2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

මහ වැසි අස්සේ පොත්ගුල මැද්දේ....

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 68

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කෙරුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 22 වැනිදා ඇරුඹිණි. එය ඔක්තෝබර් මස 1 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. 

මේ 11 වැනි අවුරුද්දෙ තමයි අපි කුටිය පවත්වාගෙන යන්නෙ. මම ප්‍රකාශිකාවක් වගේම ලේඛිකාවක්. මට පාඨක පිරිසක් ඉන්නවා. ඒ අය මාව හොයාගෙනම මෙතැනට එනවා. මේ අවුරුද්දෙ මගේ අලුත් පොත් හයක් තියෙනවා. කඩදාසි මිල ඉහළ යාම හැම කෙනකුටම දරුණු විදිහට බලපාල තියෙනවා. මහා පරිමාණ ප්‍රකාශකයන්ටත් ඒක ඒ විදිහටම බලාපාලා ඇති කියලා හිතනවා. අපි වගේ පොඩි ප්‍රකාශකයන්ට නම් ඒක දැනෙන විදිහට දරුණුවටම බලපාල තියෙනවා. ඒ නිසා මේ කර්මාන්තය ඉස්සරහට කරගෙන යන්න නම් කුමක් හෝ පිළියමක් අවශ්‍යයි. මම ලේඛිකාවක් නිසා මගේ පැවැත්ම තීරණය කරන්නෙ පාඨකයන්. 'ශක්‍යා' පොත් ප්‍රකාශක දිල්හානි වික්‍රමරත්න මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

මෙවර පෙර වසරවලදී මෙන්ම පාසල් අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් මෙන්ම වෙනත් අවශ්‍ය දෑ මිලදී ගැනීමට මව්පියෝ තම දරුවන්ද සමඟ පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටියහ. මීට අමතරව පාසල් පුස්තකාල සඳහා අවශ්‍ය පොත් මිලදී ගැනීම සඳහා පාසල් දරුවන් සමඟ ගුරුවරුන් පැමිණ සිටීමද දක්නට ලැබිණි. ඔවුන් බොහොමයක් අත වූයේ පොත් කන්දකි. එසේත් නැත්නම් අවශ්‍ය පොත්වල නම් ලියූ නම් ලැයිස්තුවකි. 

''මම මගේ පළවෙනි නවකතාව ලිව්වේ 2012 අවුරුද්දෙ. මීට අවුරුදු 12 කට කලින් නවකතාවක් ලියපු මට මේ පාර පොත් වෙළෙඳ කුටියක් අරගන්න ලැබීම සතුටට කරුණක්. ඒක මට හිතෙන විදිහට ලේඛිකාවක් ලෙස ලොකු ජයග්‍රහණයක්. වෙනදා මගේ පොත් අනිත් වෙළෙඳ කුටිවල විකිණුවා. මේ පාර මගේ කුටියේ මගේ පොත් වගේම අනිත් ලේඛක ලේඛිකාවන්ගෙත් පොත් විකුණනවා. මේ පාර හොඳ ප්‍රතිචාර තියෙනවා. අපිව බලල අපේ අත්සන පොතට අරගෙන අපිත් එක්ක සෙල්ෆියක් ගන්න කැමැත්තෙන් එන ලොකු පිරිසක් ඉන්නවා. අපි පොත් මුද්‍රණය කරන්න ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. කඩදාසිවල මිල ඉහළ යාමත් එක්ක ඒ පීඩනය වැඩි වුණා. අද ඒ පීඩනයට අපේ පාඨකයන්ද මුහුණ දෙනවා කියලා හිතෙනවා. යැයි 'සිතුවිලි' පොත් ප්‍රකාශක දිල්රුක්ෂි ගමගේ ලේඛිකාව පැවසුවාය.

‍කඩදාසි මිල ඉහළ යාම පාඨකයන්ටද විශාල බලපෑමක් වී තිබේ. වෙනත් වසරවලදී රුපියල් විසිදහසක් ගෙන පොත් ප්‍රදර්ශනයට පැමිණ පාඨකයකුට ලබාගත හැකි වූ පොත් සංඛ්‍යාව මෙවර එම මිලට ලබාගැනීමට හැකියාවක් නැත. ඔවුන්ට මිලදී ගත හැක්කේ සීමිත පොත් සංඛ්‍යාවක් පමණි. පොත්වල මිල ඉහළ යාම නිසාවෙනි.

''මම ඉන්නෙ ගාල්ලේ. ඒ නිසා මගේම කියලා පොත් කුටියක් කරන්න නම් තාම බැරි වුණා. එහෙම ස්ටෝල් එකක් කරන්න ආසයි. හැබැයි මේ සමහර කුටිවල ඉන්න ප්‍රකාශකයන් මගේ යාළුවෝ. ඒ අයගේ පොත් වෙළෙඳ කුටිවලින් මගේ පොත් මිලදී ගන්න පුළුවන්. පාඨකයන් ලේඛකයන් එකට එකතුවෙන මේ කාලය හරි සුන්දරයි.'' යැයි නවකතා පොත් ලේඛිකාවක් වන දිනූෂා වීරරත්න දේශයට පැවසීය.

මේ අතර තවත් පිරිසක් පොත් ප්‍රදර්ශනයට පැමිණෙන්නේ මිතුරු සමාගම වෙනුවෙනි. කාලයක් තිස්සේ මුණ නොගැසුණු මිතුරු මිතුරියන්ට නැවත මුණගැසීමට මෙම පොත් ප්‍රදර්ශනය අගනා තැනකි. කොත්තුවක් ආහාරයට ගෙන සිසිල් බීම පානය කර, පොප්කෝන් එකක් හෙමිහිට රස බලමින් පිරිසක් එක්ව පැය ගණන් ආ ගිය තොරතුරු කතා කිරීමට පැමිණෙන පිරිසද විශාලය. ඒ අතරින් නිවෙස්වලින් ගෙන ආ කෙසෙල් කොළේ බත් පත යහළුවන් හා එක්ව රස බලන පිරිසක්ද වෙති.

දරුවො පස්දෙනෙක් එක්කත් මම පොත් ලිව්වා

''හැම අවුරුද්දෙම නම් මට පොත් ප්‍රදර්ශනයට එන්න ලැබුණේ නැහැ. මුල් කාලෙදි නම් මම ආවෙම නැති තරම්. මම ඉන්නෙ අනුරාධපුරයේ. මම ලියපු අත්පිටපත් කොළඹට තැපැල් කරලා තමයි ප්‍රකාශකයන්ට එවන්නෙ. මගේ පොත් ප්‍රකාශකයන් මට එවන්නෙ තැපෑලෙන්. ඒ නිසා මම කොළඹ ආවෙම නැහැ. මට දරුවො පස්දෙනයි. දැන්නම් ඒ අය ලොකුයි. හැබැයි ඒ පස්දෙනා පොඩි කාලේ මම ඒ පස්දෙනාව තියාගෙන පොත් ලිව්වා. මට නිවුන් දරුවන් ලැබුණා. මම එකපාර කියවන පොත් දෙක තුනක් මම ගෙදර නිතර රැඳෙන තැන්වල තියල තියනවා. මම කුස්සියේ ඉඳගෙනත් පොත් කියවනවා. මට පුතාලා තුන්දෙනාට පස්සෙ නිවුන් දෙන්නා ලැබුණා. හැමෝම හිතුවෙ මට ආයෙත් ලියන්න බැරිවෙයි කියල. හැබැයි මම ඒ දෙන්නට කිරි දෙද්දිත් පොත් කියෙව්වා. ඒක ඒ දරුවන්ට කොච්චර දැනුණද කියනව නම් ඒ දෙන්නා ඇවිදින කාලෙදි පොත් දෙකත් අරගෙන තමයි මගේ ළඟට කිරි බොන්න ආවෙ. දැන් දරුවො ලොකුයි. මේ වසරේ මම 'කන්‍යා' නවකතා පොත එළිදැක්වුවා.'' යැයි ශාන්ති දිසානායක ලේඛිකාව දේශයට පැවසුවාය.

''අපි රුපියල් විසිදාහක විතර පොත් දැන් මිලදීගෙන තියෙනවා. නවකතා වගේම දරුවන්ට පාසල් පොත් අපි ගත්තා. අපි උදේ දහයහමාරට මෙතැනට ආවා. පොත් ප්‍රදර්ශනය පටන් ගත්ත දා ඉඳන් හැම අවුරුද්දෙම අපි පොත් ගන්න ආවා. මේ නවකතා අරගෙන ගියාම අපේ ගෙදර අය වගේම අහළ පහළ අයත් ඇවිත් අපෙන් පොත් අරගෙන ගිහින් කියවලා ආයේ ගෙනත් දෙනවා.'' යැයි සෑම වසරකදීම පොත් ප්‍රදර්ශනයට ගොඩගම සිට පැමිණෙන විජයන්තිමාලා මහත්මිය දේශයට කීය.

''වසරක් පාසා පවත්වන පොත් ප්‍රදර්ශනයේදී මේ හත්වැනි වතාවට තමයි මමත් පොත් කුටියක් අරගත්තෙ. මේ පාර මම පොත් දෙකක් කළා. ඒ 'දර්මපුරම්' සහ 'මා නුඹ නැතිව' පොත් දෙකයි. මේක මගේ ප්‍රකාශනයක්. මේ පාරත් අපෙන් පොත් ගන්න සිලිකා ප්‍රකාශන කුටියටත් බොහෝ පිරිසක් එනවා. දින කිහිපයක් නිවාඩු නිසා ඒ දිනවල විශාල පිරිසක් ආවා. පාඨකයන්ව ලේඛකයන්ව මුණගැහෙන මේ දින කිහිපයට අපි හැමෝටම කාර්යබහුල කාලයක් වුණාට හරිම සතුටින් මේ දින කිහිපය අපි මෙතැන රැඳිලා ඉන්නවා.'' යැයි සිලිකා ප්‍රකාශක මනෝරි සිලිකා වික්‍රමආරච්චි ලේඛිකාව දේශයට පැවසීය.

වැසි ඇදහැලුණු දින කිහිපයේදීත් පාඨකයන් බොහොමයක් පොත් ප්‍රදර්ශනයට පැමිණියහ. ධාරානිපාත වර්ෂාව ඇදහැලෙන විටදී වර්ෂාවෙන් මිදීමට ඔවුහු පොත් වෙළෙඳ කුටිවල සහ නොතෙමෙන තැන්වලට එකතු වූහ. 

මම 16 වැනි වතාවට මෙම පොත් ප්‍රදර්ශනය නියෝජනය කරනවා. මුලින්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේ තමයි පැවැත්වුවේ. එතකොට ඉතාම ලාබාල වයසේ යුවතියක්. පොතපත සම්බන්ධයෙන් තිබුණු අත්දැකීම් වගේම සමාජය, වෙළෙඳපොළ ගැන තිබුණු අත්දැකීම් අඩුයි. ඒ වුණත් ඒ පළවෙනි වතාවෙත් ඉතා සාර්ථකව මම ඒකට මුහුණ දුන්නා. මේ අවුරුදු දාසය පුරාවටම අදට වඩා හෙට හොඳ වෙන පොත් ප්‍රදර්ශනයක් තමයි මම දැක්කෙ. විවිධ දුෂ්කරතාවලට ලේඛකයන්, ප්‍රකාශකයන් වගේම ඒ හරහා පාඨකයන්ට මුහුණ දෙන්න සිදුවුණා. ගිය අවුරුද්දට වඩා පාඨකයන්ගේ වැඩිවීමක් මේ අවුරුද්දෙ තියෙනවා කියලයි මට හිතෙන්නෙ. මේ කාලය අපි පුදුම විදිහට අවිවේකීයි.'' යැයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අධ්‍යක්ෂිකාවක වන මොනිකා පුෂ්පකුමාරි ලේඛිකාව සඳහන් කළාය. 

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ