2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

සොඳුරු අඥාදායකයෙකි, සොඳුරු හිතුවක්කාරයෙකි... ප්‍රේමණීය මිනිසෙකි - ප්‍රේම් දිසානායක

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 230

''කෙනෙක් යම්කිසි දෙයක් අත්හරින්නේ යම්කිසි දෙයක් අල්ලාගෙන... නැත්නම් එපා වෙලා... ඒත් මම ජීවිතයේ හැමදේම වගේ අත්හැරියේ ඒ දේවල් එක්ක මම තෘප්තිමත් වෙද්දිමයි... තෘප්තිමත්භාවයකින් ඒ දේවල්හි නියැලෙමින් සිටියදිමයි.. මම මාව හොයාගෙන ගියා... මෙහෙම ගිය ගමනෙදි හමුවූ නවාතැන්පොළවල් බොහොමයක මම නැවතුණා සහ මට සිත් වූ කාරණයකින් ඒ හැම නවාතැන්පොළක්ම අත්හැරියා... මම හැමදාම හිතුවේ මම මා සොයා යා යුතුයි කියලා... තමන්ට ඕන ජීවිතය ගවේෂණාත්මකව සොයා යා යා යුතුයි කියලා. ඇත්තටම ජීවිතය කියන්නෙ එක් තැනක නැවතී හිඳීම නෙවෙයි. හමුවෙන තුරු සොයා යාමයි.

හැබැයි මම මගේ දෙමව්පියන්ගේ අපේක්ෂාවන් ඉටු නොකරපු කෙනෙක් කියන පශ්චාත්තාපය මට තිබුණා. මගේ දෙමව්පියන් මගෙන් බලාපොරොත්තු වුණේ මට ඕනෑ ජීවිතය නෙවෙයි. මම රුකියාවක් කරගෙන ජීවිතය පිළිවෙළට ගෙවන කෙනෙක් වෙනවා දකින්න එයාලට වුවමනා වුණේ. මම මගේ දෙමව්පියන්ට විරුද්ධව හතුරුකමක් කළා නෙවෙයි. ඒත් මම එතෙන්දි ආත්මීය වශයෙන් වැලපෙන්න පටන් ගත්තා. මට සිද්ධ වුණා දෙමව්පියන්ට වන්දි ගෙවන්න. ඒත් මගේ අම්මා තාත්තා පසු කාලෙක මම යන ගමන තේරුම් ගත්තා සහ මම මට අවශ්‍ය ජීවිතය සොයා යාමේ අවසානය සුබවාදී වන වග දුටු බව මම විශ්වාස කරනවා. අත්හැරීම තමයි මගේ ජයග්‍රහණවල ප්‍රධානම හේතුව වුණේ. හැමදේම අත්හැර අත්හැර මම මට අවශ්‍ය දේම හොයාගෙන ගියා." 

මේ වදන් වියමනට ඒ අක්ෂර සම්මිශ්‍රණය උදෙසා මා කතා කළේ මගේ ජීවිතයේ මට හමුවූ ධෛර්යමත්ම මිනිසාටය. යකෙකුටවත් බය නැති ආදරණීයම මිනිසාටය.

ෆාස්ට් Ads සහ ෆාස්ට් පබ්ලිෂින් අධිපති ප්‍රේම් දිසානායක ඒ රසවතාය. ඒ සුලවතාය. ප්‍රේම් ගැන කතා කරන විට පොත් යනු අමතක කළ නොහැකිම මාතෘකාවකි. 

මෙරට පාඨක ජනතාවට සාහිත්‍ය වසන්තය උදා කරමින් සාහිත්‍ය මාසය එළැඹ තිබේ. ඒ නිමිත්තෙන් පැවැත්වෙන කොළඹ පොත් ප්‍රදර්ශනය දැන් ඇරඹී ඇත. සාහිත්‍ය මාසයේදී ප්‍රකාශිත ග්‍රන්ථ අතරින් රාජ්‍ය සම්මානය ලැබුවේත් ස්වර්ණ පුස්තක සම්මානය දිනුවේත් නෝබට් අයගමගේ විසින් රචිත කුර හඬෙකි වියැකෙන ග්‍රන්ථයයි. සම්මානිත එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේ සුරස පොත් ප්‍රකාශයට පත් කරන ෆාස්ට් පබ්ලිෂින් හිමිකාර ප්‍රේම් දිසානායකමය. එම සම්මානලාභී පොත් ප්‍රකාශකයා මේ මෑතකදී තම චරිතාපදානය ද තමා විසින්ම ලියා ප්‍රකාශයට පත් කළේය. 

ඒ ප්‍රේම පුරාණයයි. මා කියවූ චරිතාපදාන අතුරින් ප්‍රේම පුරාණය පොතක් නොව හදවතක් යැයි, පොතක් නොව ජීවිතයක් යැයි මට සිතුණු වග නිර්ලෝභීව ලියා තියන්නට මට සිත් වෙයි. ප්‍රේම පුරාණයේ අක්ෂර අතර මගේ සැරිසැරීමේදී මට ඒත්තු ගියේ එය සංස්කරණ විරහිත අමු ලියැවිල්ලක් ලෙසයි. ඒ අමු ලියැවිල්ල තුළ ප්‍රකෘතිය මඟහැර විකෘතිය තුළ කිසිදා සංස්කරණය නොවූ සුන්දර මිනිසෙකුගේ සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන ආත්මීය ආලයේ ප්‍රේමණීය මානවීය හුස්මද කැටිව තිබේ. ඒ සුවඳ ප්‍රේම පුරාණය පිටුවක් පිටුවක් ගාණේ අකුරක් අකුරක් ගාණේ තැවරී තිබේ. 

ජීවිතයේ කිසිදාක මුදල් පසුම්බියක් පාවිච්චි නොකළ ප්‍රේම්... සල්ලි කොළ ගණනින් කොච්චර වුවත් කලිසම් සාක්කුවේ නැත්නම් කමිස සාක්කුවේ දාගෙන යන ප්‍රේම්... අතීතයේ දවස් තුන්සිය හැට පහම වැඩ කළ... එකදිගට හිනව්වක් නැතුව දවස් ගණන් වැඩ කළ ප්‍රේම් කිසිදාක දින පොතක් භාවිත කළේ නැත.... සියලු සැලසුම් තිබුණේ මනසේය. 

Qකොහොමද ප්‍රේම පුරාණයට ලැබෙන ප්‍රතිචාර?

හිතපු නැති ප්‍රතිචාර ලැබෙනවා. හුඟාක් අය මට කතා කරලා කීවා ප්‍රේම පුරාණය එයාලගේ දරුවන්ට කියවන්න කියන එක එයාලා කියූ බවක්. මම ජීවිතයේ අසාර්ථක වූ තැන්, පරාජය වූ තැන් මට හංඟන්න ඕනෑ වුණේ නෑ. අද දක්වා පැමිණි ගමනේ සුන්දර අසුන්දර සියල්ල සාදාචාරමය සහ නීතිමය රාමුව තුළ ලියන්නට නොහැකි යම් දෙයක් ඇත්නම් ඒ හැර සියල්ල ප්‍රේම පුරාණයේ පිටු අතරේ ලියැවුණා. 

Qඇයි ප්‍රේම් ජීවිතය පොතකට කැටි කරන්න හිතුණේ?

කිහිප දෙනෙක් කාලයක් තිස්සේ කරන්න කියපු දෙයක්. ඒත් මම නොකර කට්ටි පැන්න දෙයක්. ඒත් අන්තිමේදි මම කුලරත්න ආරියවංශ මගේ මිතුරාගේ උගුලට අහුවුණා කීවොත් හරි. පසුගිය කාලයේ මම සැත්කමක් කරලා විවේකයෙන් ඉද්දි ඇත්තටම වැඩ කරලා කරලා පුරුදු මට එහෙම නිස්කාංසු සුවයෙන් ඉන්න බෑ. ඒ වෙලාවේ තමයි නැවත කුලරත්න ආරියවංශ මගෙන් මගේ කතාව ලියන්න කියන ඉල්ලීම කළේ. මම අවංකවම මගේ කතාව ලීවා. ඇත්තටම ඔබ මා එක්ක කියපු විදිහට ඒක අමුයි සංස්කරණ විරහිතයි කියලා දැනෙන්නේ මම හංඟන්නෙ නැතුව මගේ ජීවිතයේ හැම තැනක්ම වගේ දිගහැරපු නිසා වෙන්න ඇති.

ප්‍රේම පුරාණය මෙසේ කියයි.

''ප්‍රේම් දිසානායක!'' ගොරෝසු හඬකින් මගේ නම කියැවිණි.
''ඔ..ව්.. මම තමා'' පැවසූ මම ඉදිරියට ගියෙමි.
''අපිට තමන් ගැන රිපෝට් වෙලා තියෙනවා. ඒ ගැන ප්‍රශ්න කරන්න දැන් අපිත් එක්ක එන්න ඕනෑ...''
''ඕගොල්ලො ආමි එකෙන්ද? ජේ.වී.පී. එකෙන්...''

මගේ ප්‍රශ්නය නිමා වන්නට පෙර සැර පරුෂ කටහඬ යළිත් අවදි වුණි.

''අපි ඔය ජේවීපීවත්, උකුස්සො, කටුස්සො, බකුස්සො වගේ ගැන්සිවල එවුනුත් නෙවෙයි. අපි ආමි එකෙන්...'' කුණුහරුප වැලක් සමඟ මට පිළිතුරු ලැබිණි.
''කතන්දර වැඩක් නෑ... ගිහින් වෑන් එකට නගිනවා..'' යළි අණක් ලැබුණේය.
''මං ෂර්ට් එකක් දාගෙන එන්නම්...'' මම පහත් හඬින් පැවසීමි.
''ගඟේ යන්න ෂර්ට් ඕනෙ නෑ..'' පිළිතුරු දුන් තැනැත්තා මාවද තල්ලු කරගෙන ගෙට ගොඩ වූයේය. ඒ දිනවල මරා දැමුණු සිරුරු ගංඟාවල පාවෙන සිද්ධීන් මගේ මතකයට ආවේය.

තුසිතා මගේ නිර්දෝෂීභාවය ගැන කියමින් වැලහින්නක මෙන් හඬා වැලපෙන්නට පටන් ගත්තාය. ඇනෙක්සිය අයිති අතපත්තු යුවළ ද පැමිණ මෙය නම් විශාල අත්වැරුද්දක් බවත්, මා සමාජයේ පිළිගත්, වැදගත් පුද්ගලයකු බවත් පැවසුවෝය.
''ඔයගොල්ලො දන්නෙ නෑ මෙයා කරලා තියෙන දේවල්. අපිට ඔක්කොම ඉන්ෆොමේෂන් ලැබිලයි තියෙන්නෙ. අපිට මෙයත් එක්ක ගනුදෙනුවක් තියෙනවා. ඒකට මෙයාට එක්ක යන්න ඕනෑ..''

මේ කතන්දර අස්සේ මම තුසිතා ගෙනා කමිසයක් ඇඟලා ගත්තෙමි. මොන හේතුවක් මත හෝ මා මරා දමන බව මට දැන් සහතිකය. මරා දැමූ පසු අඩු ගණනේ මගේ මිනිය හඳුනා ගන්නටවත් දෙයක් තිබිය යුතුය. මම මගේ හැඳුනුම්පත ද කමිස සාක්කුවේ රුවා ගත්තෙමි.

''තව පාරක් කියන්නෙ නෑ.. ගිහින් නගිනවා වාහනේට...''
මෘගයාගේ තර්ජනය කන් දෙකේ යවුල් අනින්නාක් වාගේය.

මම තුසිතාගේ හිස මත අත තබා ගතිමි.

''මට ආයෙ එන්න වෙන එකක් නෑ... ඔයා දරුවො දෙන්නත් එක්ක අපේ මහ ගෙදරට යන්න..'' පැවසූ මම ඉදිරියට පැමිණියෙමි. ඇය මා ඉදිරියේ දණින් වැටී වැලපුණාය.

වධකයන්ගේ අතකින් මගේ බෙල්ල පසුපස සිරවී ගියේය. මා ඇදගෙන වෑන් කබල අසලට ගිය ඔහු, මා එහි ඇතුළට තල්ලු කළේය. වාහනයේ ඇතුළ කට්ට කළුවරය. තුසිතාගේත්, අතපත්තු යුවළගේත් හැඬුම් වැලපුම් මැද්දේ වෑන් කබල ඇදී ගියේය.
අඳුර රජයන පාළු පාරේ 'වාහනය' වේගයෙන් ඉදිරියට ඇදී යයි. මිරිහානේ පොලිසිය අසල ජුබිලි කණුව හන්දියේ විශාල හමුදා බාධකයකි. අපේ දඬුකඳ ඊට ළංවෙත්ම පාර මැදට කඩාපීනු හමුදා භටයෙක් සිය ගිනිඅවිය අමෝරාගෙන මහ හඬින් කෑ ගැසුවේය.

''හෝ..ල්...ට්..''

ඒ සමඟ දෑත් ඔසොවාගෙන හමුදා බාධකය ඉදිරියට දුවගෙන ගිය පුද්ගලයා සිය අනන්‍යතාවය තහවුරු කර, විස්තර හෙළි කරන්නට ඇත. මා පැහැරගෙන යන්නේ හමුදාවේ හෝ ඊට සම්බන්ධ අය බව මට හරියටම තහවුරු වූයේ ඉන් පසුවය. මාර්ග බාධක හමුදා සෙබළුන් වාහනය අසලට පැමිණ, පරීක්ෂා කර බලා අපේ දඬුකඳට යන්නට අවසර දුන්නේය.

එතැනින් නිදහස් වූ වාහනය යළිත් පිම්මේ ඇවිත් නාරාහේන්පිට ඇල්විටිගල මාවතට පිවිසුණේය. ඒ පාර දිගේ බොරුල්ල දෙසට එද්දී මට නම් නිසැකවම සිතුණේ, බොරුල්ල කනත්තට ගෙන ගොස් අපව වෙඩි තබා මරා දමාවි යැයි කියාය. කනත්ත අසලට පැමිණි වාහනය කනත්ත පැත්තට නොව, වම් පැත්තට හරවා බෞද්ධාලෝක මාවතට අවතීර්ණ වූයේය. එතැන තවත් විසල් හමුදා බාධකයකි.

කලින් මාර්ග බාධකයේ අත්දැකීම නිසා මෙතැනදී නම් වැඩේ ඒ තරම් රීගල් වූයේ නැත. සුපුරුදු පරීක්ෂාවෙන් පසු අපට යන්නට අවසර ලැබිණි. බෞද්ධාලෝක මාවතේ, බෞද්ධ සම්මේලන ශාලාව පසු වුණේය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පසු වුණේය. ඊළඟට චිත්‍රපට සංස්ථාව ද පසුවිය. වාහනය අඳුරේම තුන්මුල්ල හන්දිය දෙසට ඇදෙයි. එතැනින් වම් පැත්තට හරවා උස් තාප්ප සහ කම්බි දැල්වලින් වට වූ යුද කඳවුරක් වැනි විසල් ගොඩනැගිල්ලකට වාහනය ඇතුළු විය. වාහනය එම ගොඩනැගිල්ලේ කෙළවරටම ඇදී ගොස් නතර වූයේය. වාහනය නතර වූ වහාම එහි සිටි හත් අට දෙනකු වාහනය වට කරගෙන සිට ගත්තෝය.

''බඩු ගෙනාවද?'' එක් අයෙක් විමසීය.
''ආ... මූ ද මෑන්...?'' ඒ තවෙකකුගේ හඬකි.

''අඩෝ උඹ එහෙනම් අපිට වැඩ, දෙන්නයි හිතන් හිටියෙ.. පරයා...'' එකෙක් මගේ නිකටෙන් අල්ලා සෙලවීය.

අනතුරුව මට ලී බංකුව මත වාඩිවෙන ලෙස අණක් ලැබුණි. ෂෙල්ටන්ට මොනවා වුණාදැයි මා දන්නේ නැත. වාහනයෙන් මා රුගෙන යාමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු සහ තවත් හැඩිදැඩි පුද්ගලයකු මට රුකවල්ලා සිටියහ. ටික වේලාවකින් යට කී පුද්ගලයන් තිදෙනා මා ඉදිරියේ වූ පුටුවල වාඩි වී මගෙන් ප්‍රශ්න කිරීම ඇරඹූහ. ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලින් මට හැඟී ගියේ මා තනිකරම දරුණු ජේ.වී.පී. කාඩර්වරයකු බවට ඔවුන් ඒත්තුගෙන සිටින බවකි.

ඉන්පසු පැයක් පමණ වේලා දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසු එතැන සිටි ප්‍රධානියා මෙසේ පැවසීය.

''මෙච්චර වෙලා තමුසෙ අපිත් එක්ක සෙල්ලම් කළා ඇති. අපිට නිකං බබා හුකුං පාට් දාන්න එපා. විනාඩි පහක් දෙන්නම්. ජීවත් වෙනවද මැරෙනවද කියල තීන්දුවක් අරගෙන එනවා..''

Qප්‍රේම් ජීවිතයේදී බය කියන එක ඔබට දැනිලා තියෙනවද?

නෑ කවදාවත් නෑ. ඊළඟ මොහොතේ මරණය හැර වෙන කිසිවක් නොපෙනුණු වෙලාවෙවත්.. ඒ වෙලාවේ මගේ බිරිඳ තුසිතා දරුවෝ ගැන සිහිපත් වුණා. ඒත් මට මරණයටවත් බයක් දැනුණේ නෑ. මම ජීවිතේ කවදාවත් කිසිම දේකට බය නොවෙච්ච මිනිහෙක්. කිසිම අවදානමක් ගන්න බය නොවුණු මිනිහෙක්. මම හිතුවේ නෑ එදා මට බේරිලා එන්න පුළුවන් වෙයි කියලා.. මම හැමදේම හිතින් අත්හැරියා. එහෙම අත්හැරපු තැන්වලදී දැනෙන්නේ ශුණ්‍යාත්මක හැඟීමක්. ඒ හැඟීම ළඟදි බය අතුරුදන් වෙනවා. මම මරණයට සූදානම් වුණා. 

ඒත් මරණයේ ද්වාරය අබියස යළිත් ඔහුට ජීවිතයම මුණගැසුණි. පාසල් වියේදී ගෙදර පුංචි කඩයකින් ජීවිතයේ ඔට්ටුව ඇල්ලූ ප්‍රේම්... සාර සුබාවට දළු ලෑ ගෙදර ජීවිතය තවත් කාලයක අගහිඟකම්වලින් දෝර ගලා යද්දිත් ජීවිතය වැරෙන් අල්ලාගත් ප්‍රේම්... පත්තරකාරයෙක්, ගුරුවරයෙක්, මේ ආදී රුකියා රුසක නියැලුණු ප්‍රේම්.. ඇත්ත පත්තරේ රුඩිකල් පත්තරකාරයා වෙච්ච ප්‍රේම්... එහෙත් ජීවිතේ ගෙවා හමාර කළ බොහෝ දුෂ්කර ඍතුන්හිදීද කටු අකුල් මැද මල් සෙවූ ප්‍රේම්... අත්හැරීම් මැද අල්ලා ගැනීම් පරාජයන් මැද ජයග්‍රහණයන් අත්පත් කරගත් ප්‍රේම්... මට දැනෙන හැටියට ප්‍රේම් දිසානායක යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවිතය සොයා ගිය ජීවිතය දිනාගත් මිනිසෙකි. 

දකුණේ කම්මුලේ නිකටට උඩින් ඇති කළු පාට ලපය හැඩකාර කඩවසම් ප්‍රේම්ගේ මූණට අමුතුම සිරියාවකි. ඒ හිනාව ඇත්තටම මනරම්ය. හදවතින් සේම සිනහවෙන්ද ප්‍රේම් මනරම් වග දන්නෝ දනිති... 

Qහැමතිස්සේම ඔය මූණේ හිනාවක් නැති මොහොතක් නැති තරම්.. ඒ හිනාව ඇතුළේ තියෙන්නේ සතුටක් විතරක්මද?

නෑ.. එදත් අදත් ජීවිතයේ විඳවන රිදෙන තත්ත්පර ඕනෑ තරම් තිබිලත් තියෙනවා. අදටත් තියෙනවා. එහෙම තත්ත්පර දරාගෙන තමයි හිනාවෙන්නෙ. මට ඕනෑ දුකත් දරාගෙන හිනාවෙන්න පුළුවන්.

Qතමන්ට රිදවන මිනිසුන්ම ආදරයෙන් වැළඳගන්නත් ඔබට පුළුවන්?

ඔව්.. මම හිතන්නේ මට රිදවපු මිනිස්සුන්ට වැඩියෙන්ම රිදුණු තැනත් එතැන.. මට රිදවපු මිනිස්සුන්වම මම ආදරයෙන් වැළඳ ගනිද්දි එයාලට හුඟාක් රිදුණා. මම හැම කෙනෙක්ම සතුටින් ඉන්නවා දකින්න කැමති කෙනෙක්. මගේ හදවතින්ම මම මිනිසුන්ට ආදරෙයි. ජීවිතය බින්දුවෙන් පටන් ගත්ත තැන් මගේ ජීවිතයේ තියෙනවා. ඒත් මම මා තෘප්තිමත් මම ඉල්ලන ජීවිතය ඒ බින්දුවේ ඉඳන් හොයාගෙන ගියා. ඒ ජීවිත ගවේෂණය මට හරි සතුටක්. සතුට තරම් ආත්ම තෘප්තිය තරම් ලබන්න වෙන වටිනා දෙයක් තියෙනවද? ජීවිතයේ සමුගන්න මොහොතක මට සතුටින් නික්ම යන්න පුළුවන්.

ඒ ඔබය...

ප්‍රේම් ඔබේ අතේ වම් අල්ල පුරා රුඳුණු මැහුම් පාරවල් බින්දුවෙන් පටන්ගෙන ජයග්‍රහණයේ රන් රේඛාවන් තුළ ජීවිතය ලියා තැබූ මිනිසකුගේ ධෛර්ය උදෙසා පුදුමාකාර සාක්ෂියකි. දියවරක් දහදිය උදෙසා අප්‍රමාණ සාක්ෂියකි...

I සංජීවිකා

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00