2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

එතෙර මෙතර ජයගත් දේශීය වෙළෙඳ සන්නාමයක හිමිකරුවා

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 209

අද කතාව දේශීය වෙළෙඳපොළ පමණක් නොව ජාත්‍යන්තරය වෙළෙඳපොළ ද ජය ගනිමින් සිටින විදුලි උපාංග නිෂ්පාදන ආයතනයක් නිර්මාණය කළ සාර්ථක ව්‍යවසායකයකු පිළිබඳවයි. ඔහු නමින් ධම්මික සමරවික්‍රමය. 1995 දී ඔහු සිය ව්‍යාපාරය අරඹන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙසිනි. පසුව හවුල්කරුවන් ද සමඟ ඔහු මේ වනවිට ව්‍යාපාර ජාලයක් ගොඩනගා තිබේ. 

එම නිසාම අති සාර්ථක ව්‍යවසායකයකු වන ධම්මික සමරවික්‍රමගේ කතාව ඔබ සමඟ බෙදාගැනීමට අපි තීරණය කළෙමු.

“1995 වසරේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තේ. ඊටපස්සේ 1998 දී මගේ විවාහයත් සමඟ බිරිඳ එක්ක එකතුවෙලා, ඒ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළා. ඒ කාලේ වෙළෙඳපොළට ඇතුළුවීම ගොඩක් අමාරු වුණා. වෙළෙඳපොළ ඒකාධිකාරියක් තිබුණා. ඒ නිසාම සෑහෙන්න දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අද වගේ තාක්ෂණය සන්නිවේදනය නැති 90 දශකයේ මේ ව්‍යාපාරය ගොඩනගන්න අපි සෑහෙන වෙහෙසක් දැරුවා." 

විවිධ දුෂ්කරතා ජය ගනිමින් ගොඩනැගූ ව්‍යාපාරය පිළිබඳ ධම්මික සමරවික්‍රම සිහිපත් කරන්නේ එලෙසිනි. ඒ අනුව 2002 වසර පමණ වනවිට "මයික්‍රෝ ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්" ලෙස ශක්තිමත් ආයතනයක් ගොඩනැගීමට ධම්මික ඇතුළු කණ්ඩායම සමත්ව තිබේ. ඔවුන්ගේ වෙළෙඳ සන්නාමය රටම හඳුනන්නේ Divolca Electric නමිනි. Divolca යනු මෙරට ජනප්‍රිය විදුලි උපාංග සන්නාමයකි.

අද වනවිට The ME Group  නම් සමාගම් සමූහය යටතේ ව්‍යාපාර ගණනාවක හිමිකරුවකු බවට පත්වීමට මෙම සාර්ථක ව්‍යවසායකයා සමත්ය.

“මේ වෙනකොට ස්ථිර සේවකයෝ 50කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ, ගෘහණියන් 750කට ගෙදර ඉඳලා වැඩ කරන්න අපි රුකියා උත්පාදනය කරල තියෙනවා. අපිට ආයතනයක් විදිහට දැක්මක් තියෙනවා. අපි කුඩා ව්‍යාපාර කරන මේ ගෘහණියන්ව ප්‍රධාන ධාරාවට රුගෙන එන්න ඕනෑ. අපි සාර්ථක ව්‍යවසායිකාවන් බිහිකිරීමට දායකත්වය සපයනවා."

සිය අක්මුල් අමතක නොකොට ව්‍යාපාර ලෝකය තුළදී තවත් පිරිසකට අතදීමට ධම්මික සමරවික්‍රම කටයුතු කරන බව පෙනී යයි. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සමඟ අත්වැල් බැඳගනිමින් ද ඔහු විශාල සේවාවක් ඉටු කරයි.

“2022 දී අපි කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ මුම්බායිවල ආරම්භ කළා. Divolca කියන වෙළෙඳ සන්නාමය ජාත්‍යන්තරයට රුගෙන ගියා. දම්රෝ ආයතනයෙන් පස්සේ, මම තමයි ඉන්දියාවට අපේ වෙළෙඳ සන්නාමයක් අරගෙන යන්න සමත් වුණේ. අපි ඒ කර්මාන්ත ශාලාවේ හදන උපකරණ තවදුරටත් අපනයනය කරනවා. අපේ බලාපොරොත්තුව අපේ ලාභාංශය විදේශ විනිමය විදියට රට ඇතුළට රුගෙන ඒම."

ඉන්දියාව පමණක් නොව සමස්ත දකුණු ආසියාතික වෙළෙඳපොළම ක්‍රමිකව ජයගැනීමට Divolca උත්සාහ දරමින් සිටී. 

සාර්ථක ව්‍යවසායකයකු ලෙස නැගී සිටි ධම්මික සමරවික්‍රම නම් ව්‍යවසායකයාගෙන්, ව්‍යවසායක සිහිනය සැබෑකර ගැනීමට උත්සාහ දරන පිරිස් ලබාගත යුතු ආදර්ශ ද බොහෝය.

“පාසලින් ඉවත් වුණාට පස්සේ මේ සඳහා දැනුම ලබාගැනීමම ඉලක්ක කරගෙන මම රුකියාවක් කළා. වසර දෙකක් විතර ඒ රුකියාව කළා. ඒ රුකියාවෙන් ගත්ත දැනුමත් එක්ක තමයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඒ නිසා ව්‍යාපාරික ලෝකයට එන අයට මම දෙන උපදෙස තමයි, එකපාර ව්‍යවසායකයෙක් වෙන්න යන්න එපා. අඩුම තරමේ වසර දෙකක්වත් කොහේ හරි තැනක පුහුණුව ලබන්න ඕනෑ." 

ධම්මික සමරවික්‍රම ව්‍යාපාරික ලෝකයේ මූල්‍ය විනය ද ඉතා අගය කොට සලකන්නෙකි. ඔහු පෙන්වා දෙන්නේ බොහෝ ව්‍යවසාය අතරමඟ කඩා වැටීමට හේතුව මූල්‍ය විනය පිරිහීම බවයි.

“ගොඩක් ව්‍යවසායකයන් අනාගන්නෙ මූල්‍ය විනයක් නැති නිසා. සමහරු ව්‍යාපාරය වෙනුවෙන් බැංකු ණය ගන්නවා. නමුත් ඒ ණය ව්‍යාපාරයට සම්පූර්ණ ආයෝජනය කරන්නේ නෑ. ඒ සල්ලිවලින් වාහන ගන්න, ඉඩම් ගන්න, කසාද බඳින්න යනවා. එහෙම වුණාම වර්කින් කැපිටල් එක අනවශ්‍ය දේවලට වියදම් වෙලා තමන් උපයන දේ ණය ක්ෂය වෙනවා. ඒ අනුව අවුරුදු දෙක තුනක් යද්දි වර්කින් කැපිටල් එක සීරෝ වෙලා මේ අය කඩා වැටෙනවා." 

කාරක ප්‍රාග්ධනය කළමනාකරණය කිරීමේ දෝෂය බොහෝ ව්‍යවසාය කඩා වැටීමට හේතු වී ඇති බව සමරවික්‍රම මහතා පෙන්වා දෙයි. එසේම අනුකරණවාදී නොවීම, දැනුම සම්පාදනය, පුද්ගල කළමනාකරණය සාර්ථක ව්‍යවසාය ගොඩනගා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධක බව සමරවික්‍රම මහතා තවදුරටත් අවධාරණය කරයි.

සැබෑ ව්‍යවසායකයකු යනු තවත් ව්‍යවසායකයන් ගොඩනැගීමට දිරි දෙන පුද්ගලයෙකි. ධම්මික සමරවික්‍රම කෙරෙන් එම ලක්ෂණය ප්‍රකට වේ. එම නිසාම අවසානයේ සඳහන් කළ යුත්තේ දළ දේශීය ආදායමට ශක්තියක් වෙමින්, විදේශ විනිමය ද රටට තුළට ගෙන එමින් මෙවන් ව්‍යවසාය නිර්මාණය කරන මිනිසුන් රටට සම්පතක් බවයි.