ගෙවුණු සතියේ ලංකාව පුරා හමාගිය මෝරා සුළි කුණාටුවත් සමඟ ඇති විනාශය මෙතකැයි නිම කළ නොහැකියි. ඒ හා බැඳුණු අතිශය සංවේදී පුවත් කරළියේ දෝලනය වෙමින් පවතී. හදිසියේ සිදුවන මෙවන් විපතකදී ජනතාවට සහන සැලසීමේ අභියෝගයට කිසියම් රජයකට වුවද තනියම මුහුණ දිය නොහැකි කාරණාවකි. විපතට පත් වූ ජනතාවගේ දිවි බේරා ගැනීම, අතුරුදන් වුණ ජනතාව සොයා ගැනීම, අසරණ වූ ජනතාව වෙනුවෙන් කෙටිකාලීන හා දිර්ඝකාලීනව සහන සැලසීම මේ සියලු කාරණාවලදී රජය අභිබවා ජනතාව නැගී සිට ශක්තියක් වීම ලංකා ඉතිහාසයේ මෙවැනි ඛේදනීය අවස්ථාවලදී පෙර පටන් පැවතිණි. රාජ්‍ය නොවන සංවිධාන, සමාජ සේවා කණ්ඩායම් ක්ෂණිකව සැදුම් ලද සහන කණ්ඩායම් ඒ සියලුදෙනා අතර සාමාන්‍ය සමාජයේ අවභාවිතා මාධ්‍යයක් ලෙස කථිකා වන ෆේස්බුක් සමූහ ජාලයෙන් සිදුවූ මෙහෙය කිසිසේත් ලඝුකොට සැලකිය නොහැකිය.
ඇතැම් විටක රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන අභිබවා ෆේස්බුක් සමාජ ජාලාවේ මිතුරන් සිය අවතැන් වූ හිතවතුන් වෙනුවෙන් මෙහෙවරක් මේ තුළ කර තිබීමට පුළුවනි. මිලියන ගාණක් රැඳී සිටින ෆේස්බුක් සමාජ ජාලයේ ලාංකික දෙස් විදෙස් සාමාජිකයන් කළ මෙහෙවර කැපී පෙනෙයි. එය කොයි තැනින් කොයි ලෙසකින් ආරම්භ කළාදැයි සවිස්තරව කරුණු කාරණා ගොනු කිරීමද අපහසුයි. සිය අඟල් හතරේ ෆෝනයෙන් ටැබයෙන් ලැපයෙන් කෙටූ අකුරු තුළ වූ මෙහෙවරට දායක වූ සියලු කණ්ඩායම් කෙටි ලිපියකින් ලඝු කළ නොහැකි වුවද ඒ අතුරින් දේශයට ගැටුණු මානයේ හෝ තොරතුරැ බිඳක් එක්කරනුයේ ෆේස්බුක් සමූහජාලයෙන් දායක වුණ දායකත්වය තවමත් ලබාදෙන සියලුම සාමාජිකයන්ට ගරුත්වයක් ලෙසිනි.
සිදුවූ විපතක් සමඟ සම්මත මාධ්‍ය තුළින් ඒ පිළිබඳව රටපුරා ප්‍රචාරය වීමට සාපේක්ෂවම ඒ විපත් තුළින් අසරණ වූ ස්ථාන පිළිබඳව ඉතා වේගවත්ව තොරතුරු ගෙන හැර පෑමට ෆේස්බුක් මිතුරෝ යුහුසුලු වූහ. ෆේස්බුක් සමූහ ජාලයේ සාමාජිකයකු වූ ගුණේ අයියා හෙවත් රැක්ෂාන් ගුණතිලක සොයුරා සිය කුඩා දුරකථනය හරහා බුකියට සම්බන්ධව ලබාදුන් දායකත්වය පිළිබඳව දේශය විමසූ පැනයකට තැබූ සටහන මෙසේය.
“ඇත්තේම බුකිය හරහා ලොකු සමාජ මෙහෙවරක් ඉටුවුණා. ඒ මනුෂ්‍යත්වය හඳුනන පිරිසක් මේ බුකියේ තාමත් ඉන්න නිසා. සමහරක් දෙනා ඒ පිරිසට මඩ ගැහැව්වා. දොස් කිව්වා. ඒත් මමත් ඒ අයත් අපිට කරන්න පුළුවන් දේ උපරිම කළා. තාමත් කරනවා. අපිට මචං මේක දාපන්, මචං මෙහෙට කොහොම යන්න පුළුවන්ද? මේ පැත්තට වහිනවද? මැසේජ් විශාල ගණනක් ආවා. ඒ වෙලාවට මට තොරතුරු දීපු බොහෝ පිරිසක් හිටියා. ස්තූතියි ඒ හැමෝටම. කිහිපදෙනෙක්ම මට ස්තූතිය ප්‍රකාශ කරලා පෝස්ට් පවා දාලා තිබුණා. ඒ අයටත් ස්තූතියි ගොඩක්ම. ඒ කරපු දේවල් වලින් එකකින් හරි කාට හරි උදව්වක් වුණානම් ඒක මාර සතුටක්. සමහරු මැසේජ් එවලා තිබුණා මචං උඹ දාපු පෝස්ට් එක බලලා අපි එතනට ගියා. කව්රුත්ම අපි යනකම් ගිහින් තිබුණේ නෑ කියලා. ඒ සතුට හිතට මාරම විදිහට දැනුණා. මේ වෙලාවේ නිලක්ෂි අක්කා, කොරියාවේ චාමර අයියා, ලවන්දි (ලවා), වජිර මාමා, ශ්‍රියා හිඳුරංගල, ආශා ප්‍රනාන්දු අක්කා විශේෂයෙන්ම, අරලියා මල්, සඳ පිනිදි ගොඩාක් අය තොරතුරැ දුන්නා මතකත් නෑ. ඒ හැමෝම ලොකු මෙහෙවරක් කළා.”
ලංකාවට මෙවැනි ස්වභාවික අනතුරකට පත් වනවිට ෆේස්බුකිය තුළින් පෙරමඟ ගන්නා නලින් දිල්රුක්ෂ ඇතුළු පිරිස සුපුරැදු පරිදිම ජනතාවට ක්ෂණිකව ඇවැසි වන පිසූ ආහාර වෙනුවෙන් සුදුසු විකල්පයක් ලෙස දුම්රිය මගීන් හරහා ශක්තිය ලබාගත්තේ බුකිය පුරා පලකළ දැන්වීම්වලිනි. ඔබ එනවිට අමතර කෑම එකක් ගේන්න අපි ඒක දුම්රිය ස්ථානයේදී එකතුකර ඒ අය වෙනුවෙන් ලබාදෙන්නම් නලින් දිල්රැක්ෂ ඇතුළු මුහුණු පොතේ මිතුරන්ගේ වෑයම ඉතා සාර්ථක විය. දුම්රිය මගීන් ඒ සඳහා ගෙන ආ කෑම පාර්සල් එකතු කරගෙන සුදුසු ස්ථානවලට ලබාදීමට ඔවුන්ට හැකිවිය.
ඇතැම් ස්ථානවල සිටින අවතැන් ජනතාව පිළිබඳව තොරතුරු සම්මත මාධ්‍යවලටවත් රජයටවත් වාර්තා නොවීය. එහෙත් ඒ ස්ථාන පිළිබඳවත් කඩිනම් තොරතුරු ෆේස්බුකිය මගින් සමාජ ගත විය. බුකිය තුළ වෙනදා ගැවසෙන මිතුරන් නොපෙනී සිටියහොත් ඒ පිළිබඳව අනෙකුත් මිතුරන් විමසා බැලීය. අපේ ස්වර්ණට මොකද වුණේ. ආදරණීය සමීරට මොකද වුණේ. ඒ විමසීම් ඔස්සේ ඒ ගම් පළාත්වල තොරතුරු සමාජ ගතවී අවධානය යොමු විය.
“අනේ මචං අපි කොටුවෙලා. දින තුනකින් අපිට කෑම නැහැ. 80ක් විතර මෙතන කොටුවෙලා ඉන්නවා. අනේ මොනව හරි කරහල්ලා මචං” කොටු වී සිටින යාළුවන් සිය ජංගම දුරකතනය හරහා හැකි ලෙස සිය මූණු පොතේ සගයන්ට මැසේජ් කළහ. ඒ කිසිදු අකුරක් අපතේ නොගියේය. මේ ක්ෂණික දායකත්වයට ලංකාව තුළ පමණක් නොව විදෙස් ගත වූ ශ්‍රී ලාංකියකයන්ද දැක් වූ දායකත්වය සුළුපටු නොව. ඉතාලියේ සේවයෙන් නියුතු ආනන්ද අමිල වැන්ඩවොල් මහතා ඇතුළු ෆේස්බුක් මිතුරන්ද සිය දායකත්වයෙන් මෙම සටහන ලියන මොහොත වන විටත් අවතැන් ජනතාව වෙනුවෙන් ශක්තිය දීමට සූදානම් වී සිටිති. කෙටිකාලීන සහ දිර්ඝකාලීන ශක්තින් ලබාදීමට මුහුණු පොතේ තිබෙන ෆේස්බුක් සමුහයන් සෑම එකකින්ම පාහේ සූදානම් වෙමින් පවතී. මුහුණුපොත සමාජ සත්කාර සේවයේ ශෂික ශෙහාන් ඇතුළු පිරිස ආපදාව පටන්ගත් මොහොතේ දක්වාම කැපී පෙනෙන මෙහෙවරක් සිදුකරයි. ඔහුගේ මුහුණු පොතේ තිබෙන එක් සටහනකි මේ.
උදව්වක් අවශ්‍යයි...
හෙට දිනයේ බුලත්සිංහල, මතුගම, අගලවත්ත වැනි ප්‍රදේශයක ජලගැලීම්වලින් දැඩි ලෙස හානිවූ සැබෑවටම උදව් උපකාර අවැසි නිවෙස් කීපයකට වියලි ආහාර පරිත්‍යාග කිරීම සඳහා ප්‍රදේශය ගැන හොඳින් දන්නා වගකීමෙන් යුතුව සම්බන්ධීකරණය කටයුතු කරමින් මා හට සහය දැක්විය හැකි කෙනෙකු සිටිනවා නම් දන්වන්න.. ශෂිකගේ බිත්තිය පුරාත් ඔහුගේ මුහුණුපොත සමාජ සත්කාර පිටුව පුරාත් තිබෙන්නේ මෙවැනි සටහන්ය.
කැනඩාවේ සේවයේ නියුතු ස්වර්ණා බන්නැහැකගේ පිනිමල් යාය සමූහය හරහා මේ වනවිටත් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශක්තියක් ලබාදීමට විදෙස්ගත ලාංකික මිතුරන් හරහා මෙහෙයුමක් සිදු කරමින් සිටිති.
තානායම්පල සමාජ සත්කාර සමූහය අකුරැවලට පණ පොවමින් අවතැන්වූ තැන් පිළිබඳව තොරතුරු ලබා ගනිමින් සහ එම ස්ථානවලට සහයෝගය ලබාදීමට කැමැති කණ්ඩායම් සොයමින් එම ස්ථාන සම්බන්ධ කරදීම වෙනුවෙන් ශක්තිය ලබාදෙයි.
පැවැති උවදුරත් සමඟ පාසැල් සිසුන් විශාල පිරිසකගේ අධ්‍යාපන කටයුතු අඩාල විය. ඔවුන්ගේ නිබන්ධන විනාශ විය. මුහුණු පොත් සමාජයේ ඉතා ජනප්‍රිය චරිතයක් වන දැනට ගුරුවෘත්තියේ නියුතු සම්පත් සුබසිංහ මහතා සිය මුහුණු පොතේ මෙවැනි පණිවිඩයක් දමමින් එම දරැවන් පිළිබඳව ශක්තියක් දීමට ඉදිරිපත් වී සිටී.
දැනුම - සහන යාත්‍රා
ගංවතුරෙන් පීඩාවට පත් දරැදැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා පැවැත්වෙන ඕනෑම වැඩසටහනකට දිවයිනේ ඕනෑම තැනකට පැමිණ මාගේ දැනුමෙන් දායකවීමට (උසස්පෙළ - ගණිතය/භෞතික විද්‍යාව, සාමාන්‍ය පෙළ - ගණිතය, ඕනෑම ශ්‍රේණියකට ඉංග්‍රිසි) මම නිරතුරුව සූදානම් බවත් ගමන් බිමන් ආදී සියලු වියදම් මම විසින්ම දරා ගන්නා බවත් ආපදාවට පත් ඔබට මගේ දැනුමේ උපරිමය නොමසුරුව බෙදාදීමට සූදානම් බවත් සතුටෙන් දන්වා සිටිමි.
ඔබගේ ආපදාවයෙන් හැකි ඉක්මනින් මිදේවා...!!
තෙරුවන් සරණයි....!!
මුහුණු පොතේ ගැවැසුණු සෑම සාමාජිකයකුම මුදල් ආධාරවලින් ද්‍රව්‍ය ආධාරවලින් සහ සිය අකුරු සහ පිංතුර පොස්ට්වලින් කළ මෙහෙවර ජාතික මාධ්‍යයක් ලෙස දේශය අගය කරමු.
සේයාරූ හා සටහන - චාමින්ද දිසානායක