- මහාචාර්ය පර්සි විජේවර්ධනගෙන් ඔවදනක්
මහාචාර්ය පර්සි විජේවර්ධන රජරට විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ හිටපු පීඨාධිපතිවරයාය. ඔහු රැකියා ඉලක්කගත අධ්‍යාපනය ගැන දේශයට දැක්වූ අදහස් බිඳකි මේ....
Q ලෝකයේ බොහෝ රටවල් අධ්‍යාපනයේදී විෂය කරුණු ඉගැන්වීමට අමතරව වෘත්තීය නිපුණත්වය ගැන අවධානය යොමුකරනවා නේද?
ඔව්. අද ලෝකයේ සිදුවන්නේ එයයි. අපේ රටෙත් සංවර්ධන උපාය මාර්ග සකස් කිරීමේදී මානව ප්‍රාග්ධනය (වෘත්තීය නිපුණත්වය) ගැන සැලකිල්ලක් දැක්වීම අවශ්‍යයි. මෙහිදී අප සිතිය යුතුතේ ලංකාව ගැන පමණක් නොවේ. අද අපි ඉලක්ක කළ යුත්තේ යුරෝපය ඇතුළු රටවල්වලට ගැලපෙන වෘත්තීය පුහුණුවක් ඇති කිරීම ගැනයි. නමුත් අපි තවමත් උගන්වන්නේ බටහිර මොඩලයේ අධ්‍යාපනයක්.
Q අපේ වෘත්තීය නිපුණත්වය ගැන ඉතිහාසයෙන් හෙළිවෙනවා නේද?
අදත් අපි ඉතිහාසය වර්ණනා කරමින් ඉන්නවා. පුරාණ වැව් තාක්ෂණය, යුද ශිල්පය, ආයුධ නිෂ්පාදනය, ලෝහ තාක්ෂණය පමණක් නොවෙයි, අලි ඇතුන් ඇතුළු සතුන්ගෙන් වැඩ ගැනීමේ තාක්ෂණයත් අපට තිබුණා. කළුගල්, ගඩොල් භාවිතයෙන් විස්මිත නිර්මාණ කිරීමට තරම් දක්ෂ ශ්‍රමයක් ඒ කාලේ පැවතුණා.
Q අද පාසල්වලින් හා විශ්වවිද්‍යාලවලින් පිටවන දරුවන්ට මේ තාක්ෂණික නිපුණත්වය ලැබෙනවාද?
එය අප රටේ පැතිර තිබෙන්නේ සුළු වශයෙන්. නමුත් මානව ශ්‍රමය වඩාත් නිපුණත්වයට පත් කිරීම් ක්‍රම සකස්විය යුතුය. කලා විෂයය කළ උපාධිධාරීන් දුක් වෙනවා රැකියා අවස්ථා නෑ කියලා. වැඩි දෙනෙක් රජයේ රැකියා පෝලිමේ ඉඳගෙන පසුතැවිලි වෙනවා. කලා ඉගෙනගත් අයට රැකියා නැත්තෙ නෑ. ඔවුන් තම ශ්‍රම හැකියාව ඒ සඳහා සකස් කරගත යුතුයි. මුලින්ම ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි. ඒ වගේම වෙනත් වෘත්තීය නිපුණත්වය දෙන කෙටිකාලීන පාඨමාලා හදාරා රැකියා වෙළෙඳපොළට ගැලපෙන සේ සකස්විය යුතුයි. මෑතකදී යෝජනාවක් ආවා කලා කරපු අයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා පුහුණුව ලබාදීමට. ඒක හොඳ අදහසක්.
Q වාණිජ විෂයයන් හදාරන විශ්වවිද්‍යාල සිසුන්ටත් ඉදිරියේ අවදානමක් තිබෙනවාද?
ඔව්. පවතින තත්ත්වය මත ඉදිරියේදී සේවා අංශය හැකිලෙනවා. නව තාක්ෂණය වාණිජ සේවා රැකියාවලට එක්වෙනවා. මේ නිසා මම නම් කියන්නේ උපාධියට අමතරව ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂා ඉගෙන ගෙන ගෝලීය රැකියා වෙළෙඳපොළට එක්විය යුතු බවයි.
Q ඔබ කියන්නේ ඉංග්‍රීසිවලට අමතරව වෙනත් භාෂාවක් ඉගෙන ගත යුතු බවද?
ඔව්. ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාවක් ලෙස අප ඉගෙනගෙන තිබිය යුතුයි. ඊට අමතරව බොහෝ රටවල රැකියා කිරීමේදී භාවිත වන්නේ ඒ රටේ මව් භාෂාවයි. අපට රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇතිවීමට නම් අපි කොරියන්, චීන, ජපන්, ප්‍රංශ වගේ ඒ ඒ රටවල භාෂා ඉගෙන ගත යුතුයි. ඉංග්‍රීසිවලට අමතරව තමන්ට පහසු එක් භාෂාවක් ගැන උනන්දුවීම සෑහෙනවා. අපට හැම භාෂාවක්ම ඉගෙන ගන්න බෑනේ. ඔබ උසස් පෙළ කෘෂිකර්මය ඉගෙන ගෙන වෙනත් භාෂා දැනුමක් තිබෙනවා නම් විදේශ රටක කෘෂි ක්ෂේත්‍රයේ හොඳ රැකියාවක් සොයාගැනීමට පුළුවන්. අද කෘෂිකර්මය මඩට බැහැලා කරන රැකියාවක් නොවේ. බොහෝ රටවල හරිතාගාරවල තමයි වගා කටයුතු කරන්නේ.
Q අපේ රටේ විශ්වවිද්‍යාල ඉලක්ක අධ්‍යාපනයක් මිස වෘත්තීයවලට යොමුකරන අධ්‍යාපනයක් නෑ නේද?
අපේ රටේ එවැනි වෘත්තියකට පාසල් අධ්‍යාපනයේදී යොමු කෙරෙන්නේ 10 වසරෙන් පසුවයි. නමුත් ලෝකයේ සංවර්ධිත බොහෝ රටවල ළමයිගේ ඉදිරි අනාගත සැලසුම් කෙරෙන්නේ ඔහු පාසලට පය ගහපු දා සිටයි. ජපානය, චීනය, කොරියාව වගේ ආසියාතික රටවලත් මෙය සිදුවෙනවා. මේ ළමයින්ට අනාගතයේ තමන් නියැළෙන ක්ෂේත්‍රය ගැන සිතන්න අවුරුදු 16-18ක් වනතෙක් බලා සිටිය යුතු නොවේ. අප රටේ රජයේ එහෙම සැලසුමක් නැති නිසා දෙමාපියන්වත් දරුවන් ගැන උනන්දු වී ඔවුන්ගේ අනාගතයට අඩිතාලම දැමීම අවශ්‍ය වෙනවා.
Q අපි පිටරට රැකියා ගැන අවධානය යොමු කළොත්?
අද වනවිට අපේ රටේ රැකියා වෙළෙඳපොළ නොසෑහෙන නිසා විදේශ රැකියා ගැන අවධානය යොමු කිරීම අවශ්‍ය වෙලා. අපට හොඳ නිපුණත්වයක් වගාකර ගත හැකි දක්ෂ මානව සම්පතක් තිබෙනවා. ඔවුන් එයට යොමු නොකිරීමයි ගැටලුව. ගෘහ සේවයට යන වැඩි දෙනෙකුට කිසිම පුහුණුවක් නෑ. අද වැඩිපුරම රැකියා අවස්ථා තිබෙන්නේ කෘෂිකර්මය, සෞඛ්‍ය ශ්‍රම ක්ෂේත්‍රය, තාක්ෂණය යන විෂයන්වලටයි. අපේ ගොඩබිම වගේ තුන් ගුණයක මුහුදක් තිබෙනවා. නමුත් මුහුද ආශ්‍රිත රැකියාවලට උනන්දු වන්නේ ඉතා සුළු පිරිසක්. ඒ සඳහා සාගර විශ්වවිද්‍යාලයක්ද තිබෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයෙනුත් සමුද්‍ර පාඨමාලාවක් පවත්වනවා.
Q වැඩිදෙනෙක් පවසන්නේ කොච්චර ඉගෙන ගත්තත් රස්සාවක් හොයාගන්න අමාරුයි කියලයි.
එහෙම සිතීම වැරදියි. ඔය හැමෝම වගේ රැකියා හිඟයක් ගැන කියන්නේ ලංකාව ගැන හිතලනේ. අපි රටින් පිටට ගිහින් හිතන්න ඕනේ. ජර්මනිය, ඊශ්‍රායලය, අමෙරිකාව, කොරියාව වගේ රටවල කෘෂිකර්මය සහ ධීවර ක්ෂේත්‍රයේ පවා රැකියා කොපමණ තිබෙනවාද? කවුරුත් හිතන්නේ වෛද්‍ය, ඉංජිනේරු වගේ නිල් කරපටි රැකියා ගැන විතරයි. අනෙක් අංශවල රැකියාවලට සුදුසුකම් සපුරා තිබෙනවා නම් අන්තර්ජාලයෙන් පවා අයදුම් කළ හැකියි.
I කුසුම්සිරි