- මහනුවර ජනප්‍රිය ගිණුම්කරණ දේශක පාලිත යාපා බණ්ඩාර
Q උසස් පෙළ වාණිජ විෂය ධාරාව තුළ ගිණුම්කරණය විෂයය මොන වගේ වැදගත්කමක්ද ගන්නේ?
වාණිජ විෂය ධාරාව හදාරන විට අනිවාර්ය විෂයයක් වශයෙන් ගිණුම්කරණය වැදගත් වෙනවා. ඒ වගේම වාණිජ විෂයයන්වල වඩාත් ප්‍රායෝගික නැඹුරුවක් සහිත විෂයය වන්නේද ගිණුම්කරණයයි. එය එදිනෙදා ජීවිතයේදී නිතර අපට උදව් වෙනවා. බැංකුවට ගියත්, ණයක් ගන්න අවස්ථාවකත්, ව්‍යාපාරයක් පටන් ගන්නකොටත් ගිණුම්කරණ දැනුම ඕනෙ.
Q ගිණුම්කරණය ඉගෙන ගන්න සිසුන් තුළ පවතින්නේ මොන වගේ උනන්දුවක්ද?
උසස් පෙළ විෂය ධාරාවේ එකම වෘත්තීයමය විෂයය මේකයි. නමුත් මේ වැදගත් විෂය ධාරාව ඉගෙන ගන්න ළමුන් තුළ පවතින උනන්දුව හීනවෙමින් යනවා. සාමාන්‍ය පෙළ හොඳින් පාස්වුණු ළමුන් විද්‍යා විෂයයන්ගෙන් ගණිතය හෝ ජීව විද්‍යාව කිරීමට උනන්දුයි. මේ නිසා වාණිජ විෂයය හදාරන්න තිබෙන්නේ තෙවැනි තැනයි. පසුගිය අවුරුද්දේ තාක්ෂණවේදය තුන්වැනි තැනට ඇවිත් වාණිජ හතරවැනි තැනට ආවා. ඒ තත්ත්වය වෙනස් විය යුතුයි.
Q මේ විෂය ධාරාවේ ඇති වැදගත්කම පැහැදිලි කළොත්?
ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය විෂයයක් ලෙස වාණිජ හඳුන්වන්න පුළුවන්. දැන් අපට අහන්න ලැබෙන උද්ධමනය, බැංකු ණය, බොල් ණය කපා හැරීම, බැඳුම්කර, බදු ගෙවීම් වගේ වචනවල අර්ථය රුඳී පවතින්නේ වාණිජ විෂයයන්වලයි. ව්‍යාපාර ලෝකය රැඳී පවතින්නේ ගිණුම්කරණය හා වාණිජ මතයි. අද රටේ වැඩිම රුකියා අවස්ථා බිහි කරන්නේ පෞද්ගලික අංශයයි. මේ අංශයේ සේවා අංශයට දායකත්වය දක්වන්නේ ගිණුම්කරණය ඇතුළු වාණිජ විෂයයන්. ලංකාවේ උපකාරක සේවා ලෙස සැලකෙන බැංකු, රක්ෂණය, ගබඩාකරණය, ප්‍රවාහනය ආදී සියල්ල වාණිජ අංශයට අයත් වෙනවා. මේ උපකාරක සේවා මතයි රටේ ආර්ථිකය රඳා පවතින්නේ.
Q ගිණුම්කරණය අමාරුයි කියන මතයක් සිසුන් තුළ තිබෙනවා?
මගේ අත්දැකීම් අනුව 90 දශකයේ අපි පිළිතුරු ලියූ ප්‍රශ්න පත්‍රවලට වඩා අද ප්‍රශ්න පත්‍ර ප්‍රමිතිය අඩුයි. ඒ කියන්නෙ ලේසියි. තරමක් සරලයි. මේ නිසා ළමුන්ට නියමිත අභ්‍යාස කළොත් පහසුවෙන් විභාගයට උසස් සාමාර්ථයක් ගන්න පුළුවන්. මේ විදිහට විෂයය සරල කර තිබෙන්නේ ළමයි වැඩිපුර එයට නැඹුරු කර ගැනීමටයි. ව්‍යාපාර හා ගිණුම්කරණයට මූලික පදනමක් දැමීමයි මේ විෂයයෙන් කරන්නේ. ඒ අතර කළමනාකරණ ගිණුම්කරණය අද විෂයයට එකතු වී තිබෙනවා. අද ව්‍යාපාරවල වඩාත් වැදගත් වන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය නිසයි. කළමනාකරණ ගිණුම්කරණය එකතු කර තිබෙන්නේ. අද ගිණුම්කරණය වැඩිපුර භාවිත කරන්නේ තීරණ ගැනීමට.
Q විශ්වවිද්‍යාලයට වාණිජ විෂයයෙන් සමත් වන සිසුන්ට ඇති පහසුකම් මොනවාද?
අප විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් 90 දශකයේ වාණිජ හා කළමනාකරණ විෂයයන් ඉගෙන ගැනීමට තිබුණේ කැලණිය, ජයවර්ධනපුර, රුහුණ, කොළඹ විශ්වවිද්‍යාල පමණයි. පසුව පේරාදෙණිය, වයඹ, රජරට, සබරගමුව, යාපනය හා නැගෙනහිර යන විශ්වවිද්‍යාලවල මේ විෂය ඉගැන්වීම ආරම්භ කර තිබෙනවා. මේ නිසා උසස් පෙළ සමත් වන සිසුන්ට නවීන පහසුකම් සහිතව ප්‍රායෝගික නැඹුරුවක් සහිත විශ්වවිද්‍යාල පාඨමාලා හැදෑරීමට අවස්ථාව උදා වෙනවා. ඔවුන්ගේ අනාගතය ආලෝකමත් කර ගැනීමට පහසුවෙන් භාවිත කළ හැකි විෂයයක් තමයි ගිණුම්කරණය කියන්නේ. මේක ඉතා රසවත් විෂයයක්. ව්‍යාපාරයක ලාභය සොයා ගැනීම සීමා වූවක් නොවේ. අද ගිණුම්කරණය ඊට වඩා ගොඩාක් එහාට ගිහින්.
Q ගිණුම්කරණය ලේසියෙන් පාස්වෙන්නෙ කොහොමද?
විෂයයට ඇතුළත් මූලික පාඩම් 5-6 ක් පමණ හා සිද්ධාන්ත ඉගෙන ගත්තම ගිණුම්කරණයෙන් ගොඩ යන්න පුළුවන්. පහසුවෙන් සමත්වීමට පුළුවන්. සාමාන්‍ය පෙළ ගණිතයට සම්මානයක් තිබෙනවානම් (C) උසස් පෙළ වාණිජ හදාරන්න පුළුවන්. මූලික සිද්ධාන්ත ටික අවබෝධ කරගෙන ඒ අභ්‍යාස නිතර ප්‍රායෝගිකව පුරුදු විය යුතුයි. එකිනෙකට වෙනස් වූ අභ්‍යාස කළ යුතු වෙනවා. පසුගිය අවුරුදු 30 ක ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරන විට පේන දෙයක් තමයි එක සමාන ගණන් කවදාවත් ප්‍රශ්න පත්‍රවල ඇතුළත් කර නැති බව. ඒ නිසා තමයි විවිධ අභ්‍යාස කරමින් හුරු විය යුත්තේ. තමන් පන්තිය තුළ ඉගෙන ගන්නා සෑම අභ්‍යාසයක්ම ඒ සතිය තුළම නැවත තනිවම හදන්න ඕනේ. ඒ පුහුණුව ඉදිරි පාඩම් පහසුවීමට උපකාරී වෙනවා. තමන්ට විෂයය ගැන මතුවෙන ගැටලු එදිනම ගුරුවරයා සමඟ සාකච්ඡා කර විසඳාගත යුතුයි.
I කුසුම්සිරි