පාසලේ මෙන් නොව පරිගණකය, ජංගම දුරකථනය, ලැප්ටොප් එක හෝ ටැබ් පරිගණකය ඇසුරෙන් අන්තර්ජාලය හරහා සූම් (zoom), මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft) හෝ වෙනත් මෘදුකාංග ඔස්සේ මාර්ගගතව අධ්‍යාපනයේ නිරත වීම මාර්ගගත අධ්‍යාපනයේදී සිදුවෙනවා. මෙහිදී ගුරුවරයා හා ළමයා අතර සම්බන්ධය දුරස්ථයි. අන්තර්ජාලයට පිවිසෙන උපකරණ ආධාරයෙන් ඉගැන්වීම සිදුවෙනවා.
මාර්ගගත ක්‍රමයේ පවත්නා විවිධ ප්‍රායෝගික හා තාක්ෂණික ගැටලු නිසා සමාජය තුළ විශාදය, කාංසාව, ආතතිය වැනි රෝගද, සියදිවි නසා ගැනීම් වැනි භයානක තත්ත්වද ඇති වී තිබෙන බව සායනික ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ වර්ධනය මඟින් අපට පැහැදිලි වෙනවා. නිසි වයසේදී පෙර පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වීම නිසාත්, මාර්ගගත අධ්‍යාපනය නිසාත් පූර්ව ළමා වියේ පසුවන දරුවන් තුළ සමාජගත වීමේ ගැටලු නිර්මාණය වෙනවා.
වර්තමානයේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ළමුන් තුළ මාර්ගගත අධ්‍යාපනය නිසා සමාජ අන්තර්ක්‍රියා අඩු වීම, සම වයස් කණ්ඩායම්වල ඇසුර නැති වීම මෙවැනි මානසික රෝග ඇති වීමට බලපා තිබෙනවා. නිවෙස් තුළටම වී සිටීම නිසා තමන්ගේ යහළුවන් සමඟ පෙර මෙන් නිදහසේ කතා කිරීමට හැකිවන්නේ නැහැ. නිවසේ සිට රුකියා කිරීමට සිදු වීම නිසා සමහර දෙමාපියන්ද කාර්යබහුල වී සිටිනවා. ඉන් දරුවන් කෙරෙහි අවධානය අඩු වීම, ළමුන්ට සෙල්ලම් කීරීමට; එළියට ගොස් පරිසරය නිදහසේ විඳීමට නොහැකි වීම නිසා ඔවුන්ට තම පීඩනයන් ප්‍රකාශ කිරීමට නොහැකි වී ද විශාදය වැනි රෝග ළමුන් තුළ නිර්මාණය වීමට හේතු වෙනවා. එමෙන්ම කොවිඩ් වසංගතය නිසා එළියට යාමට, අනෙක් පුද්ගලයින් සමඟ ඇසුරට බියක් ඇති වීම, රාත්‍රියට නපුරු හීන පෙනීම, රාත්‍රියට නින්ද නොයාම හෝ නින්ද අධික ලෙස යාම, අනාගත බලාපොරොත්තු නිසි පරිදි ඉෂ්ට නොවේ යැයි ඇති වන බිය, බලාපොරොත්තු කඩවීම වැනි කාරණා නිසා කාංසාව වැනි රෝග තත්ත්වයන්ට ද මඟ පාදනවා.
ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් වෙනදාට වඩා ළමුන් තුළ අන්තර්ජාල උපකරණ සඳහා ඇබ්බැහිය ඇති වීම, පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීම, මෙම උපකරවල භාවිතය පිළිබඳ දෙමාපියන්ගේ සාක්ෂරතාවය මඳ බව, ඔන්ලයින් මාධ්‍යය භාවිත නව පරම්පරාව හා වැඩිහිටි පරම්පරාව අතර ඇති වයස් පරතරය වැඩි වීම, අන්තර්ජාල සාක්ෂරතාවය පිළිබඳ දරුවන්ට නිසි උපදේශනය නොලැබීම යනාදි කාරණා නිසා සමාජයේ සයිබර් අවකාශය හරහා ඇතිවන හිරිහැර, අපයෝජනය, අක්‍රමිකතා හා කම්පන තත්ත්ව බහුලව ඇති වී තිබෙනවා. එමෙන්ම එක දිගට පරිගණකය ඉදිරිපිට වාඩි වී සිටීම නිසා ශරීරය මහත් වීම, ඇස්වල විවිධ ආබාධ ඇති වීම, කොඳු නාරටියේ ආබාධ ඇති වීම, නිතරම ආහාර ගැනීමට පෙළඹීම, අක්‍රීය චර්යාවන් හා උදාසීන ගති ඇතිවීම යනාදී කායික ආබාධ ද ඇතිවීම හඳුනාගත හැකියි. මේ තත්ත්වය ළමුන්ට පමණක් නොව ගුරුවරුන්ටද බලපානවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාර්යය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය පවිත්‍රා ගොඩමුන්න
(නේමඩල-කැලණිය සරසවියේ ජනසන්නිවේදන අංශයේ ඊ පුවත්පත)