොදාගනු ලබන්නේ පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් ගුවන්තොටුපළේදී ප්‍රබල සෝදිසි කිරීම්වලට ලක්වීම හේතුවෙන් බව රේගුවේ ඉහළ නිලධාරීහු සඳහන් කරති.
පසුගිය සති කීපය තුළදී කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීහු පාකිස්තානුවන් තිදෙනකු සහ ඉරාන ජාතිකයකු හෙරොයින් ළඟ තබාගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

ඔවුන් භාවිත කර ඇත්තේ ද ඉහතින් සඳහන් කළ ගමන් මාර්ගයන්ය. මෑතකදීම කරනු ලැබූ අත්අඩංගුවට ගැනීමේදී එකී පාකිස්තානුවා තම සාක්කුවේ සඟවාගෙන සිටි හෙරොයින්වල වටිනාකම රුපියල් කොටියක් විය.

කුඩු පෙති 1600ක් ඉංජිනේරුවකු ළඟ

සුරාබදු දෙපාර්තමේන්තුවේ පිරිසක් විසින් පසුගියදා දිනෙක Ecstasy මත්පෙති 1600ක් සමඟ මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණ අවසන් වූ විට මෙම ජාවාරමෙහි වැඩි විස්තර සොයාගැනීමට හැකිවනු ඇතැයි එම නිලධාරීහු විශ්වාස කරති. මෙම වැටලීම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරනු ලබන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ප්‍රධානියා වන ජී.එම්. හේමන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසකි.

Sunday Times පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි

දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00