2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

Two අයිඩියාස්

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 130

මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ව්‍යාපාර පටන් ගන්න හිතන ගොඩක් දෙනා අතරමඟ නැවතිලා ඉන්නවා. ඉතින් හැම සතියකම පොඩි අදහස් දෙකක්  අපි ඔයාලට  දෙනවා...

කොට්ටම්බා තලමු

ගස් යට තැන්  තැන්වල වැටිලා පැළවෙලා දිරලා විනාශ වෙලා යන කොට්ටම්බා ඔයාල දැකලා ඇති. ඒත් කොට්ටම්බා කියන්නේ ආදායම් මාර්ගයක් කියලා ඔබ දැනගෙන හිටියද? විදේශ වෙළෙඳපොළේ කොට්ටම්බා මදවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ශ්‍රමය සහ කාලය පොඩ්ඩක් යොදවන්න පුළුවන් නම් අමතර ආදායමක් හොයාගන්න කොට්ටම්බා කියන්නෙ අපූරු ව්‍යාපාරයක්.

මේ වෙනකොට දේශීය වශයෙන් කොට්ටම්බා ගැනුම්කරුවන් ඉන්නවා. ඒ අතරින් යම් පිළිගැනීමක් සහිත ආයතනයක් විදිහට කොට්ටම්බා මිලදී ගන්න අයත් ඉන්නවා. ඒ නිසා ගස් යට එකතුවෙන කොට්ටම්බා හොයල ඒවා තලලා මද විදිහට එකතු කරලා මේ ගැනුම්කරුවන්ට ලබා දීමෙන් මුදල් උපයන්න දැන් ඔයාලට පුළුවන්.

නිවසට වෙලා කාලය ගත කරන අයට වගේම වැඩිහිටියන්ටත් මේක හොඳ අවස්ථාවක්. හැබැයි ලොකු ලොකු ගණන් දෙනවා කියලා කියන ගැනුම්කරුවන් ළඟට නම් යන්න එපා. ස්ථිරවම ගැනුම්කරු විදිහට කටයුතු කරන පිළිගත් ආයතනයක් එක්ක ගනුදෙනු කරන්න. එතකොට තමයි මේ ගනුදෙනුව දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නෙ.

පොල්කටු සුද්ද කරමු

ලංකාවේ හැම ගෙදරකම පොල්කටු කියන්නෙ අනිවාර් යෙන්ම ඉතිරි වන අපද්‍රව්‍යයක්. ගොඩක් වෙලාවක දරට පොළට ඉන්ධනයක් විදිහට පොල්කටු පාවිච්චි වෙනවා. ඒත් පොල්කටු කියන්නෙ ඊට වඩා ගොඩක් වැඩ ගන්න පුළුවන්, සල්ලි හොයන්න පුළුවන් මාධ්‍යයක්.

පොඩ්ඩක් මහන්සිවෙලා පොල්කටුවක් දෙකක් සුද්ද කරලා වැඩේ පටන් ගන්න පුළුවන්. ලස්සනට සුද්ද කරලා පොලිෂ් කරපු පොල්කටු නිකම්ම වෙළෙඳපොළට දැම්මත් හොඳ ගාණක් හොයාගන්න ඔයාට පුළුවන්. මේ සම්බන්ධයෙන් පුහුණු වැඩසටහන් පවා තියෙනවා.

ඇත්තටම පොල්කටු ආශ්‍රිතව කරන නිර්මාණවලට ලොකු වටිනාකමක් මේ වන විට වෙළෙඳපොළේ තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි, පිටරටටත් මේ වගේ විසිතුරු භාණ්ඩ යවන අය ඉන්නවා. උත්සාහ කරල ඒ අය සම්බන්ධ කරගෙන වැඩේ සාර්ථකව කරගෙන යන්න පුළුවන්. නැත්නම් ඔයාටත් යම් දැනුමක් තියෙනව නම් ඔයාගේ නිෂ්පාදන මාර්ගගත ක්‍රමයට අලෙවි කරන්න බැරිකමක් නෑ.