2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

සිස්ටම් වෙනස් කළ නූතන හාඩ්වෙයාර් කලාව

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 1079

ව්‍යාපාරික ආයතන අතරින් දෛනික ජීවිතයේදී අපි නිතර යන එන තැනක් තමයි හාඩ්වෙයාර් එක. ඒත් අපි දන්න ගොඩක් හාඩ්වෙයාර් බොහොම අපිළිවෙළයි. අපිට අවශ්‍ය දේ තෝරලා බේරලා පහසුවෙන් අරගන්න එක ලේසි නෑ. හැමතැනම බඩු මුට්ටු විසිරිලා. කාලයක් ගොඩක් නාස්ති වෙනවා. ඒත් අද අපි කතා කරන්න යන මේ ගම්පහ බැලුම්මහර තියෙන ''තෙන්නකෝන් හාඩ්වෙයාර්'' එක ඊට හාත්පසින්ම වෙනස් තැනක්.

මේ හාඩ්වෙයාර් එක කරගෙන යන්නෙ ව්‍යාපාරිකයෙක් වන ප්‍රසන්න තෙන්නකෝන් විසින්. පහුගිය කාලේ ප්‍රසන්න, හාඩ්වෙයාර් ව්‍යාපාරයට අලුත්ම සිස්ටම් එකක් හඳුන්වා දීලා තිබුණා. මේ නව ක්‍රමවේද හරහා අපිට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් පහසුවෙන් තෝරලා බේරලා ගන්න පුළුවන් ක්‍රමවේයක්. ඒ නිසාම මේ හාඩ්වෙයාර් එක දැන් තරමක් ප්‍රසිද්ධයි. පාරිභෝගිකයොත් මේ ගැන කතා කරනවා. ඒ නිසාම තෙන්නකෝන් හාඩ්වෙයාර් එකේ වෙනස්ම සිස්ටම් එක ගැන අපිත් කතා කරන්න හිතුවා.

''මීට අවුරුදු 18 කට විතර කලින් ටිපර් එකක් අරගෙන තමා මම මේ ව්‍යාපාරය පටන් ගත්තෙ. ඒ කාලේ මට පෞද්ගලික වාහනයක්වත් තිබුණේ නෑ. බස්වල ගිහින් අවශ්‍ය ද්‍රව්‍ය හොයන්න සෑහෙන්න මහන්සි වුණා. පස්සේ ක්‍රම ක්‍රමයෙන් අපි දියුණු වුණා. ගොඩක් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් තමයි අද තිබෙන තත්ත්වයට ව්‍යාපාරය දියුණු කළේ. කොහොම වුණත් පහුගිය ජනවාරි මාසය වෙනකම්ම සාමාන්‍ය හාඩ්වෙයාර් එකක් විදිහට තමා මේ ව්‍යාපාරික ස්ථානය අපි පවත්වාගෙන ගියේ....''

අද වෙනකොට ප්‍රසන්නගෙ හාඩ්වෙයාර් එක සාමාන්‍ය තැනක් නම් නොවෙයි. මෙතැන ලොකු වෙනසක් දැනෙනවා. ලස්සනයි, පිළිවෙළයි. අභියෝග දුෂ්කරතා එක්ක පැමිණි ගමනේ ඔහු අද වනවිට විශාල පරිවර්තනයක් සිද්ධ කරලා.

''පහුගිය කාලයේ මට හිතුණා හාඩ්වෙයාර් එකේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනෑ කියලා. සාමාන්‍යයෙන් අපි මිලදී ගන්න බඩු හාඩ්වෙයාර් එකක් පිළිවෙළකට තියන්නෙ නෑ. මොනවද තියෙන්නෙ? මොනවද නැත්තෙ? කියලා අපේ ඇහැට පේන්නෙ නෑ. පාරිභෝගිකයෙක් යමක් ඉල්ලුවාම බඩු උඩින් පැනගෙන ගිහිල්ලා තමා ඒ බඩුව ගෙනැත් දෙන්නෙ. ඒ නිසා මම මුලින්ම හිතුව මේ හැම භාණ්ඩයක්ම පාරිභෝගිකයන්ට පේන්න ඕනෑ කියලා.''

මේ වෙනස ආරම්භ වන්නේ මෙම සිතුවිල්ල පාදක කරගෙන. පාරිභෝගිකයාගේ ඇස් මට්ටමින් සියලු බඩුබාහිරාදිය දැක බලාගත හැකිවන පරිදි විශේෂිත රාක්ක ක්‍රමයක් නිර්මාණය කිරීමට ප්‍රසන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ ඒ භාණ්ඩ වර්ග කාණ්ඩ කරලා එක් එක් අංශ තුළ ගබඩා කරන්නත් මේ අපූරු ව්‍යාපාරිකයා කටයුතු කරලා.

''අපි මෙතන හැමදේටම සිස්ටම් එකක් හදන්න කටයුතු කළා. දැන් ලොකු පහසුවක් තියෙනවා. කලින් අපි පාරිභෝගිකයකුට යම් භාණ්ඩයක් විකුණන්න සෑහෙන්න මහන්සියක් ගන්න ඕනෑ. දැන් එහෙම නැහැ. නියමිත මිල වගේම වට්ටමත් අපි පැහැදිලිව ඉදිරිපත් කරලා තිබෙනවා. බඩු ටික හොඳට බලලා අරගන්න පාරිභෝගිකයන්ට පුළුවන්. මේ තත්ත්වයත් එක්ක මෑතකාලීනව අපගේ පාරිභෝගිකයන් ප්‍රමාණයත් එන්න එන්නම වැඩිවෙලා තියෙනවා.''

වෙනදා මෙහි නොපැමිණි විවිධ සමාජ තරාතිරම්වල පුද්ගලයින් සිය වෙළඳසැළ වෙත දැන් පැමිණෙන බව ප්‍රසන්න සඳහන් කරනවා. ඒ වගේම ඔහු කරපු බාහිර සහ අභ්‍යන්තරය පිළිබඳ පාරිභෝගිකයන් පැහැදීමෙන් කතා කරන බවත් කියනවා. ඇත්තටම මේ හාඩ්වෙයාර් එකෙන් දේශීය ව්‍යාපාරිකයන්ට කළමනාකරණය පිළිබඳව අපූරු පාඩමක් කියා දෙන්නෙ.

''මං මෑතකදී ඉඩමක් අරගෙන ගල් වැලි වගේ දේවල් ගබඩා කරගෙන විකුණන්න පටන් ගත්තා. ඒ ස්ථානයෙත් මේ වෙනසම සිද්ධ කළා. තමන්ට ඕනෑ ගල් වර්ගය, තමන්ට ඕනෑ වැලි වර්ගය ළඟට ගිහින් බලලා තෝරාගන්න මෙතැනදී පුළුවන්. ඉස්සර ඇනවුම් ලැබුණාම  භාණ්ඩ යවන්න තමා අපි කටයුතු කළේ. මේ වගේ දේවල් තෝරා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට තිබුණේ නෑ. දැන් ඒ තත්ත්වයත් වෙනස් වෙලා තියෙනවා.''

ක්‍රමයෙන් ව්‍යාපාර ලෝකයේ ඉදිරියට පැමිණෙන ප්‍රසන්න තෙන්නකෝන් පිළිබඳ අප අගයන්නේ ඔහු නව අදහස් ඉදිරිපත් කරමින් නව දේශීය ව්‍යාපාරික මොඩලයක් හඳුන්වා දෙන්නෙක් වීම නිසාවෙන්‍. නූතන ලෝකයට සරිලන පරිදි ව්‍යාපාරය යාවත්කාලීන කිරීම පිළිබඳව ප්‍රසන්න සපයන්නේ අපූරු ආදර්ශයක් අපි කාටත් සපයනවා.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00