2023 ජුනි 17 වන සෙනසුරාදා

සිංහල සිංදු කියන අප්‍රිකාවේ දිරිය ගැහැනිය

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 249

මේ හඬගා කියන්නට යන්නේ මාරාන්තික පිළිකාව ආදරයෙන් සුවපත් කළ දිරිය ගැහැනියකගේ කතාවයි. දකුණු අප්‍රිකානු කාන්තාවක වන ඇය මවකි. එපමණක් නොව ඇය සිංහල කතාකරන කාන්තාවකි. මේ ඇයගේ කතාවයි.

මම ඔන්විදු ශිවන්ති සුදාරිකා. ඉපදුණේ දකුණු අප්‍රිකාවේ අනම්බරා කියන ප්‍රදේශයේ. ඒ ප්‍රදේශය දකුණු අප්‍රිකාවේ තියෙන ගොඩක් දුප්පත් ප්‍රදේශයක්. තාත්තා අප්‍රිකාවේ. අම්මා ලංකාවේ. අම්මා තාත්තා එක්ක ආරවුලකින් අම්මා මාව ලංකාවට එක්කගෙන එනවා. එතකොට මම ගොඩක් පොඩියි. ඒ මට වයස අවුරුද්දයි මාස තුනකින් වගේ. එතැන ඉඳලා මා හැදුණෙ වැඩුණෙ ලංකාවේ. එදා ඉඳලා ලංකාවේ සංස්කෘතියට ගොඩක් ආදරේ කළා. මට අවුරුදු 3 දී මගේ අම්මා පිළිකාවකින් මේ ලෝකය හැර යනවා. එතැනින් පස්සේ මාව හදාගත් දෙදෙනාට තමයි මා අම්මා තාත්තා කියා සැලකුවේ.

ලංකාවට ආවාට පස්සේ මම ඉගෙනගත්තේ ලංකාවේ. මා ලංකාවේ තරුණයකු කසාද බඳින්න ගොඩක් ආසාවෙන් හිටියා. මා දෙවියන්ගෙන් ඉල්ලුවා ලංකාවේ කෙනෙක් කසාද බඳින්න ලැබෙන්න කියලා. ඒත් දෛවය මට ඒකට ඉඩ දුන්නේ නෑ. මට ලංකාවේ කෙනෙක් මුණගැසුණේ නෑ. මම බැන්දේ අප්‍රිකාවේ කෙනෙක්. මම ආයෙ මගේ උපන් රට වූ දකුණු අප්‍රිකාවට ගියේ කසාද බැන්දාට පස්සේ. මම දකුණු අප්‍රිකාවේ ඉපදුණාට ඒ රටට වැඩිය මට සමීප ලංකාවයි. දකුණු අප්‍රිකාවේ අපි ගත කරන ජීවිතය ගොඩක් දුෂ්කරයි. වැස්සට තෙමෙනවා. අව්වට වේලෙනවා. පොඩි කාලේ ඉඳන් අපි වෙළෙඳාම් කරන්න ඕනෑ. පුංචිම කාලේ එළියට බැහැලා වතුර විකුණන්න ඕනෑ. කෑම විකුණන්න ඕනෑ. ඒ රටේ  ළමයින් කියලා ගෙවල්වලට වෙලා ඉන්න දෙන්නේ නෑ. උදේට වතුර විකුණලා පාසල් ගිහින් ආයෙ ඇවිත් සල්ලි එකතුකරගෙන ඇවිත් අම්මලට දෙන්න ඕනෑ. පවුලේ වැඩිමල් දරුවා ගැහැණු පිරිමි කවුරුන් වුවත් ඔහු හෝ ඇය අම්මලා තාත්තලා හිටියත් නැතත් ඒ දේ කරන්න ඕනෑ. 

අනම්බරා ගම්මානයේ අපි ඉරිදාට පල්ලි යනවා. සඳුදා අප්‍රිකාවේ ජනාධිපති අගමැති ඇමැතිලා සංචාරය කරනවා. ඒ නිසා සඳුදාට අපිට ගෙදරින් එළියට බහින්න බෑ. එදාට අසනීපයක් වුණත් ගෙදරම බේත් කරගන්නවා මිසක වෙන කරන්න දෙයක් නෑ. ඒක තමයි නීතිය. මම ලංකාවට ආසයි. ලංකාව ඇත්තටම වාසනාවන්ත රටක්. ලංකාවේ  ඉද්දී  මට ඇහිලා තියෙනවා මිනිස්සු පැයක් දෙකක් ලයිට් වතුර නැතත් බනිනවා. කෑ ගහනවා. ඒත් අප්‍රිකාවේ අපි දවස් 8 ,9, 10 ලයිට් වතුර නැතිව ඉඳලා තියෙනවා. 

මාගේ අම්මා නැතිවුණාට පස්සේ මම ගොඩක් දුක් වින්දා. ජීවත් වෙන්න ආදායමක් නැතුව මිරිස් කුඩු පැකට් කර විකුණන වෙළෙඳාමක් පටන් ගත්තා. මම මගෙ යටතේ 5 දෙනකුට රස්සා දුන්නා. ටික කාලයක් යද්දී මමත් දරුණු රෝගයකට ගොදුරු වෙලා සිටිනවා කියලා දැනගන්න ලැබුණා. ඒ දැනගද්දි මට වයස 29 යි. ලංකාවේ පෞද්ගලික රෝහලක සැත්කම් තුනක් කළා. ඒත් රෝගය දැනගන්න හම්බවුණේ නෑ. පියයුරු පිළිකාව මගේ මුළු ජීවිතයම වෙළාගෙන ඉන්නවා කියලා දැනගත්තේ 2016 දී. මෙච්චර දුක් වේදනාවක් විඳපු  මටම මෙහෙම වුණේ ඇයි කියලා මම හැමවෙලාවෙම හිතන්න ගත්තා. මේ දේට මම කොහොමහරි මුහුණ දෙනවා කියලා හිත හදාගත්තා. මිරිස්කුඩු රුකියාවත් නැතිවුණා. සල්ලිත් නැතිවුණා. මේ අතරතුර මට කොළඹ ජාතික රෝහලේ උමාගෞරි සරවනමුත්තු කියලා විශේෂඥ වෛද්‍යවරියක් මුණගැහුණා. ඇය මට දිනයක් දුන්නා. ඇයගේ සහායෙන් මහරගම අපේක්ෂා කියන රෝහලට ගියා. ඒ රෝහලට ගියාම මට මගේ දෙවියන් සිහිවුණා. අපේ රටේ මෙහෙම පහසුකම් නෑ. අපේක්ෂා රෝහලේ 29 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ගත්තා. ලංකාවේ ගොඩක් අය වගේම රෝහලේ හෙදියන් පවා ආදරය කරපු මගේ කොණ්ඩය ටිකෙන් ටික අඩුවෙන්න ගත්තා. මගේ මුළු ඇඟම පණ නැතිවෙන්න ගත්තා. ඒත් වාට්ටුවල පොඩි දරුවන් දකිද්දී මම මගේ වේදනාව අමාරුවෙන් හරි දරාගත්තා. මගේ අම්මා  නැතිවුණේත් පිළිකාවකින්. 

දෛවයට අභියෝග කරමින් මාරාන්තික රෝගයක් හමුවේ පොරබදන විට තමයි මට මගේ සැමියා මුණ ගැසෙන්නේ. මට දෙවියෙක් වගේ සැමියෙක් ලැබුණා. ඒක මට දෙවියන් දුන්න තෑග්ගක්. ලංකාවේ අය දෛවය කියලා දෙයක් පිළිගන්නවානේ. මම හිතන්නේ ඒක තමයි දෛවය කියන්නේ කියලා. ඔහු දකුණු අප්‍රිකානු තරුණයෙක්. හදවත ලස්සන ඔහු මට කැමැති වුණා. එයා මාව තේරුම් ගත්තා. මම විවාහ වුණේ අවුරුදු 33 දී. එයා මාව විවාහ කර ගත්තේ  මම දවසින් දවස රෝගය එක්ක පොර බදද්දී. එයා මට සුරතල් මසුන් ගෙනත් දුන්නා ඇති කරන්න. ආසාවල් වැඩිවන මොහොතක ළඟ ඉඳන් මාව ශක්තිමත් කළා. මම කොයිතරම් මනසින් වැටී සිටියත් මගේ ආසාවල් මගේ සැමියාට කියන්න වුණේ මම ආසා සිංහලෙන් නෙමෙයි. ඔහු දන්න ඉංග්‍රීසියෙන්. 

මට මගේ සැමියාට දරුවෙක් දෙන්න ඕනෑ වුණා. අපි දොස්තරගෙන් ඇහුවාම දොස්තරට ඒ සඳහා අවසර දෙන්න බැහැ කියලා කිව්වා. අපේ ඉල්ලීමට දොස්තර අවසර දුන්නේ නෑ. ඒත් මම දෙවියන් විශ්වාස කරනවා. ඒ නිසා මම ඒ අභියෝගය තනිවම බාරගත්තා. විවාහ වෙලා මාස දෙකක් පමණ යද්දී මම මවක් වුණා. දෙවියන් ආදරේ දෙනවා මිස දෙවියන් ආදරේ ගන්නේ නෑ කියා මට ආයෙත් පසක් වුණා. මගේ පුතා ඉෆනී චුකූ ඔන්විදු. ඔහුට දැන් වයස අවුරුදු දෙකයි මාස 5 යි. මගේ පුතාට මට වගේ සිංහල කතා කරන්න බෑ. එයා කතා කරන්නේ හිබොක් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි. මගේ පුතාට වයස දෙක වෙද්දී ඒ රටේ පාසලේ දෙවැනි වසරේ ඉගෙන ගන්නවා. මම කැමැති මගේ පුතාට ලංකාවේ උගන්වන්න. මනසින් වැටුණු ගොඩක් අවස්ථාවල මම දෙවියන්ගෙන් ඉල්ලුවේ මම වගේ දුක උහුලගන්න බැරි කාන්තාවන් ඉන්නවානම් ඒ අයටත් ඒකට ශක්තිය දෙන්න කියලායි. මනසේ තියෙන හොඳ සිතිවිලි එක්ක පිළිකාව ජයගන්න පුළුවන් කියා මම දැන් විශ්වාස කරනවා. ඒකට හේතුව මේ වෙද්දී මම පිළිකාව සමග සටන් කරන 9 වැනි අවුරුද්ද මේ යන්නේ.  ජීවිතේ අමාරු පරිච්ඡේදයක් පහුකළා. මම රෝමානු කතෝලික වුණාට මම පන්සල් යන්න ගොඩක් ආසයි. බෝධි පූජාවට කලින් කළයක් අරන් බෝ ගසට පැන් දානවා. ලංකාවේ මට හොඳ යාළුවෙක් හිටියා. එයා මට ගොඩක් දේවල් කියලා දුන්නා.  මම සීගිරියේ පොලොන්නරු ගිහින් තියෙනවා. මම බුදුහාමුදුරුවන්ට අත් දෙක එකතු කරලා වඳිනවා. පන්සලේ ස්වාමීන් වහන්සේට දණගහලා වඳිනවා. ලංකාවේ නුවරඑළිය කියන පැත්තේ යද්දි පාර දිගට එළවළු තියෙනවා. අපේ රටේ ඒ කියන්නේ අප්‍රිකාවේ ගොඩක්ම එහෙම තියෙන්නේ කෙසෙල්, බඩඉරිගු වගේ දේවල්. ඉතින් මම මගේ අම්මාගෙ රටට ගොඩක් ආදරෙයි.

දකුණු අප්‍රිකාවේ ඔන්විදුගේ කතාව එසේ නිමවිය. එහෙත් ඇය තවමත් පිළිකාව නමැති මාරාන්තික රෝගයක් හමුවේ සටනක නිරත වන්නීය. කාන්තාරයේ කුසුම කියවා තිබූ අපට මෙවැනි අත්දැකීමක් ලැබුණේ මුල්වරටය. ඔන්විදුගේ කතාවෙන් අපේ රටේ බොහෝ දෙනාට උගත හැකි ආදර්ශ බොහෝමය. ඇය අපට නැවත නැවත සිතන්නට බොහෝ දේ ඉතිරි කළාය. එකී අදහසින් අපි මෙය පාඨකයා උදෙසා පිරිනමන්නෙමු.

I සසංක චලන ගිම්හාන