2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

උපාධිධාරී අක්කගෙයි මල්ලිගෙයි හෙළ බොජුන්හල

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 334

ජීවිතේ කියන්නෙ එකම මාවතක් ඔස්සේ ඉදිරියට යන ගමනක් නෙවෙයි. විවිධ මාවත්වලින් අපිට හැරෙන්න සිද්ධ වෙනවා. අද අපේ කතාවට නිමිත්ත සපයන චරිත දෙකත් ජීවිතය වෙනස් මාවතක් තෝරාගත්ත දෙපළක්. මේ දෙන්නා අක්කයි මල්ලියි. අක්කා තමයි මහේෂිකා යසන්ති චන්ද්‍රමාලි. මල්ලි, අසංක චතුරංග. මේ දෙන්නම උපාධිධාරීන්. කතාව ආරම්භ කරන්නේ අක්කා.

“අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් හම්බවෙනකම් අපි බලාගෙන හිටියා. ඒත් ඇත්තටම එහෙම අවස්ථාවක් හොයාගන්න පහසු වුණේ නෑ. ඊටපස්සේ තමයි අපි තීරණය කළේ මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න."

මේ ව්‍යාපාරය ඔවුන් ආරම්භ කරලා තියෙන්නේ කොළඹින් සෑහෙන්න දුර බැහැර ප්‍රදේශයක. මොරගහකන්ද ජලාශය පැත්ත, ඒ කියන්නේ A-9 පාරේ නාඋල ටවුමෙන් හැරිලා ඇළහැර පාර දිගේ යනකොට තමා "හෙළ බොජුන් මොරගහකන්ද" මුණගැහෙන්නේ. ඉස්සර නම් මේ පාරේ කෑමක් බීමක් ගන්න තැනක්වත් තිබුණෙ නෑ. ඒත් දැන්  නාඋල පහුකරලා  කිලෝමීටර් කිහිපයක් ගියාම අඹන හන්දියේ පන්සල ළඟ පිහිටි මේ අපූරු අවන්හල අපට මුණගැහෙනවා.

අසංක චතුරංග මේ ව්‍යාපාරය පිළිබඳව අපිට මෙහෙම පැහැදිලි කරනවා.

“අපි දෙන්නම කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරින්. මෙතැන හැම කෑමක්ම හදන්නේ අක්කයි මායි. අපි ස්වභාවිකත්වයට සහ දේශීයත්වයට මුල්තැන ලබා දෙනවා. හෙළ රසකැවිලි, ෆෘට් ජූස් වර්ග, තේ, කෝපි, රණවරා, බෙලිමල් වගේ ගොඩක් දේවල් අපි ළඟ තියෙනවා. දේශීය විදිහට හදපු දිවා ආහාරයක් අපි සපයනවා. වැව් මාළු එක්ක බත් කන්න ගොඩක් දෙනෙක් එනවා." 

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මීට සමාන වෙළෙඳසල් දකින්න ලැබෙනවා. නමුත් කොළඹින් දුර බැහැර ප්‍රදේශයක මේ විදියට නිර්මාණය කරපු අවන්හල් සීමිතයි. යන එන වාහනයකට බය නැතුව නවත්තලා නිස්කලංකව ගල් බංකුවක වාඩිවෙලා කැමැති දේකින් සප්පායම් වෙන්න මෙතැන කියාපු තැනක්. 

“දේශීය සංචාරකයන්ට විතරක් නෙවෙයි දඹුල්ල, හබරණ, මින්නේරිය, මොරගහකන්ද හරහා බයිසිකල් රයිඩ් යන ටුවරිස්ට්ලටත් මෙතැන හිතට අල්ලලා ගිහිල්ලා තියෙනවා. රිවස්ටන්, වස්ගමුව, බුදුරුව යාය, කළුගඟ, ඕපල්ගල ඇල්ල, කිරිඅම්මා උල්පත, දිය බෙදුම, බකමූණ වගේම පොළොන්නරුව පැත්තට ඇළහැර පාරෙන් යන්න පුළුවන්. ඒ වගේම මොරගහකන්ද ව්‍යාපාරය නිසා මේ පළාත් ක්‍රමයෙන් දියුණු වෙනවා. ඒ නිසා අපිට ව්‍යාපාරය තවදුරටත් සංවර්ධනය කර ගන්න පුළුවන්."

ඇත්තටම මේ තරුණ සහෝදරයා සහ සහෝදරිය වෙනස් අදහස් ඇතිව ඉදිරියට යන අය. විරැකියාව නිසා පීඩාවට පත්වෙලා ඉන්න උපාධිධාරීන්ට මේ අය ලබා දෙන්නෙ අපූරු ආදර්ශයක්.

''රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ උපාධිධාරීන්ට රැකියා ලැබුණෙ නෑ. අපිත් ජොබ් නැතුව හිටියේ. එහෙම ඉද්දි නිකම් කාලෙ ගෙවන එකේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුවා. ඒ සඳහා මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂිකර්ම ව්‍යාපෘති ඒකකයේ විශේෂ පුහුණුවකට සහභාගිවෙලා අවශ්‍ය දැනුම ලබාගත්තා. ඊටපස්සෙ දේශීය ආහාරපාන සමඟ වස විස නැති කෑම අලෙවි කරන ව්‍යාපාරයක් මල්ලි සමඟ එකතුවෙලා පටන් ගත්තා."

මේ අවන්හලේ විශේෂත්වය තමා වස විස නැති දේශීය කුළුබඩුවල රස මුසු කරලා එවෙලේම හදන කෑම  උණුවෙන්ම ලබා දෙන එක. තෝසෙ, ආප්ප, මඤ්ඤොක්කා, පොලොස් ඇඹුල, අලකොළ මාලුව, බිම්මල් ව්‍යංජනය මෙතැන දැකගන්න ලැබුණු රසවත් ආහාර අතරින් කිහිපයක් විතරයි.

මහේෂිකා යසන්ති චන්ද්‍රමාලි එහෙම කියනකොට මල්ලි අසංක චතුරංග අවසානයේ අපූරු කතාවක් කියනවා.

“උත්සාහය තියෙනව නම් ඕනෑ දෙයක් කරන්න පුළුවන්. ආර්ථික අභියෝගවලට අපි කාටත් මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට වෙනස් විදියේ තීරණ ගන්න සිදුවෙනවා. ඒ අවස්ථාවලදී බය නැතිව කටයුතු කළොත් සාර්ථක වෙන්න පුළුවන්. උපාධියක් අතේ තියාගෙන රැකියාවක් ලැබෙන තුරු බලාගෙන ඉදිෙව්. තේරුමක් නෑ. අපි හැමෝටම කියන්නේ පුළුවන් විදිහට තමන්ගෙ දෙයක් පටන් ගන්න."

කොහොම නමුත් මේ කතාවේ අවසානය මේක නෙවෙයි. මේ සහෝදරයා සහ සහෝදරිය මේ ගමනේ ඉදිරියටම යන බව සහතිකයි.

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00