ඒ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ 1972 වසරයි. මම න්‍යායාත්මක භෞතික විද්‍යාව අවසාන පරීක්ෂණය සඳහා සූදානම් වෙමින් සිටියෙමි. අපගේ අවුරුදු ගණනක විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය මෙම අවසාන පරීක්ෂණ කිහිපයෙන් නිර්ණය කරනු ලැබේ. අපගේ අනාගතය තීරණය වන්නේ මෙම පැය කිහිපය මත වන අතර, අවුරුදු ගණනාවක් විශ්වවිද්‍යාලය තුළ කළ කී දේ දැන් අදාළ නොවේ. සමත් හෝ අසමත් ලෙස අදාළ විනිශ්චය අපට ලැබේ.
මගේ කාල සටහනට අනුව ලිඛිත විභාගය උදෑසන පැය 3 කුත් සවසට පැය 3 කුත් ලෙස පුරා දින දෙකක් පැවැත්වේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අවසාන විභාග කාල සීමාව තුළ අවම වශයෙන් එක් සිසුවෙක් වත් සියදිවි නසාගන්නා බව එවකට අප අසා තිබුණි. විභාගය නිසා එතරම් ආතතියකට සිසුහු පත්ව සිටියහ. නමුත් වාසනාවට මෙන් විභාගයට හොඳින් මුහුණ දීමට අනික් සිසුන්ට වඩා වාසිදායක තත්ත්වයක් මා සතුව තිබුණි. ඒ අපූරු උපක්‍රමය භාවනාවයි.
උදෑසන පැය 3ක විභාගය අවසන් වීමෙන් අනතුරුව අනික් සිසුන් මෙන් මම දිවා ආහාරයට නොගියෙමි. මම කෙලින්ම මගේ කාමරය වෙත ගොස් කොට්ටය මත හිඳගෙන භාවනා කිරීමට පටන් ගත්තෙමි.
'ඔව් ඔබ හිතුවා හරි. ඇස්දෙක පියාගත් සැණින් මට උදෑසන නිමකළ විභාගය සිහිවෙන්නට විය. මසිත කනස්සල්ලට පත්වෙමින් පවතී. 'මම හරියටම උත්තර ලිව්වාද?....' අවසාන ප්‍රශ්නයට තව වැඩිපුර පිටුවක් ලියන්න තිබ්බා.... අපරාදේ වැඩිපුර වෙලාවත් තිබ්බා.' වැඩිවෙලා යන්නට පෙර මගේ සිතුවිලි අතීතය සමඟය.
වාසනාවකට භාවනාව සම්බන්ධයෙන් මා ලැබු පුහුණුව නිසා මට පහසුවෙන් 'අතීතය' පිළිබඳ සිතුවිලි අතහැර දමන්නට හැකියාව ලැබිණ. ඉතින් මම පෙරවරුවේ පරීක්ෂණ ගැන වදවීම නවතා දැමුවෙමි.
ඔබ දන්නවද? ඊළඟට මගේ සිතට ආවෙ කුමක්ද කියලා.?
සියලු සිතිවිලි අභිබවා තව පැයකට අඩු කාලකින් ආරම්භ වීමට නියමිත හවස් වරුවේ විභාගය ගැන සිතුවිලි පහළ වන්නට විය.
මින් පෙර අවස්ථාවලදීද මම අන්තිම මිනිත්තුවේදී පාඩම් කර ඇත්තෙමි. මම දන්නෙ නෑ ඔබට කොහොමද කියලා නමුත් මට නම් මේ කොටස් කවදාවත් විභාගයට ආවෙ නෑ. මේ වෙලාව දෙන්නේ විභාගයට කලින් පොඩි විවේකයක් ගන්න නැතුව මහන්සි වෙන්න නෙමේ නේ.' මගේ සිතුවිලි නැවත මා කළඹන්නට විය.
මේ මොහොතේදී පෙර සේම භාවනාවෙන් පුහුණු කළ මගෙ මනස මට පිහිටට පැමිනුණි. මම අනාගතය ගැන වද වෙන එක අත්හැරියෙමි. ලිඛිත පරීක්ෂණ දෙකක් අතර, මගේ නේවසිකාගරයට වී භාවනා කිරීම මගින්, වර්තමානයේ මේ මොහොතේ විවේකි භාවයකට එළඹුණෙමි.
'මේ මොහොත' තුළ සිටිමින් මගේ අවධානය මගේ ශරීරයට යොමුකළෙමි. මා තිගැස්සිණි. මගේ සිරුර වෙව්ලමින් තිබිණ. මා ජීවිතයේ කවදාවත් බියගුලු පුද්ගලයකු නොවු මුත් , මගේ ශරීරය බියෙන් වෙව්ලමින් තිබිණ. තීරණාත්මක විභාග කීපයක් අතර මා සිටි බැවින් මගේ බියවීම සාධාරණ බව මට තේරුම් ගියේය.
නමුත් මා වඩාත් විමතියට පත් වූ කරුණ නම්, මා බියෙන් වෙවුලමින් සිටි බව මේ වනතෙක්ම මා නොදැන සිටීමයි. මම විභාගය ගැන සිතමින් වද වූ නමුත් කිසිම අවස්ථාවක මගෙ ශරීරය කුමක් කරන්නේ දැයි අවධානය යොමු නොකළෙමි. මම සියල්ල නවතා සම්පූර්ණ අවධානය ශරීරයට යොමු කළෙමි. මම මගේ සිරුරට ඇහුම්කන් දෙන්නට විය. මගෙ ශරිරය විවේකයක් ආයාචනා කරමින් සිටියේය. මම සියුම් ලෙස මගේ සිරුර ගැන අවධානය යොමු වනවිට, එය සෙමෙන් සන්සුන් වන්නට විය. වෙව්ලීම නැවතිණ.
ශරීරය සන්සුන් වීමත් සමඟ මට මගෙ මනසේ ආයාචනය ඇසෙන්නට විය. මා කොතරම් වෙහෙසට පත්ව ඇත්දැයි මට පසක් විය. මානසිකව මා කොතරම් වියළීගොස් ඇත්දැයි මට හැඟිණ. මා කෙතරම් අවිවේකීද කිවහොත්, මින් පෙර මේ දේවල් දැකීමට පවා මා හට නොහැකි විය. දැන් මට පැහැදිලියි. මගේ වචනවලින් කියනවා නම් මගේ මොළයේ ඉන්ධන ඉවර වී ඇත.
'විවේකිව ඉන්න කිසිවක් නොකරන්න' මනස මිමිණුවේය. ඉදින් මම විවේකීව වාඩිවී සිටියෙමි. ක්‍රමයෙන් මාගේ මානසික ශක්තිය නැවත ගොඩනැගෙන්නට විය.
පසුකලෙක අජාන් චා ස්වාමීන්වහන්සේ මට කියා දුන් පරිදි 'මානසික ශක්තිය වැඩෙන්නේ නිශ්චලත්වය තුළ' බව මම අවබෝධ කළෙමි. මගේ විනාඩි 30ක් දිගු භාවනාව අවසානයේ මා වඩාත් සන්සුන්, දීප්තිමත් සහ ශක්තිමත්ව නැගී සිටියෙමි. පසුකාලීනව මගෙ මිතුරන් මට පැවසුවේ එදින විභාග ශාලාවට සිනහමුසු මුහුනින් ඇතුළත් වූ එකම පුද්ගලයා මා බවය. ඔවුන් සිතා ඇත්තේ මා වංචනික ලෙස පිළිතුරු කලින් හොයාගෙන ඇති බවයි. සැබවින්ම මට පිළිතුරු හමුවිය. ඒ විභාග ප්‍රශ්නවලට නොවේ..... මානසික ආතතිය පාලනය කිරීම සඳහාය. මම විභාගය හොඳින් සමත්වුණෙමි.
මෙහිදී මා ඔබට පැවසු අත්දැකීම විභාග සඳහා භාවනාව යොදාගත හැකි ආකාරයයි. මෙය ජීවිතයේ අසහනකාරී බව ඇතිවන අනිකුත් අවස්ථා සඳහාද අදාළ වේ. උදා:- සමාජ සම්බන්ධතා, සම්මුඛ පරීක්ෂණ, රෝගවලට ගොදුරුව සිටින විට.
විභාග සමත්වීමේ හොඳම ක්‍රමවේදය 'ආතතිය' පාලනය කිරීමයි. නැතිනම් අතහැරීම මගින් මනස සන්සුන් කිරීමයි. වෙනත් වචනවලින් කියනවා නම් භාවනා කිරීමට ඉගෙන ගැනීම සහ එය ප්‍රගුණ කිරීමයි.
අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ MINDFULNESS, BLISS AND BEYOND පොත ඇසුරින් මුහුණු පොතෙනි.
පරිවර්තනය: චානක ජයවර්ධන