2023 ජුලි 29 වන සෙනසුරාදා

ඔන්ලයින් අධ්‍යාපනයේ වාසි පැත්ත බලමු

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 2766

පහුගිය කොවිඩ් කාලේ අපේ රටේ වැඩි පිරිසකට ගෙදර ඉඳන් ඉගෙන ගන්න වගේම ගෙදර ඉඳන් වැඩකරන්නත් සිදුවිය. මෙය අධ්‍යාපනය පැත්තෙන් ගත්විට තරමක ඉතිහාසයක් සහිත දුරස්ථ ඉගෙනීමයි. හැබැයි දැන් ඒකට කියන්නේ ඔන්ලයින් ඉගෙනීම කියලයි. මාර්ගගත අධ්‍යාපනය කියල වචනෙකුත් හදාගෙන ඇත. මුලින්ම තැපැල් මාර්ගික පාඨමාලා හරහා පටන් ගත් දුරස්ථ ඉගෙනුම අන්තර්ජාලය පැමිණීමත් සමඟ ඔන්ලයින් ඉගෙනුම බවට පරිවර්තනය විය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන රාශියක් දුරස්ථ අධ්‍යාපනය ලබාදීම සිදුකරයි. ලංකාවේ සිට ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල පාඨමාලාද දුරස්ථ ක්‍රමයට හැදෑරීම බොහෝදෙනා සිදුකරති. මෙහිදී සිසුන් දේශන ශාලාවලට රැස්කර අඛණ්ඩ ඇගැයීම් ක්‍රියාවලියක් හා අවසාන විභාග ක්‍රමයක් මගින් උපාධිලාභීන් බිහිකරන ක්‍රමය වෙනුවට සිසුන් එකිනෙකා නොහඳුනන විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයකට හුරු වී සිටිති.

ආසියාවේ ජනගහනයට සාපේක්ෂව සැලකූ විට උසස් අධ්‍යාපනය සඳහා යොමුවන පිරිස සියයට 4ක් පමණි. එය ප්‍රතිශතයක් හැටියට ගත්කළ ඉතා අඩු අගයකි. පවතින අභියෝගකාරී වටපිටාවේ ඔන්ලයින් අධ්‍යාපනයේ අවාසි රුසක් ඇතත් මෙහිදී අපි කතාකරන්නේ හොඳ පැත්ත පමණි.

මීට වසර හතළිහකට පෙර පටන් නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පිහිටුවූයේම දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමය එක් අරමුණක් කරගනිමිනි. ඒ මගින් පාඨමාලා රැසක් ඉගැන්වීම සිදුවූයේ සියලු දෙනාට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක පිවිසීමේ හැකියාව සහිතවීම යන පදනම මතය. උසස් අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයට පිවිසීමට අපහසු සිසුන්ට තමන් සිටින තැන එනම් ගෙදර සිටම ජීවත්වන පරිසරයට ගැලපෙන ආකාරයට අධ්‍යාපනය ලබාදීම මෙම ක්‍රමවේදයේ ප්‍රධානතම අරමුණ වේ.

පාඨමාලාවකට ඇතුළුවන්නේ කුමන අවස්ථාවේදීද හා පිටත්වන්නේ කුමන අවස්ථාවේදීද කියා සිසුන්ට මෙහිදී තීරණය කළ හැකිවේ. එමෙන්ම රැකියාවක් කරන ගමන් මෙම පාඨමාලා හැදෑරීමටද අවස්ථාව උදාවේ. විශ්වවිද්‍යාලයේ මෙන් නොව ඔන්ලයින් අධ්‍යාපනයේදී පවතින පාඨමාලා අතුරෙන් තමන්ගේ අනාගත අභිවෘද්ධියට වඩාත් ගැලපෙන පාඨමාලාව ගැන සිතා එය හැදෑරීමට මෙහිදී අවස්ථාව ලැබේ. ඔන්ලයින් ක්‍රමයේදී සිසුන්ට ඉදිරිපත් කර ඇත්තේ රැකියා අභිමුඛ උපාධි පාඨමාලාය.

අනෙක් අතට දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමයේදී දේශනවලට සවන් දීමට සිසුන්ට  විවිධ මෙවලම් භාවිත කිරීමට සිදුවන බව දැන් පාසල් සිසුහු පවා දනිති. ජංගම දුරකථනයේ සිට ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පරිගණක, ටැබ්ලට්, වෙබ් කැමරා ආදිය වේ. මෙය නම්‍යශීලී අධ්‍යාපන ක්‍රමවේදය යනුවෙන්ද හඳුන්වයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ වනවිට සෑම විශ්වවිද්‍යාලයකටම අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා සූම් තාක්ෂණ පහසුකම් ලබාදී ඇත්තේද මෙම නම්‍යශීලීභාවය සඳහාය. මේ නිසා සිසුන්ට දේශන ශාලාවට නොගොස්  දේශනවලට සවන්දීමට හැකියාව ලැබේ. එම අවස්ථාව මගහැරුණහොත් අප්ලෝඩ් (උඩුගත) කර ඇති එම දේශනයේ හඬ පටිය ඩවුන්ලෝඩ් (බාගත) කරගෙන ඇසීමට පුළුවන.  නමුත් විශ්වවිද්‍යාලයකදී හෝ පංති කාමරයකදී කෙරෙන දේශනයක් හිස් අවකාශයට මුසු වූ විට එය දරුවන් උකහා ගන්නේ පොතේ සටහන් කරගන්නා දෙයින් පමණි. විශ්වවිද්‍යාල දේශන ශාලාවකදී නැගිට ප්‍රශ්නයක් යොමුකිරීමට බොහෝ සිසුන් පැකිලෙති. නමුත්   මාර්ගගත ක්‍රමයේදී නොබියව ප්‍රශ්න ඇසීමට හැකිය. නැතිනම් ප්‍රශ්න ලියා දැක්විය හැකිය.

උසස් අධ්‍යාපනයේ පවතින සීමිත අවස්ථා ගැටලුව හා පූර්ණකාලීනව සරසවි අධ්‍යාපනයට යොමුවීමේ අපහසුව යන කරුණු සලකා බැලීමේදී මෙම අධ්‍යාපන ක්‍රමය ජනප්‍රිය වෙමින් පවතී. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ගැනද මෙහිදී සඳහන් කිරීම වටී. සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනයට පිවිසීමට නොහැකිව, රැකියාවක් කරමින් සිටින කාටත් උසස් අධ්‍යාපනයේ සරසවි පිවිසුම් සුදුසුකම් නොමැතිව පවා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව පවතී.

අධ්‍යාපන, ඉංජිනේරු හා තාක්ෂණ, සෞඛ්‍ය විද්‍යා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, ස්වභාවික විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන වශයෙන් පීඨ හයක් යටතේ මෙම උසස් අධ්‍යාපන පහසුකම් ලැබේ. 

විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගැන වැඩි විස්තර 0112881000 ඇමතීමෙන් හෝ ou.ac.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.