2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

14 හා 28 දිනවල ග්‍රහණ දෙකක් - මුහුද ගොඩ ගලා ජීවිත වතුරේ යයිද?

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 255

2023 වසරේදී සිදුවන්නා වූ ග්‍රහණ අතරින් අවසන් ග්‍රහණය වන වලයාකාර සූර්ය ග්‍රහණයක් 2023 ඔක්තෝබර් මස 14 වැනි ශනි දින සිදුවූ අතර අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් 2023 ඔක්තෝබර් මස 28 වැනි ශනි දින සිදුවිය. බුධට අයත් වූ කන්‍යා රාශිය උදාව පවතිත්දී 2023 ඔක්තෝබර් මස 14 වන දින සිදුවූ වලයාකාර සූර්ය ග්‍රහණයෙන් හා ගුරුට අයත් මීන රාශිය උදාව පවතිද්දී ඔක්තෝබර් 28 වන පුර පසළොස්වක දින සිදුවූ අර්ධ චන්ද්‍ර ග්‍රහණයෙන් අප රටට මෙන්ම ආසියාතික රටවලටත් එක්සත් රාජධානිය, ඇමෙරිකාව ඇතුළු යුරෝපීය රටවලටත් බලපෑම් එල්ල වනු ඇත. 

විශේෂයෙන් අප රටටද දිස්වන අර්ධ චන්ද්‍ර ග්‍රහණය සිදුවන දින බ්‍රහස්පති, සඳු, රාහු, කුජ, කේතු, බුධ, රවි චර රාශිගතව තැන්පත්ව සිටීමෙන් ඉතාමත් අයහපත් වූ ග්‍රහ තත්ත්වයක් ඇති වේ. විශේෂයෙන් යුරේනස්ද චර රාශිගතව සිටින අතර කුජ, රවි, කේතු, බුධ, ගුරු, සඳු, රාහු, යුරේනස් සම සප්තව පිහිටීමත්, චර රාශිගතව වැඩි ග්‍රහ බලයක් යෙදීමත් නිසා ඉදිරි මාස 4ක් ඇතුළත අති විශාල ජන විනාශයක් සිදුවනු ඇත. පසුගිය වකවානුව මුළුමහත් ලෝකයම කම්පාවට පත්කළ මුහුදු ගොඩගැලීම්ද සුනාමි ව්‍යසනය මෙන්ම වෛරස් රෝග පැතිර යාමත් හේතුවෙන් මිනිස් හා සත්ව ජීවිත දස දහස් ගණනින් විනාශ වූවාක් මෙන් අති බිහිසුණු තත්ත්වයක් ඉදිරි වකවානුව තුළ ආසියාතික රටවලටද විශේෂයෙන් අප රටටද ඇතිවනු ඇත. රිච්ටර් මාපාංක 7 ඉක්මවූ ප්‍රබල භූ චලන ඇතිවීමත් එමගින් භූමි ගිලා බැසීම්, කඳු කඩාවැටීම්, ගොඩනැගිලි කඩා වැටීම්, හදිසි ජල ගැලීම්, මුහුදු ගොඩගැලිම් ඇතිවීමත් දැඩි සුළං තත්ත්ව ඇතිවීමෙන් නිවාස ගොඩනැගිලි හානිවීමත් ජීවිත විනාශවීමත් ඉහළ යනු ඇත. මත්ස්‍ය සම්පත විනාශ වන අතර ගොවිපළවල්වල කුකුළන් ඇතුළු සතුන් අතර හඳුනා නොගත් රෝග පැතිර යාමත් මහජනතාවට නොසිතූ ලෙස වෛරස් ආබාධයක් නැවත වරක් පැතිර යාමත් වාර්තා වනු ඇත. ඒ හේතුවෙන් ජීවිත නැතිවීම් ද වැඩිවේ. විශේෂයෙන් මෙම ඉදිරි වකවානුව තුළ ජන ජීවිතය අඩාල වීමක් වන අතර ජීවන අරගල වෙනුවෙන් ඇතැම් පුද්ගලයින් නීති විරෝධී ලෙස කටයුතු කිරීමත් රජයට යම් යම් බාධකයකදී හිරිහැර ඇතිවීම්ද සිදුවන බව පෙනෙන්නට තිබේ. මෙම ඉදිරි වකවානුව තුළ සියලු ජනයා මෙත් සිත් පෙරදැරිව තමන් අදහන ආගමට නැඹුරුව කටයුතු කිරීම කාට කාටත් යහපත් වනු ඇත.

ඔබේ ලග්නයට කොහොමද?
මෙම ග්‍රහණ නිසා පුද්ගල ලග්නවලට සිදුවන බලපෑම් මෙසේය.

• මේෂ - ජලයෙන් ප්‍රවේශම් වෙනු

මෙම ලග්නය හිමිව උත්පත්තිය ලැබූ අය ජලය ආශ්‍රිත ස්ථානවල ගැවසීම අහිතකර වන අතර ගංගා, මුහුදු ආශ්‍රිතව පදිංචි අයද මෙම වකවානුව තුළ කල්පනාකාරී විය යුතුයි. අවදානම් සහිත, අබලන් තත්ත්වයේ පවතින නිවාස මෙන්ම කඳු හා පස්කඳු ආශ්‍රිතව නිවාස පිහිටා ඇත්නම් හදිසි විපත් ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් සිටිය යුතුයි. ආර්ථික තත්ත්වය යහපත් වන අතර ඔබගේ කාලත්‍රයාට හදිසි විපත් ඇතිවන කාලයකි.

• වෘෂභ - වෛරස් රෝග

ඔබට සුභඵල දායක නොවන අතර වෛරස් රෝග පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතුවේ. මෙම වකවානුව තුළ සතුන්ගෙන්ද පීඩා ඇතිවිය හැක. ජලය පිරි තැන්වල අවදානම් ස්ථානවල ස්නානය කිරීමට යාමෙන් වැළකී සිටිය යුතුය. විශේෂයෙන් උප්පත්ති හඳහනේ චන්ද්‍ර අෂ්ඨම මණ්ඩලය පවතින අයකු නම් ඉතාමත් පරිස්සම් විය යුතු අතර තමන් අදහන ආගමට නැඹුරුව කටයුතු කළ යුතු කාලයක්ද වේ.

• මිථුන - ආර්ථික අපහසුතා

විශාල අන්දමේ වියදම් කිරීමට සිදුවන නිසා කල්පනාකාරී විය යුතු අතර විශාල පාඩු ලැබීම් ඇති විය හැක. මෙම වකවානුව තුළ ආර්ථික අපහසුතා ඇතිවන අතර යම් යම් අවස්ථාවන්හිදී අන් අය කෙරෙහි නුරුස්සන ගතිද ඇතිවන අතර ආවේගශීලී සිතුවිලි ජනිත වන කාලයක්ද වේ. සංයමයෙන් යුතුව කටයුතු කරන්න.

• කටක - විදේශ ගමන්

තමා පදිංචි ස්ථානයෙන් බැහැරවීමට හෝ විදේශගත වීමට හෝ ස්ථාන වෙනස් කිරීමට සිතේ ඇති අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවේ. ඔබගේ කටයුතුවලට යම් යම් බාහිර බලපෑම් ඇතිවන අතර ඔබගේ කාලත්‍රයාටද හදිසි ශරීර ආපදා හා මාරක ද ගෙන දෙන කාලයක් වේ.

• සිංහ - හදිසි ධනය ලැබීම්

ඔබ අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙස වන කාලයක් වෙයි. අන් අයගේ පැසසුමට ලක්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වේ. හදිසි ධන වාසනා ඇති වීමක් සිදුවනු ඇත. විශේෂයෙන් අලුත් වැඩවලට අතගැසීමටද ශුභ කාලයක් වන අතර පෙර පින් බලය ඔබට ගෙන දෙන කාලයක්ද වේ.

• කන්‍යා - ආගමික කටයුතු

ගංගා මුහුදු, කඳු බෑවුම්වල ජීවත් වන්නේ නම් ඉතා පරිස්සම් විය යුතු අතර ගංගා මුහුදු වැව් ආශ්‍රිතව දිය නෑම් කිරීමද මෙම වකවානුව අයහපත් වනු ඇත. තමන් කරන කටයුතු අඩාල වන අතර ආර්ථික අපහසුතාද තදින් දැනෙන කාලයකි. තමන් අදහන ආගමකට අනුව කටයුතු කිරීම යහපත් වන කාලයකි.

• තුලා - මතු දියුණුව සැලසේ

විශාල වශයෙන් ධනය ආයෝජනය කර කටයුතු කිරීමට යහපත් නොවන කාලයකි. එහෙත් හදිසි ලැබීම් සහ දියුණුව ඇතිවන කාලයක්ද වේ. අන් අයගේ විශ්වාසය දිනාගෙන කටයුතු කළ හැකි අතර ඔබගේ ශරීර ශක්තියට බාධා ගෙන දෙමින් හිස ආශ්‍රිතව රෝග පීඩාවන් ගෙන දෙනු ඇත.

• වෘශ්චික - සංචාර තහනම්

ගංගා මුහුදු ආශ්‍රිතව ජීවත් වන අය ඉතා පරිස්සම් විය යුතු අතර ස්නානය කිරීමට යාම්ද නොකළ යුතු කාලයකි. විනෝද චාරිකාවල යෙදීම අවම කිරිම යහපත් වනු ඇත. වෛරස් රෝග වැළඳීමේ හැකියාවද වැඩි කාලයක් වන අතර ආර්ථික අපහසුතාද ඇතිවන සමයකි. තමන් සමග හිතවත්ව සිටි අයකු තමන් සමඟ හිත් අමනාපකම් ඇති කරගනු ඇත. තමන් අදහන ආගමකට අනුව කටයුතු කළ යුතු කාලයකි.

• ධනු - සාර්ථක විසඳුම්

ඔබගේ කටයුතුවලට සාර්ථක විසඳුම් ලැබෙන අතර ආර්ථික වාසිද අත්වනු ඇත. අලුතින් වැඩකටයුතු ආරම්භ කිරීමටත් යහපත් වන අතර දුර ගමන්, විදේශ ගමන් යාමට අපේක්ෂා කරන අයට යහපත් වූ ඵල අත්වනු ඇත.  අන් අයගේ උදව් උපකාරද තමාට හිමිවන කාලයකි.

• මකර - විවාහය කල්පනාවෙන්

හදිසි තීරණ ගැනීම යහපත් නොවන අතර විවාහ කටයුතුවලදී මෙන්ම මුදල් ආයෝජන කිරීම්වලදී කල්පනාකාරීව කටයුතු කළ යුතුය. අන් අයට උදව් උපකාර කිරීමට පෙළඹෙන කාලයක්ද වන අතර ආර්ථික වාසිද අත්වන කාලයක් වේ. පවුලේ සමගිය ගැන අවධානය යොමු කරන්න.

• කුම්භ - සැඟවුණු සතුරන් එළියට

ඔබගේ පවුලේ සහෝදරයන් සහෝදරියන් සමග මත ගැටුම් හා ප්‍රශ්න ඇතිවිය හැකි අතර ඉවසීමෙන් කටයුතු කළ යුතුවේ. තමන්ට එරෙහි විවිධ වූ සැඟවුණු සතුරු පීඩා තමාට මෙල්ල කළ හැකිවන කාලයකි. ඔබගේ කාලාත්‍රයාට අයහපත් ලෙස මාරක ඇතිවන සමයක්ද වේ.

• මීන - මිතුරන්ගෙන් කරදර

ඔබගේ හිත මිතුරන් නිසා ඔබට කරදර ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. ගංගා, මුහුදු ආශ්‍රිතව ජීවත්වන අය ඉතා පරිස්සම් විය යුතු අතර ඒ ආශ්‍රිතව ස්නානය කිරීම්ද නොකළ යුත්වෙයි. වෛරස් රෝගද වැළදිය හැකි බැවින් පරිස්සම් වන්න. කල්පනාවෙන් කටයුතු කිරීම අවශ්‍ය බව සලකන්න.

දේශාභිමානී කීර්ති ශ්‍රී 
රේණුක වික්‍රමසිංහ
ප්‍රවීණ ජෝතීර්වේදී ජ්‍යොතිෂාචාර්ය
සුවණැන ජ්‍යොතිෂ පර් යේෂනායතනය,
28, ඔලබොඩුව, ගෝනපල