2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

පොත් ගැනම කතාකරන මාසය ඇවිත්!

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 192

සැප්තැම්බර සාහිත්‍ය වසන්තයේ නව ජීවයක් ඇති කරමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් ලබන 22දා සිට ඔක්තෝබර් 01දා දක්වා පැවැත්වීමට නියමිතය. ප්‍රදර්ශනය උදේ 9.00 සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා බිම ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අරඹා වසර 25ක් ගෙවී ගොස් ඇති අතර මෙවර පැවැත්වෙන්නේ 24 වැනි වරටය. කොවිඩ් අවදානම නිසා 2021දී ප්‍රදර්ශනය පැවැත්වුණේ නැත. දෙස් විදෙස් සම්මානනීය ග්‍රන්ථ රුසක් මෙවර පොත් ප්‍රදර්ශනයේ අලෙවිය සඳහා නිකුත් කර ඇති අතර වෙළෙඳ කුටි 400කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය තුළ ස්ථාපිත කර කිරිමට නියමිතය.

ප්‍රදර්ශනයේ ඉතිහාසය ගැන අපට මතක් කළේ විදර්ශන ප්‍රකාශන අධිපති මෙන්ම මුල සිටම පොත් ප්‍රදර්ශනයට සහභාගි වූ ජනක ඉණිමංකඩයි. 

''ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ මුල්ම පොත් දැක්ම පැවැත්වුණේ 1999 සැප්තැම්බර් 1දා කොළඹ ජාතික කලා භවනේදීයි. වසර දෙකක් කලා භවනේ පැවති ප්‍රදර්ශනය ඉඩකඩ ප්‍රමාණවත් නැති නිසා 2001දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රුගෙන ආවා. එහිදී ජාත්‍යන්තර හැඩේකට විදේශීය පොත් අලෙවි නියෝජිතයනුත් සම්බන්ධ කරගෙන ප්‍රදර්ශනය සංවිධානය වුණා. විදේශීය පොත් ප්‍රකාශකයන්ගේ ප්‍රදර්ශන කුටි ප්‍රදර්ශනයට එක්වුණා. 1996දී තිබුණේ ප්‍රදර්ශකයන් 18කගේ ප්‍රදර්ශන කුටි 26යි. මුල්ම ප්‍රදර්ශනයට සහභාගි වූ අයගෙන් අද වනවිට ප්‍රකාශන කර්මාන්තයේ නිරතව සිටින්නේ 10දෙනයි. විදර්ශන ප්‍රකාශන ආයතනයත් ඒ පිරිස අතර සිටින බව සතුටින් කිව හැකියි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරන්නේ චන්දු හපුතන්ත්‍රීය. මේ ඔහු එහි සංවිධාන කටයුතු ගැන දේශයට පළ කළ අදහස්ය: 

''ගිය අවුරුද්දේ ප්‍රදර්ශනය නැරඹීමට ලක්ෂ 10ක් පමණ පැමිණියා. අපි බලාපොරොත්තු වෙනවා මෙවර ඊට වැඩි ජනතා සහභාගිත්වයක් තිබේවි කියලා. දැන් කොවිඩ් අවදානම සම්පූර්ණයෙන් තුරන් වී ඇති නිසා. පැමිණෙන ජනතාවට අවශ්‍ය පානීය ජල, වැසිකිළි සහ ආහාර පහසුකම් ලබාගැනීටම ඉඩ සලසා තිබෙනවා. සෑම වසරකම පවත්වන දරු දිරිය ශිෂ්‍යත්ව ප්‍රදානය මෙවරත් ප්‍රදර්ශන භූමියේදී පවත්වනවා. 

දේශීය ප්‍රදර්ශන කුටිවලට අමතරව විදේශීය ප්‍රකාශකයන්ගේ කුටි 12ක් පමණ තිබෙනවා. ඉන්දියාව, එංගලන්තය සහ ඉරානය යන රටවල් ඊට සහභාගිවීමට නියමිතයි. චීනයත් සහභාගි වෙන්න ඉඩ තිබෙනවා. තවම ඔවුන්ගේ පැමිණීම ස්ථිර කර නැහැ. වාහන නැවතීමේ ගැටලුවට විසඳුමක් ලෙස මෙවර රූපවාහිනී සංස්ථාවට යාබද පිටියක් සූදානම් කර තිබෙනවා. එතැන සිට ප්‍රදර්ශන භූමියට වාහනවලින් රුගෙන යාමට කටයුතු සලසා තිබෙනවා. නොමිලේ ධාවනය වන බස් සේවයත් මෙවර ක්‍රියාත්මකයි. අපි පොතට ලැදි ජනතාවට ආරාධනා කරනවා මේ පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙසට.''

කාංචනා ප්‍රියකාන්ත නව පරපුරේ ලේඛිකාවක් මෙන්ම කේ බුක්ස් ප්‍රකාශන ආයතනයේ හිමිකාරියයි. මේ ඇය දැක්වූ අදහස්:

''ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ පාඨකයන්, ලේඛකයන් සහ ප්‍රකාශකයන් කියන සියලුම පාර්ශ්වයන්ට අවුරුද්දකට වරක් හිමිවන ඉතාම වැදගත් අවස්ථාවක්. දෙස් විදෙස් පොත් විශාල ප්‍රමාණයක් එකම තැනිකන් වට්ටම් සහිත මිලකට පහසුවෙන් මිලදී ගැනීමට පාඨකයන්ට ඉඩ ලැබෙන අගනා අවස්ථාවක් විදිහට මේ පොත් ප්‍රද්ශනය හඳුන්වන්න පුළුවන්. ඉතින් කේබුක්ස් ප්‍රකාශන ආයතනය විදිහට අපිත් අපේ පාඨකයන් වෙනුවෙන් මේ වසරට අලුත්ම පොත් දහයක් පමණ නිකුත් කරලා තියෙනවා. ඒ අතර කවි පොත්. කෙටිකතා පොත් වගේම වෙනත් කෘතීන්ද ඇතුළත්. පාඨකයන්ට වට්ටම් සහිත මුදලකට ඒ පොත් වගේම වෙනත් කෘතීන්ද ඇතුළත්. පාඨකයන්ට වට්ටම් සහිත මුදලකට ඒ පොත් වගේම අපේ පැරණි පොත් සියල්ලමත් මෙවර පොත් ප්‍රදර්ශනයේදී ලබාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රකාශන ආයතන සිය ගණනක් පළකර ඇති පොත්වල පැරණි මුද්‍රණ පැරණි මිලටම පහසුවෙන් හොයාගන්නත් පාඨකයන්ට පොත් ප්‍රදර්ශනය හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. මෙවර වෙළඳ කුටි ප්‍රමාණයත් ගිය වරට වඩා ඉහළ ගොස් ඇති නිසා පොත්වලට කැමති අයට විවිධත්වයකින් යුතු පොත් රාශියක් මිලදී ගන්නත් පුළුවන්.''

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ සූරිය ප්‍රකාශන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල ජයකොඩි: 

''සූරිය ප්‍රකාශන සමාගම මගින් පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් අලුත් පොත් 20ක් පමණ නිකුත් කර තිබෙනවා. ඒ අතර නවකතා, කෙටිකතා, පරිවර්තන කෘති මෙන්ම පැරණි පොත්වල නව මුද්‍රණත් තිබෙනවා. මෑතකදී අප අතරින් වෙන්වූ අනුල ද සිල්වාගේ අවසන් පරිවර්තනය වන අනියම් බිරින්ඳෑවැරු පොතත්, රූපා ශ්‍රියානි ඒකනායකගේ ස්වර්ණ පුස්තක නිර්දේශ වූ උන්මාද තොටමුණ නවකතාවත් මෙවර ප්‍රදර්ශනයෙන් මිලදී ගත හැකියි. මලික් තුසිත ගුණරත්නගේ සිල්වර් ටිප්ස් නවකතාව, මානෙල් කරුණාතිලකගේ යන්න මට අවසර පරිවර්තනය සහ මංජුල දිසානායකගේ මෙමරි මෑන් පරිවර්තනයත් අලුතින් අප නිකුත් කර තිබෙනවා. 

රට ආර්ථික අර්බුදයක පැවතුණත් පොත්වලට කැමති ජනතාව අවුරුද්ද පුරා මුදල් එකතු කර පොත් මිලදී ගැනීමට ප්‍රදර්ශනයට රුගෙන ඒම සිරිතක් කරගෙන සිටිනවා. පොත් මිලට ගැනීමට අමතරව පාඨක ජනතාව මෙතැන මිතුරන් හමුවීමේ සහ ලේඛකයන් හමුවීමේ වේදිකාවක් බවටත් පත්වී තිබෙනවා. විවිධ විශේෂාංගවලට ජනතාව සහභාගි වෙනවා. පොත් එළිදැක්වීම්වලට එක් වෙනවා. රටේ හැම පැත්තෙන්ම ජනතාව ප්‍රදර්ශනයට එන නිසා සාර්ථක අලෙවියක් පවතීවි කියා අප විශ්වාස කරනවා. ඒ වගේම පාඨකයටන්ටත් අලුත් පොත් වගේම පැරණි පොත් රාශියක්ද වට්ටම් යටතේ මෙතැනින් මිලදී ගත හැකියි. ප්‍රදර්ශනයේ අවසන් දිනය වන ඔක්තෝබර් 1දා ලෝක ළමා දිනයයි. එදාට ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකයි.''

සෑම වසරකම ලංකාවේ වැඩිටයන්ම පොත් පළකරන ආයතනය බවට පත්ව ඇත්තේ ගෙඩගේ ප්‍රකාශන සමාගමයි. මෑතක සිට දෙමළ බසින් ද පොත් රාශියක් ගොඩගේ ලාංඡනය යටතේ පළකෙරේ. ගොඩගේ ව්‍යාපෘති සම්බන්ධිකාරක ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ:

අපි පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගෙනම පොත් නිකුත් කරන්නේ නෑ. ගොඩගේ ආයතනය අවුරුද්ද කාර්තුවලට බෙදලා සෑම අංශයකටම අයත් පොත් පළකරනවා. යම්කිසි ඉලක්කයක් ඇතුව. සිංහලෙන් අංශ 57ක් යටතේ පොත් පළ කරනවා. ඉංග්‍රීසි සහ දෙමළ බසින්ද සෑහෙන පොත් සංඛ්‍යාවක් එළි දකිනවා. මේ අවුරුද්දේ මුල සිට සැප්තැම්බර් වනවිට භාෂා තුනෙන්ම පොත් 250ක් අප පළකර අවසන්. නවකතා, කෙටිකතා, ක්‍රීඩා, ළමා පොත්, කවි, යොවුන් නවකතා, ශාස්ත්‍රීය, බෞද්ධ ආදී වශයෙන් අංශ රාශියකට ඒ පොත් අයත් වෙනවා. ඒ සියලුම පොත් ප්‍රදර්ශනයේ දී මිලදි ගත හැකියි. ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගයෙන් දිනූ පොත් 33ක් ද අලුතින් මුද්‍රණය කරනවා ප්‍රදර්ශනය ඉලක්ක කරගෙනම. ඒවා මුල්වරට වෙළෙඳපොළට දාන්නේ පොත් ප්‍රදර්ශනයේදීයි. සම්මානවලට නිර්දේශ වූ සහ සම්මාන ලැබූ පොත්වල පුනර් මුද්‍රණත් පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් වෙනවා.''

පොත් මිලදී ගැනීම වගේම පොත් කියවීමත් උණකි. එය නරක උණක් නොව ජීවිත පරිඥානයක් ලබාදෙන හොඳ උණකි. පොත් ගුල්ලන් බලා සිටින පොත් දැක්මට තව ඇත්තේ සතියක් පමණි. දැන් ඔවුන් තමන් පොත් ගැනීමට ඉතිරි කළ මුදල් ගණන් කරමින් ඉන් කොපමණ පොත් මිලදී ගත හැකිදැයි හිතෙන් ගණන් හදමින් සිටිනවා විය හැකිය. මෙවර පොත් මිල ඉහළ ගොස් ඇත. රටම ආර්ථික අර්බුදයකට තල්ලු කර ඇති සමයක පොත් කියවන පාඨකයන්ට එය වඩාත් අසාධාරණ ලෙස දැනෙනවා විය හැකිය.  කෙසේ වුවත් මෙවර ගිය වරටත් වඩා අධික ජනතාවක් පොත්වලට ආදරෙන් පොත් ප්‍රදර්ශනයට රොඳ බදින බව සංවිධායකයන්ගේ අදහසයි.

I කුසුම්සිරි විජයවර්ධන

සේයාරූ I අන්තර්ජාලයෙනි