2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

මාධ්‍යයේ වැඩ්ඩෙක් වෙන්න භාෂාවෙන් වැඩ පෙන්වන්න් - ආචාර්ය නිහාල් රංජිත් ජයතිලක

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 149

ජනමාධ්‍ය විෂයයෙන් ආචාර්ය උපාධිය හිමිකරගත් නිහාල් රංජිත් ජයතිලක මාධ්‍ය අධ්‍යයනය පර් යේෂණ කෘති කිහිපයක කතුවරයා වේ. ඔහු නිදහස් මාධ්‍යවේදියකු ද වේ.

Qඅද මාධ්‍ය අධ්‍යයනය විෂයය සිසුන් අතර ඉතා ජනප්‍රියයි. නමුත් විෂය ඉගෙන ගන්නා බහුතරයක් දෙනාට ඒ ගැන ප්‍රායෝගික හැකියාවක් ඇති බව පෙනෙන්නේද?

මාධ්‍ය අධ්‍යයනය විෂය සිසුන් අතර ජනප්‍රිය වෙමින් තිබෙන බව ඇත්ත. රට පුරා මීඩියා ටියුෂන් ව්‍යාපාර ව්‍යාප්තිය තුළිනුත් ඒ බව පේනවා. බොහෝ සිසුන් පාසලෙන් ලබන මාධ්‍ය දැනුම විභාග පාස්වෙන්න මදියි කියා ටියුෂන් පස්සෙ යනවා. මාධ්‍ය විෂය පිළිබඳව ගැඹුරින් හැදෑරීමකට යොමුවන පිරිස අඩුයි. ප්‍රායෝගික හැකියාවන් හීන වෙන්නෙ මේ හේතුව නිසයි.

බහුතරයක් විෂය දැනුමට අතිරේක කරුණු එකතු කර ගන්න උත්සාහ කරන්නෙ නැහැ. පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය සමඟ බද්ධවීම අඩුයි. සම්ප්‍රදායික මාධ්‍ය අතික්‍රමණය කර තිබෙන නව මාධ්‍ය - සමාජ මාධ්‍ය සමඟ නම් නිරන්තර බැඳීමක ඉන්නවා. ඒ පෑහීම විෂයානුබද්ධ තොරතුරු හෝ නිර්මාණාත්මක දේ උකහා ගැනීමටම නෙමෙයි. වැඩිදෙනා හරසුන් නිස්සාර දේ විඳින්නයි මනාප. කොටින්ම මාධ්‍ය විෂය හදාරන වත්මන් සිසු පරපුරේ බහුතරයක් අපේ සෞන්දර්ය කලා ඉසව් සමඟ සහසම්බන්ධ වන අවස්ථා හීනයි. නිර්මාණාත්මකව භාෂාව හැසිරවීමට (ලියන - කියවන) සමත්කම්, බොහෝ දෙනෙකුගෙන් නිර්මාණාත්මක චින්තනය, භාෂාව හැසිරවීම දුබලයි. මුල් අවධියේ ප්‍රායෝගික අත්දැකීම් නොමැතිවීම ඊට හේතුවයි. අභ්‍යන්තර, බාහිර සරසවි විද්‍යාර්ථීන් තුළත් මේ අඩුව දකින්නට පුළුවන්. ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා මේවා හදාගැනීම අමාරු නැහැ.

Qසමහර ළමුන් මාධ්‍ය අධ්‍යනය තෝරාගන්නේ ලේසියෙන් විභාගෙ පාස්වෙන්න බව පේනවා නේද?

නගරයේ සහ ඉන් ඔබ්බේද විවෘත වී ඇති මාධ්‍ය අධ්‍යනය පන්තිවලින් ඉටු කරන්නේද ලේසියෙන් විභාගෙ ගොඩදා ගැනීමේ විධික්‍රම තමයි. අති පුළුල් විෂයයක් වන මාධ්‍ය අධ්‍යයනය ගැඹුරින් හා  පර් යේෂණාත්මක හැදෑරීම් කළ අය මාධ්‍ය ගුරු භූමිකාවල සිටීද යන්නත් ප්‍රශ්නාර්ථයක් තමයි.

කෙසේ වුවත් ඇතැම් සිසුන් අනාගත මාධ්‍ය රැකියා ඉලක්ක මත පිහිටා සාම්ප්‍රදායික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඇසුරේද, සෞන්දර්ය කලාවන්ට බද්ධ වෙමින් කටයුතු කරනවා. ඉංග්‍රීසි දැනුම පුළුල් කර ගනිමින් මාධ්‍ය විෂයයේ ගැඹුරු තැන් ස්පර්ශ කිරීමට දරන ඔවුන් උත්සාහය නම් අගය කළ යුතුමයි. සරසවි විද්‍යාර්ථීන් බවට පත්ව ඒ ඉදිරි ගමන වර්ණවත් කර ගැනීමට ඇතැම් සිසුන් දිරිය විරිය වැඩීම රටේ විචාරශීලී පුරවැසි භූමිකාවටද ලොකු ආලෝකයක් එකතු කිරීමක්.

Qඉස්සර නම් ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත්වලින් පවා මාධ්‍ය අධ්‍යයනය කළ හැකි වුණා. අද ඒ තත්ත්වය කෙසේද?

අද තත්ත්වය උඩු යටිකුරු වෙලා. Fm නාලිකාවල වැඩිපුර ප්‍රචාරය වෙන්නෙ තරුණ පෙළ, ගෘහස්ත වනිතාවන් ඉලක්ක කරගත් බාල බොළඳ වැඩසටහන්. තාවකාලික සුවය, වින්දනය දෙන, මුදල් තෑගිත් ලබාදෙන ඒවා. විභාග අරමුණු කරගෙන විෂය දැනුම සඳහා ඇතැම් නාලිකා ජනප්‍රිය නැති විකාශන කාලවල යම් වැඩසටහන් ගේනවා. රූපවාහිනී නාලිකා අතර පවතින තරගකාරීත්වය නිසා ප්‍රවෘත්ති හැරුණුවිට වැඩියෙන් විකාශය වෙන්නෙ හරසුන් ටෙලිනාටක, වැදගැම්මක් නැති දේශපාලන ඕපදූප, ප්‍රචණ්ඩත්වය වපුරන දෙමළ චිත්‍රපට, රියැලිටි ෂෝ වගේ වැඩසටහන්.

රටේ මූල්‍ය හා ආර්ථික බංකොලොත් බව නිසා පුවත්පත් පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වෙලා. ඒ නිසා පත්‍ර මිල වැඩිවුණාට පිටු අඩුයි. නිර්මාණ පිටු නැතිවීම මාධ්‍ය අධ්‍යයනයට පාඩුවක්. ටීවීවල උදේට පත්‍රවල අන්තර්ගත කියවන නිවේදක කරච්චලේට බැණ බැණ වුණත් බොහෝ අය ඒවා බලන්නෙ පත්තර ගන්න සල්ලි නැති නිසා. ඉස්සර සති අන්තයට පත්‍ර 4 - 5ක් ගත්ත අය දැන් ගන්නෙ එකයි. සමහරවිට ගන්නෙම නැහැ. මේ නිසා පත්‍ර අලෙවියත් පහත වැටිලා. පත්‍ර මගින් ලබාදුන් අධ්‍යාපනික වටිනාකමත් නැතිවෙලා. වට්ටපු ආර්ථික පසුබිම යටතේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා මාධ්‍ය අධ්‍යාපනයට ලැබෙන අනුබලය ඉතාම අල්පයි.

Qඔබ මාධ්‍ය ගැන පර් යේෂණ කෘති කිහිපයක්ම ලියා තිබෙනවා. මාධ්‍ය හදාරන සිසුන් ඒවා කියවන බව පේනවද?

ජන සන්නිවේදන කෘතිවලට අමතරව අලෙවිකරණය නමින් ලියූ පොතේ පවා මාධ්‍ය හා ප්‍රචාරණය ගැන ඇතුළත්ව තිබෙනවා. මේ සෑම පොතක්ම මුද්‍රණ වාර කිහිපයකින් නිකුත්වීමෙන් ඒවා පාඨක අවධානයට යොමුවූ බව පේනවා.
එසේම 2021 දී නිකුත් කළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය-1 පොත මූලිකව 12 ශ්‍රේණියේ සිසුන්ගේ විෂය නිර්දේශයත්, අතිරේක කරුණු සහිතව සරසවි විද්‍යාර්ථීන්ගේ පරිහරණයට සුදුසු ලෙසත් සම්පාදනය කළා. එයට විශාල ප්‍රතිචාර ලැබුණා. වැඩිපුර සිසුන්ගේ දෙමාපියන්ගෙන්. එක් වසරක් තුළ 2 මුද්‍රණය නිකුත් වුණේ ඒ නිසයි. පසුගියදා එළිදැක්වූ එහි 2 කොටස මූලිකව 13 ශ්‍රේණියේ සිසුන් ඉලක්ක කරගෙන තමයි ලියැවුණේ. නමුත් ඊටද අතිරේක කරුණු රාශියක් එකතු කළේ අනිකුත් ඉහළ විභාග සඳහා එම සිසු දරුවන්ටත් පරිහරණයට මං පෑදීම සඳහායි.

Qමාධ්‍ය අධ්‍යයනය ඉහළින්ම සමත් වෙන්න නම් කළ යුත්තේ කුමක්ද?

ප්‍රධාන කාරණාව තමයි නිර්දේශිත විෂය දැනුමට සීමා නොවී මාධ්‍යයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය, හැඩරුව, සුවිශේෂතා ගැන පුළුල්ව අවබෝධයක් ලබාගැනීම. මාධ්‍ය හා සන්නිවේදන කටයුතු කරන්න නම් ප්‍රමුඛ වෙන්නෙ භාෂාව. වාචික හා ලිඛිත භාෂා රටා පිළිබඳ නිවැරදි දැක්මක් තියෙන්න ඕන. විශේෂයෙන් නිර්මාණාත්මක රචනා ශෛලිය. ඒ වගේම තමයි විචාරශීලීත්වය. අසීමිතව ගලා එන තොරතුරු ප්‍රවාහයෙන් තෝරා බේරා අත්‍යවශ්‍ය දේ ග්‍රහණය කර ගැනීමේ කුසලතාව ප්‍රගුණ කරන්න.

සේයාරූ I අන්තර්ජාලයෙනි