පාරම්පරික ක්‍රම උපයෝගී කර ගනිමින් විවිධ ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරු රටේ ඇතැම් පෙදෙස්වල තවමත් වෙසෙති. පරම්පරාවෙන් ලැබුණු ශිල්පීය ක්‍රම උපයෝගී කරගෙන සාදාගන්නා අඳුනකින් ඇතැම් රෝග සුවකරන බව කියන එස්.එච්.එම්. දිසානායක නම් වෙද මහතකු සමඟ පවත්වන පිළිසඳරක් ඇසුරින් “ගමේ ඇත්තන්ගේ රසකථා” ලිපි පෙළ ඇරැඹෙයි.
“මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් රටේ හැමෝම වෙද්දුය... කසාය බෙහෙත් ගැන හා කැපුම් කෙටුම්, පෑස්සුම් කොයි කාටත් පළපුරුද්දක් ඇත්තේය. ඔවුන් ඔසු පිළියෙල කරන්නේ ගස්වැල්වල කොළ අතු ආදියෙනි...”
රොබට් නොක්ස්ගේ (එදා හෙළ දිව) කෘතියේ එන වගන්තියක් උදුරාගෙන සටහන් කෙළේ එදා හෙළ වෙදකම ගැන විදේශිකයන් තුළ පවා පැවති ආකල්පය ගැන ඉඟියක් දීමේ අරමුණෙනි.
යන්ත්‍ර - මන්ත්‍ර, ගුරුකම්, හදි හූනියම්, බලි තොවිල්, සෙත් සාන්ති, සෙත් කවි, වස් කවි ආදිය පමණක් නොව යක්ෂ, ප්‍රේත, භූත හා දේවතා වැනි අදෘශ්‍යමාන බලවේගවලද පිහිට රැකවරණය ද එක්කොට ගෙන එදා වෙදැදුරන් හෙළ වෙදකම සිදුකළ බව ඉතිහාසය හාරා ඇවිස්සීමේදී හෙළි වෙයි.
පරපුරෙන් පරපුරට මෙසේ පවත්වා ගෙන පැමිණි හෙළ වෙදකම මගින් අදත් විවිධාකාර හේතු කාරණා උඩ වැළඳෙන රෝග පීඩාදියට ප්‍රතිකාර කරන වෙදැදුරෝ මෙරට වෙසෙති.
නෑගම්පහ, මානේරුව, අඹගස්වැව ප්‍රදේශයේ එවැනි වෙදැදුරකු වෙසෙන බවට ලැබුණ හෝඩුවාවක් මත ඔහු සොයා මම එහි ගියෙමි. එස්.එච්.එම්. දිසානායක නම් වූ මේ වෙද මහතා එහිදී මට මුණ ගැසුණේය.
(හෙළ වෙදකම) ඔබට හිමිවූයේ කොහොමද? යි මම මුලින්ම දිසානායක වෙද මහතාගෙන් ඇසුවෙමි.
“මේක මට අපේ පරම්පරාවෙන් ලැබුණ සාස්තරේ. අපේ කිරි අත්තා වෙදකම් කළා. කිරි අත්තා ඇස් වෙදකමට හරි දක්ෂයා. කිරි අත්තගෙන් පස්සේ අපේ අම්මගේ මල්ලි ඒ කියන්නේ මගේ මාමා වෙදකම් කළා. උන්දෑ හැම වෙදකමක්ම කළා. ඒ මාමා තමයි මට සත්ත කරලා වෙදකම දුන්නේ.”
“මොකක්ද ඔය (සත්ත) කරලා දෙනවා කියලා කරන්නේ”
උන්දෑ නම් කෙළේ වෙද පොත් දමා තිබූ පෙට්ටිය අරන් මගේ හිසට උඩින් තුන් පාරක් කරකවලා (උඹට මේ සාස්තරේ හරියනවා) කියලා පුස්කොළ පොත් පෙට්ටිය මගේ දෑතට දුන්න එකයි. හැබැයි ඊට ටික කාලයකට උඩදී දවසක් උන්දෑ “අඩේ තොට කවුරු හරි ගැහුවොත් තෝ මොකද කරන්නේ” කියලා මගෙන් ඇහුවා. එදා ඉතිං ඔහොමනේ වැඩිහිටියෝ අපට කතා කළේ. මම කීවා මට ගැහුවොත් මාත් ගහනවා කියලා. ඊළඟට උන්දෑ මගෙන් අහනවා ඒකා තොගේ අතපය කඩලා තුවාල කෙරැවොත් තෝ මොකද කරන්නේ කියලා. මම කීවා මට කරපු දේම ඌටත් කරනවා කියලා. තෝ තුවාල කරපු එකාට මම වෙදකම් කරනවා. එතකොට තෝ මොකද කරන්නේ උන්දෑ මගෙන් ඇහුවා. ඒක උඹ කරන්න ඕනනේ. ඒක උඹේ රාජකාරිය. මට ඒ ගැන අහිතක් නෑ කියලා මම උත්තර දුන්නා. එහෙනම් පුතේ උඹට විතරයි අපේ මේ සාස්තරේ හරියන්නේ. කියලා උන්දෑ කීවා.
“වෙද මහත්තයා මොන මොනවාගේ රෝගවලටද බෙහෙත් කරන්නේ”
“මම සර්වාංග වෙදෙක්. කැඩුම් බිඳුම්, සර්ප විෂට, පීනසට, සෙමට, ඇදුමට, පිළිකාවලට, වකුගඩු රෝගවලට, ඔය කොයි වාගේ රෝගවලටත් මං ප්‍රතිකාර කරනවා. කැඩුම්, බිඳුම් වෙදකමෙන් නම් මේ වෙනකොට දාහකට වඩා ගොඩදාලා ඇති.”
“සමහර රෝග තියෙනවා හඳුනා ගැනීමට නොහැකි ඒවා. ඒ වාගේ රෝගය නිශ්චය කරගන්න බැරිවුණාම ඔබ අනුගමනය කරන ක්‍රමවේදය මොකක්ද? මම දිසානායක වෙද මහතාට බාධා කරමින් ඇසුවෙමි.
“ඔව් ඉතින් කැඩුම් බිඳුම්, සර්පයින් දෂ්ට කිරීම, ඇදුම වාගේ රෝග පේන්න තියෙනවානේ. සමහර රෝග මතුපිටින් හඳුනාගන්ඩ බෑ. ඒ වාගේ අවස්ථාවල මම ගුප්ත පැත්තෙන් බලනවා. මගේ ළඟ අඳුනක් තියෙනවා. අඳුන බලලා රෝගය නිශ්චය කරගන්නවා. තව නොපෙනෙන බලවේගයක් මගින් මට උපදෙස් දෙනවා. වැරදි වෙදකමක් මම කරන්න යනවා නම් “ඕවා දීලා මිනිස්සු මරන්නද යන්නේ ඔය බෙහෙත වීසිකරපිය. ආං... අහවල් තැන බේත තියෙනවා.” ඔය විදිහට මට කතා කරලා කියනවා. ඒවා මගේ කනට ඇහෙනවා.”
“ඔබ කීවා අඳුන බලලා රෝග හඳුනා ගන්නවා කියලා. ඒ වාගේ අවස්ථාවක් ගැන පොඩි විස්තරයක් කරමුද?”
“මේ මෑතක ගල්නෑව පැත්තේ තරුණ ළමයෙක් මගේ ළඟට ගෙනාවා. උසස් පෙළ විභාගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පළමුවැනියාට ලකුණු අරන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණ ළමයෙක්. එයාට කන්ඩ බොන්ඩ බෑ. කාපු බීපු ගමන් වමනය යනවලු. කොළඹ, නුවර, ජයවර්ධනපුර, වැලිසර ඔය හැම ඉස්පිරිතාලයකටම ගිහින් බෙහෙත් අරන් තියෙනවා. දොස්තර මහත්වරු කියලා තියෙන්නේ රෝගයක් නෑ කියලා.”
“මම ළඟට ගේනකොට හොඳටම රෝගී වෙලා. බාහිර පෙනුමෙන් මටත් රෝගය හඳුනාගන්ඩ බැරිවුණා. මම අඳුන බැලුවා. කඳේ (ශරීරයේ) විෂක් තියෙනවා කියලා අඳුනෙන් දැක්ක. මම ඒ විෂට ප්‍රතිකාර කළා. මුලින්ම කළේ පිරිත් කරපු තැඹිලි ගෙඩි හතක් බොන්ඩ දීමයි. ඊට පස්සේ බේත් වර්ග තුනක් හදලා දුන්නා. දැන් රෝගය සුවයි කියලා මට තෑගිත් අරන් දැන් දවස් තුන හතරකට පෙර මෙහේ ඇවිත් ගියා.”
“දවසක් පොල්පිතිගම, එගොඩගම කියන ගමේ රෝගියෙක් වාහනයක දාගෙන අපේ ගෙදරට ගෙනාවා. එයා ඇදුම රෝගයෙන් මරණාසන්න වෙලා. කුරුණෑගල රෝහලෙන් ලෙඩා බේරාගන්ඩ බෑ කියලා තමයි ගෙදර එවලා තියෙන්නේ. මම වාහනය ළඟට ගිහින් ලෙඩා පරීක්ෂා කළා. හුස්ම වැටෙන්නෙත් නෑ. මළකඳම තමයි. මාත් බේත් කරන්න බෑ කියලා කීවා. ලෙඩා ගෙනාපු අය කන්කෙඳිරි ගානවා. මොනවා හරි බේතක් කරන්න කියලා පින්සෙණ්ඩු වෙනවා.”
“මම කල්පනා කළා මොනවාද කරන බේත කියලා. අහවල් තෙල ගන්ඩද කියලා හිතන කොටම (හූනා) ඇඬුවා. “අනේ කිරි අත්තේ....” කියලා මට කියවුණා. ඒත් එක්කම මගේ සිහියට ආවා අර තෙල නෙමෙයි අහවල් තෙල හොඳයි කියලා. මං ඒ තෙල් බෝතලයට ඉරටු කූරක් ඔබලා අරන් අර ලෙඩාගේ කටේ ගෑවා. ටික වේලාවකින් ලෙඩාට සිහිය ආවා. ලෙඩා වාහනයෙන් බැහැලා පයින්ම මගේ දේවාලය ළඟට ආවා.”
(ඉතිරිය ලබන සතියට)
කතාව සහ සේයාරූ I
ගල්ගමුව නිහාල් ජයවීර