පසුගිය සෙනසුරාදා ලන්ඩනයේ ප්‍රධාන පෙළේ ගුවන් තොටුපොළ දෙකක් වෙත පැමිණි මගීන්ට සිදුවූයේ නන්නත්තාරවන්නටය. දිය පොදක් නැතිව, බඩට කන්නට නැතිව, යන්නට ආ ගමන යාගත නොහැකිව දහදියෙන් හෙම්බත්ව පැය ගණනක් රස්තියාදු වන්නටය. කතාව පැතිරුණේ මේ කියන ගුවන් තොටුපොළ දෙකේ පරිගණක හැකරුන්ගේ මකර කටට හසුවී අකර්මන්‍යව ඇති බවටය. එහෙත් ගුවන් බලධාරීහු එය ප්‍රතික්ෂේප කර තිබුණි.
ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ හා ගැට්වික් ගුවන්තොටුපොළ පසුගිය සෙනසුරාදා අතුරු සිදුරු නැතිව පිරීඉතිරී ගොස් තිබුණි. බ්‍රිටිෂ් එයාර්වේස් ආයතනයට අයත් සියලුම ගුවන් ගමන් අත්හිටවන්නට සිදුව තිබුණේ ඒ ආයතනයේ පරිගණක පද්ධති අක්‍රිය වීම හේතුවෙනි. මේ හේතුවෙන් ලන්ඩනයේ ප්‍රධාන ගුවන්තොටුපොළ වෙතින් පිටව යාමට තිබූ සියලුම යානා අතරමංව නවතා තිබුණි. ඒ වෙත ආ සියලු යානයන්ට සිදුවූයේ ගුවන් පථය තුළම නවතා තබන්නටය. මේ හේතුවෙන් ගුවන් මගීහු කොටසක් එහි පර්යන්ත ගොඩනැගිල්ල තුළත් තවත් කොටසක් තමන් පැමිණි ගුවන් යානා තුළත් පැය ගණනාවක් සිරගත වූහ.
සෙනසුරාදා බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 6.00ට මුලින්ම සිය ගුවන් ගමන් අත්හිටුවන්නට තීරණය කළ බ්‍රිටිෂ් එයාර්වේස් සමාගමේ එම තීරණය හේතුවෙන් සති අන්තයේ විදේශ රටවල නිවාඩු සංචාර සඳහා යාමට පැමිණි දහස් ගණනක් හව්හරණක් නැතිව අතරමංවූහ. එම අතරමංවීම පැය ගණනකට පමණක් සීමාවනු ඇතැයි සිතා සිටියද එය පසුව දින ගණනක් ඇදී යන තත්ත්වයක් බවට පත්විය. සෙනසුරාදා මේ හේතුවෙන් ගුවන් යානා දහසක් පමණ ගමන් අවහිරයට ලක්විය. හීත්‍රෝ ගුවන් තොටුපොළේ පමණක් පසුදා උදෑසන 9.00ට පිටත්ව යාමට නියමිතව තිබූ යානා 406ක් පෙළගැසී තිබුණි. මොබයිල් දුරකථන ඔස්සේ සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ඔස්සේ සිය ගමන් තොරතුරු සහ ප්‍රවේශපත්‍ර වෙන්කරගන්නා පිරිසට එම යන්ත්‍ර අක්‍රිය වීම නිසා මහත් අපහසුවකට මුහුණ දීමට සිදුවිය. ගුවන් තොටුපොළ නිලධාරීන්හට සුදු බෝඩ් ලෑලිවල පැරැණි ක්‍රමයට ගමන් විස්තර ලියා දක්වන්නට සිදුව තිබුණි. මේ නිසාම පිටව යාමේ සහ ප්‍රවේශ කවුළු අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.
සෙනසුරාදා රාත්‍රියද ගුවන්තොටුපොළේ නතරවන්නට සිදුවූ පිරිස එහි පර්යන්තය ඇතුළු ඉඩකඩ ඇති සියලු ස්ථානවල අතුරු සිදුරු නැතිව වැතිර නිදාගත්හ. ඒ අතර ඔවුන්ගෙන් ලද ට්විටර් ඇතුළු සමාජජාල ගත වෙබ් අඩවි වෙත ආ පණිවුඩවලින් පැහැදිලි වූයේ පැය ගණනක් පිපාසයට දියපොදක්වත් නැතිව ලගින්නට සිදුව ඇති බවය. ගුවන් තොටුපොළ සියලු ආහාර සහ ජල බෝතල වෙනුවෙන් ගෙවීම ඉලෙක්ට්‍රොණික කාඩ්පත් මගින් සිදුකළ යුතුව තිබූ අතර ඒවා අක්‍රියව තිබුණි. මේ නිසා මුදල් අතේ තබාගන තමන්ට සා පිපාසාවෙන් පීඩා විඳින්නට සිදුව ඇති බව මගීහු ට්විටර් පණිවුඩ මගින් ආඩාපාලි කියා තිබුණි. පසුව ලබාදුන් ජල බෝතල සඳහාද ආයතනය අධික මිලක් අයකළ බවටද මැසිවිලි නැගී තිබුණි.
මේ සිද්ධියට සති දෙකකට පෙර ලෝකය කැළඹූ Wanna cry පරිගණක වෛරස් ප්‍රහාරය සිදුකළ අලකලංචිය නිසාම මේ පරිගණක වියවුලද පරිගණක හැකරැන්ගේ ගිණුමට බැරව තිබුණි. එසේ වුවද බ්‍රිටිෂ් එයාර්වේස් බලධාරීන් පුන පුනා ප්‍රකාශ කර තිබුණේ මෙය කිසිදු ලෙසකින් සයිබර් ප්‍රහාරයක් නිසා හට නොගත් තත්ත්වයක් බවයි.
ගුවන් තොටුපොළේ අතරමං වූ මේ පිරිසහට සිය ගමන් මලුද අහිමිව තිබීම තවත් අකරතැබ්බයක්ව තිබුණි. වෙනත් ගුවන් සේවාවන් මගින් වටරවුමේ හෝ සිය ගමන යන්නට හිතූ අයට දැනගන්නට ලැබුණේ තමන්ගේ ගමන් මලු නැවත ලබාගන්නට තවත් පැය ගණනාවක් ගතවන බවය. එසේම තවත් ගුවන් සේවාවක් මගින් ගමන යාමටද ඒවා වෙන්කර ගතයුතුව තිබුණේ ඔන්ලයින් මාර්ගයෙන් පරිගණක ආශ්‍රිතවය. මේ නිසා ඔවුන් මුහුණපෑවේ මෙතෙක් කලක් හොලිවුඩයේ චිත්‍රපටවල පමණක් දක්නට ලැබුණු ආකාරයේ තාක්ෂණය අවුල්වීමත් සමග ලෝකයා හට අනාගතයේදී මුහුණදීමට සිදුවේ යැයි සිතූ ආකාරයේ අකරතැබ්බයකටය. ලෝකය පුරා බ්‍රිටිෂ් එයාර්වේස් ආයතනයට අයත් පරිගණක මේ අවුලට පත්ව තිබුණු හෙයින් ආයතනයට මේ දින කිහිපය තුළ කෝටි ගණනක අලාභයකට මුහුණ දීමටද සිදුව තිබුණි.
බොහෝ දෙනා මේ පරිගණක අවුල ගැන දෙස් දොවොල් නගා තිබුණේ බ්‍රිටිෂ් එයාර්වේස් පරිපාලනයටය. මුලින් ආයතනය මගින් පාලනය වූ තොරතුරු සන්නිවේදන ඒකකයේ කටයුතු පසුව ඉන්දියානු සමාගමකට පැවැරීම සම්බන්ධවය.
ගුවන් ගමන් පමාව හේතුවෙන් සිදුවන අකරතැබ්බයන්ට බලපානා යුරෝපා සංගමයේ නීතියට අනුව මගීන් හට ආයතනය වන්දි ගෙවීමක් කළ යුතුය. කිලෝමීටර් 1500 දක්වා වූ කෙටි දුර ගුවන් ගමනක් පැය තුනකට වැඩිකලක් පමා වුවහොත් ඒ අනුව ආයතනය යුරෝ 250ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් 42543ක් පමණ එක් අයකුට ගෙවිය යුතුය. මෙයට වඩා දුර ගමනක් හෙවත් කිලෝමීටර් 3500 හෝ ඊට වැඩි දක්වා වූ දුරක් පැය තුනක් හෝ හතරක් අතර පමා වුවහොත් ඒ සඳහා එක් අයකුට යුරෝ 300 (රුපියල් 51051)ක්ද එය පැය 6කට වැඩිනම් යුරෝ 600ක්ද (රුපියල් 102102) ගෙවීමට ගුවන් සමාගමට මේ අනුව සිදුවේ. එසේම පැය දෙකකට වඩා ගමන පමා වේ නම් අදාළ ගුවන් සමාගම මගීන් හට නවාතැන් පහසුකම් සහ ආහාරපාන සිය වියදමින් සැපැයිය යුතුය. මේ අනුව බ්‍රිටිෂ් එයාර්වේස් අයි.ටී. අලකලංචිය එම සමාගමට මෙන්ම, නවීන තාක්ෂණය මගින් සියලු වැඩකටයුතු පහසු කරගන සිටින වත්මන් ලෝකයේ සියලුදෙනා හට අනාගතයේ සයිබර් ප්‍රහාරකයන් හේතුවෙන් මුහුණදීමට සිදුවිය හැකි මහා ඛේදවාචකය පිළිබඳ අනතුරැ ඇඟවීමක් දැන් කලින්ම ලබාදී හමාරය.
සුගත් පී. කුලතුංගආරච්චි