2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

සිංහල සමත් වෙන්න භාෂා වැඩබිමේ වැඩ පෙන්වන්න

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 68

ජනප්‍රිය සිංහල දේශකයකු වන සුජීව සිරිමෙවන් කවියෙකි. මේ වනවිට ඔහු මයිලපත් සමනල්ලු සහ පාලම මත ලිස්සනසුළුය යන කවිපොත් පළකර තිබෙන අතර, නවතම කවිපොත පළ කිරීමට සූදානමින් සිටී. මේ සුජීව දේශය තරණ සමඟ සිංහල බස ගැන දැක්වූ අදහස් බිඳකි.

Q  සිංහලවලට අලුත් පරම්පරාව දක්වන ආකල්පය මොන වගේද?

මෙහිදී කරුණු දෙකක් ඔස්සේ සලකා බලන්න පුළුවන්. විෂයයක් හැටියට සිංහල භාෂාව සමාජය දකින විදිහ සහ සිංහල ඉගෙන ගන්නා ළමයෙක් එය දකින විදිහ වශයෙන්. අද වනවිට සමාජය මානව ශාස්ත්‍ර විෂයයන් අතහැරලා උපයෝගිතා විෂයයන්වලට නැඹුරු වෙනවා. ගොඩනැගිලි,  යානවාහන, නිවාස වගේ භෞතික දේවල් දිහා වැඩිපුර බලනවා. මේ සමාජය විසින් ළමයින්ට සිංහල වගේ විෂයයක් හැදෑරීමට අධෛර්යවන්ත කරනවා. නමුත් මගේ අත්දැකීම් අනුව උසස්පෙළට සිංහල ඉගෙන ගන්න එන ළමයින් ටික දවසකින්  ඒ විෂයයේ රහට කැමති වෙනවා.

Qසිංහලයෙක් වුහොත් වැඩි දෙනකුට නිවැරදි සිංහල බෑ නේද?

අපට සිංහල ජාතියක්, සිංහල භාෂාවක් තිබෙනවා. භාෂාව අපේ ජාතියත් එක්ක බැඳිලා තිබෙන බව හුඟ දෙනෙක් හිතනවා. කැපුවත් සිංහල කියලා කියන්නේ ඒ වගේ අයයි. සිංහල අම්මා කෙනෙකුගේ බඩේ ඉපදුණා කියලා අපට සිංහල පුළුවන් වෙන්නෙ නෑ. භාෂාව කියන්නේ සංස්කෘතික මෙවලමක්. අපට භාෂාවක් පුළුවන් වීමට නම් එය හැදෑරිය යුතුයි. භාෂාව දන්නෙ නැතුව අපට කිසිදෙයක් සන්නිවේදනය කිරීමට බෑ.

Qසිංහල ඉගෙන ගන්න ළමයි ව්‍යාකරණවලට බයයි?

ඔව්. අපේ සමහරු ව්‍යාකරණවලට බියක් දක්වනවා. ව්‍යාකරණ කියන්නේ භාෂාවේ පොඩි කොටසක් පමණයි. ඒක අත්‍යවශ්‍ය නොවුණත් විෂය නිර්දේශයට ඇතුළත් නිසා උගන්වන්න වෙනවා. අපි කතා කරන භාෂාවෙන් ව්‍යාකරණ තියෙනවා. ව්‍යාකරණ නැතුව කතා කළොත් අර්ථය අවුල් වෙනවා. ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු කොච්චර හිටියත් ඉංග්‍රීසි වතුර වගේ කතා කරන්න බෑනේ. ඒ භාෂාව කතාකරන්න නම් ඉගෙන ගන්න ඕනේ.

Qඅද වැඩි දෙනෙකුට අවශ්‍ය විෂයය රසවිඳීම වෙනුවට විභාගෙ පාස්වීම පමණක් නේද?

ළමයි උත්තේජනය වෙලා තියෙන්නේ විවිධ පැතිවලට. ඒකට නිවසේ වටපිටාවත් බොහෝදුරට බලපානවා. පොතපත කියවන දෙමාපියන් සිටින ළමුන් පොත් කියවීමට ආසයි. මගෙ කවිපොත පවා ඉල්ලාගෙන ගොස් කියවන ළමයි ඉන්නවා. හොඳ පොතපත ගැන කියාදී ඒවා රසවිඳීමට දරුවන් තුළ උනන්දුවක් දැල්වූවිට ඔවුන් ඒ කෙරෙහි යොමුවන බව මම අත්දැකීමෙන් දන්නවා. සාහිත්‍ය රසවින්දනය දරුවන් තුළ නෑ කියන්න බෑ. ඒක අවුලුවන්න ඕනේ. දෙමාපියන් සහ වැඩිහිටියන්ට පුළුවන් ඒක වර්ධනය කිරීමට.

අපට සංගීතය බෑ කියන්න බෑනේ. හොඳට පුරුදු වුණොත් අපට සංගීත හැකියාව ලැබෙනවා. හැමෝටම තිබෙන්නේ සමාන ස්නායු පද්ධතියක්නේ. ඒක සිංහල භාෂා ඉගෙනීමටත් බලපානවා.

Qඔබ උසස් පෙළ විභාගෙ ආසන්න වනවිට පන්තිවල ළමුන්ට ඉලක්ක ප්‍රශ්න දෙනවා නේද?

ඔව්. මම අවුරුදු 20ක් පමණ සිට උගන්වනවානේ. එතකොට පරණ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරනකොට අපට අනුමාන කරන්න පුළුවන් විභාගයට එන ප්‍රශ්න ගැන. ඒවාට පිළිතුරු ලියන ආකාරය අප සිසුන්ට කියාදෙනවා.

Qසිංහල භාෂාව ලේසියෙන් ඉගෙන ගන්නෙ කොහොමද?

භාෂාව ලේසියෙන් සතුටින් ඉගෙන ගන්න නම් භාෂාව පාවිච්චි කර පළකර ඇති දේවල් කියවන්න ඕනෑ. කවි, කෙටිකතා, නවකතා, විචාර ලිපි වගේ විවිධ දේවල් කියවීම පුරුද්දක් කරගන්න අවශ්‍යයි. ඒවා තමයි භාෂාවේ වැඩබිම්. ළමයා ඒ භාෂා වැඩබිමේ සාමාජිකයෙක් විය යුතුයි. අපේ පන්තියට එන ළමුන් මුලින්ම ඒ භාෂා වැඩබිමේ සාමාජිකයෙක් බවට පත්කර ගන්නවා. ඒක විභාගය සමත්වීම පහසු කරනවාට අමතරව ජීවිතය ජයගැනීමටත් මග පෙන්වනවා.

I කුසුම්සිරි