- ලක්ෂ්මේන්ද්‍ර ප්‍රනාන්දුඇමසෝන් නාළිකා ප්‍රධානී ඩෙල් සහ එච්පී ආයතනයන්හි මෙරට හිටපු කළමනාකරු
Q ඔබව හඳුන්වා දෙන්න කිව්වොත්, ඔබ කවුරු කියලද හඳුන්වා දෙන්න කැමැති?
මම තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රවීණයෙක්. සුදුසුකම් සහිතව මම මේ ක්ෂේත්‍රයට එන්නේ 1992 දී. අයි.බී.එම් පරිගණක බෙදාහරින්නෙක් ලෙසට මම එන්නේ. පසු කාලෙක ඊවීස් කියලා වෙනස් වුණේ මේ ආයතනය. මම ඒකේ අවුරුදු 10 ක් වැඩ කළා. ඉන් ඉවත් වෙද්දි මාර්කටින් මැනේජර්. ඊටපස්සේ එච්.පී කියන සිංගප්පූරු ආයතනයෙන් අපේ රට භාරව ඉන්න කළමනාකරු ලෙස මාව රැකියාවට ගත්තා. මට දුන්න අභියෝගය තමයි එයාලගේ නිෂ්පාදන ප්‍රචාරණය කරන්න කියලා. අවුරුදු දෙකකට පස්සේ මම ඒ ආයතනය පරිගණක ක්ෂේත්‍රයේ අංක එකට ගෙනාවා. කොහොම හරි මම අවුරුදු දහයක් එතැනත් වැඩ කළා. එතකොට ඩෙල් කියන බ්‍රෑන්ඩ් එකත් ලංකාවේ තිබුණා. හැබැයි පහළ තිබුණෙ. ඒ අය තීරණය කරලා තිබුණේ තවදුරටත් යන්න බැරි නම් වහලා දාන්න. අන්න එතකොටයි මාව අපේ රටේ කළමනාකරු හැටියට ඒ අය පත් කළේ. ඒක මම අභියෝගයක් හැටියට ගත්තා. මම අවුරුද්දක් යන්න කලින් 600% ක වර්ධන වේගයකින් රටේ අංක එකට ගෙනාවා. ඩෙල් එකේ හිමිකරු වෙච්ච මයිකල් ඩෙල් පවා හම්බවුණා. ඊටපස්සේ මම දකුණු ආසියාවේ අධ්‍යක්ෂ හැටියට පත් කළා.
Q දැන් මොකද්ද ඔබ කරන රැකියාව?
මම මේ වෙද්දි ඇමසෝන් එකේ නාළිකා ප්‍රධානියෙක් හැටියට වැඩ කරනවා. මම ඉන්දුනීසියාවේ ඉඳලා වැඩ කරන්නේ.
Q දැන් තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉතාම පුළුල් විදිහට නිෂ්පාදන සිදු කරනවා. අපේ රටේ එහෙම අඩුයි. ඇයි අපිට කරන්න බැරි. ඒකට ඉඩක් ජාත්‍යන්තරයේ තියෙනවද?
ඔව්. අපි තවම සාම්ප්‍රදායික ආනයන භාණ්ඩ තුළ ඩොලර් හොයන්න උත්සාහ කරන රටක්. අපි තවම උත්සාහ කරන්නේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න. දේශපාලන ප්‍රතිපත්තිවල පවා තියෙනවා. හැබැයි මම කියන්නේ තාක්ෂණික ක්ෂේත්‍රය තුළ අපිට ජාත්‍යන්තර මට්ටමින් ලොකු ඉඩක් ලැබිලා තියෙනවා. ඉන්දියාවේ ආර්ථික හැරවුමේදී ඉදිරියට ආවේ තාක්ෂණය. දැන් ලංකාවත් ටික ටික ඉස්සරහට එමින් තියෙන්නේ. මම එකක් කියන්න ඕනෑ. අපේ රටේ තාක්ෂණික ක්ෂේත්‍රයේ වැඩ කරන ළමයින්ට ඉතාම හොඳ පුහුණුවක් තියෙනවා ලෝකයේ අනෙක් රටවල් එක්ක සසඳද්දි. ඒ නිසා අපිට ලොකූ පෙරළියක් කරන්න පුළුවන්. හොඳම උදාහරණය ඊවිස් ආයතනය. දැන් ඒ ආයතනය ස්ව උත්සාහයෙන් තමන්ගෙම නිෂ්පාදන තාක්ෂණ ක්ෂේත්‍රයට දෙනවා.
Q ඊවිස් ආයතනය ඔබ හිතන මට්ටමේ ජාත්‍යන්තර ප්‍රමිතියක තියෙනවද?
ඔව්. ඊවිස් ඉතාම ඉහළ ජාත්‍යන්තර මට්ටමක තියෙන්නේ. හැබැයි එකක් කියන්න තියෙනවා. එවැනි ආයතනවලට රජයේ දිරිගැන්වීම ඉතාම අඩුයි. ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ආයතන අද ඉන්න තැනට එන්න ආරම්භයේදී ඉතාම ඉහළ දායකත්වයක් ආණ්ඩුවෙන් ලැබිලා තියෙනවා. ඊට පස්සෙ තමයි තමන්ගේ රටේ ඉඳලා පිටට ඒ අය යන්නේ. ඇත්තටම එවැනි දිරිගැන්වීමක් අපේ රටේ ආණ්ඩුවලින් මම දැකලා නෑ.
Q ඕනෑම නිෂ්පාදනයක අවසන් අවස්ථාව තමයි හොඳ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න එක. කොහොමද ජාත්‍යන්තරය දිනන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක් හදන්නේ? එහෙම හදාගත්ත අය ඉන්නවද?
ඔව් පුළුවන්. ඒ වගේම එහෙම බ්‍රෑන්ඩ් හදාගත්ත අය ඉන්නවා. දැන් සොෆ්ට්වෙයාර් පැත්ත ගත්තම ‘වර්චොසා’ නම ජාත්‍යන්තර බ්‍රෑන්ඩ් එකක්. ඩිල්මා ගත්තමත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරණය අවශ්‍ය නෑ. ඉස්සෙල්ලම හොඳ කොලිටි ප්‍රඩක්ට් එකක් හදාගන්න එක තමා කරන්න ඕනෑ. එකපාර ජාත්‍යන්තරයට යන්නත් බෑ. අපේ රටේ තියෙන භූගෝලීය පිහිටීම මතත් ඕනෑම කෙනකුට ජාත්‍යන්තරයට යන්න පුළුවන්. ඒ වගේම ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ ආයතනයක තෝරා ගැනීමේ රටක් වීමේ ඉඩ තියෙනවා. අන්න එතැනදි තමයි රජය සහාය වෙන්න ඕනෑ.
Q බ්‍රෑන්ඩ් එකක් හදන්න අද කාලේ සෝෂල් මීඩියා විතරමද ඕනෑ?
සෝෂල් මීඩියා කියන්නේ එක දෙයක්. සෝෂල් මීඩියා ඇතුළේ බ්‍රෑන්ඩ් හැදෙනවා අපි දැකලා තියෙනවනේ. ඒ පොඩි කාලයකට විතරයි. ඉක්මනින් වැටෙනවා. සෝෂල් මීඩියාවලින් කරන්න පුළුවන් දේ වගේම සාම්ප්‍රදායික ක්‍රමත් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න අවශ්‍ය වෙන්න ඕනෑ. කිසිම තැනකින් තනියම ගොඩනගන්න බෑ.
Q බ්‍රෑන්ඩ් එකක ආයු කාලය තීන්දු වෙන්නේ නිෂ්පාදනය මතද? නැත්නම් ජනතාව ඒ බ්‍රෑන්ඩ් එක පිළිගන්නා කාලය තුළද?
ඒ දෙකම බලනවා. ඕනෑම බ්‍රෑන්ඩ් එකක ආයු කාලයක් තියෙනවා. කොහොම වුණත් නිෂ්පාදනය යාවත්කාලීන වෙන්න ඕනෑ. එතකොටයි ජනතාව හෝ ක්ෂේත්‍රය ඇතුළේ රඳා පවතින්නේ. ඒ හරහා ප්‍රචාරණයත් වෙන්න ඕනෑ. ඒ නිසා මම කියන්නේ ඒ දෙකම සමබරව වෙන්න ඕනෑ.