පාසලේ බොහෝ දරුවන් උදෑසන දිව එන්නේ පාසල් භූමියේ පසෙකින් ඇති වගා බිමටය. ඇතැම්හු වගා බිමේ ඇති වල් පැළෑටි ගැලවූහ. තවත් පිරිසක් වගා බිමට අවශ්‍ය ජලය දැම්මෝය. මේ අතරින් තවත් දරුවන් පිරිසක් වගා බිම අතු පතු ගෑහ. වර්තමානයේදී ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහ විදුහල් භූමියට මෙය සාමාන්‍ය දසුනක් වන අතර එය සෑම පාසලකටම ආදර්ශමත් ක්‍රියාවකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විදුහලේ අක්කර භාගයකට ආසන්න භූමි ප්‍රදේශයක මෙම පාසලේ දරුවෝ වගා කටයුතුවල නිරත වෙති. අද වර්තමානය වනවිට එම වගාවෙන් ඉතා හොඳ අස්වැන්නක් ලැබෙන අතර ඒ සියලු ආදායම් පාසලේ ඉදිරි අභිවෘද්ධිය සඳහා යෙදවෙයි.
2015 වැනි වර්ෂයෙන් ආරම්භ වුණු මේ ගෙවතු වගාව අද වනවිට ඉතා සාර්ථක වගා බිමක් වී අවසන්ය. පෙර පැවැති වගාවන්වලට අමතරව කාලෙන් කාලෙට අලුත් වගා බිම් ආරම්භ කරමින් පෙර පැවැති සීමිත ඉඩ වෙනුවට අද වනවිට අක්කර භාගයක වැනි විශාල භූමි කොටසක මෙම වගා බිම ව්‍යාප්තව පවතී.
පාසල් අධ්‍යාපනයේදී කෘෂිවිද්‍යාව ඉගැන්වීමේදී එය පොතපතට පමණක් සීමා නොවී කෘෂිකර්මය අත්දැකීමක් කොට කෘෂි ගෙවත්තේදී දරුවන්ට දැනුම ලබාදීමට කෘෂිකර්මය උගන්වන ගුරු දෙපළ අපමණ වෙහෙසක් ගනිති. ඒ.ඩබ්ලිව්.ඒ. වසන්ත සිරිවර්ධන සහ රුවන් අමිල ජයතුංග ගුරු දෙපළ වෙත.
''මුලින් අපි බිම්මල් වගාවක් කළා. එය සාර්ථක බිම්මල් වගාවක් වුණා. පසුව අපි පැපොල් වගාවක් කළා. ඒ වගාවන්වලින් තමයි අපි වගාබිම ආරම්භ කළේ මුලින් අපි මේ වගාවන් ඉතා සුළු ඉඩ ප්‍රමාණයක තමයි පටන් ගත්තේ. නමුත් අද වනවිට ඉතා විශාල භූමි ප්‍රමාණයක අපි වගාවන් කරගෙන යනවා. ඒ සඳහා අප පාසලේ විදුහල්පති කේ.ජී.ඩබ්ලිව්.එන්. සෙනවිරත්න මහතාගෙන් විශාල සහයෝගයක්, ආශීර්වාදයක් මෙන්ම මඟපෙන්වීමක් ලැබෙනවා.'' යැයි ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහ විදුහලේ කෘෂි විද්‍යා ආචාර්ය වසන්ත සිරිවර්ධන මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
දිනෙන් දින කෘෂි වගාබිම සාර්ථක වෙද්දී වගා බිම සුන්දර කර ගැනීමට මූර්ති දෙකක්ද වගාබිමට තෑගි ලෙසින් ලැබුණි. සාර්ථක වගාබිමක් සාදා ගැනීමට අමතරව කෘෂි විද්‍යා ගුරුවරුන් දෙපළගේ මග පෙන්වීම යටතේ පාසල් දරුවෝ වගා බිම පිළිවෙළට තබා ගැනීමටද නිරන්තරයෙන් උත්සාහ දරති. මෙහි වැඩිවශයෙන් ඇත්තේ කෙටිකාලීන බෝග වගාවන්ය. මාස කිහිපයක් අතරතුරේ අස්වැන්න නෙලීමෙන් අනතුරුව ඔවුහු නැවතත් බෝග වගා කරති.
මෙහි වර්තමානයේදී සාර්ථක ගම්මිරිස් වගාවන්ද තිබේ. ගම්මිරිස් පැළ විශාල සංඛ්‍යාවක් වගා කිරීම හේතුවෙන් අනාගතයේදී ඉතා හොඳ ගම්මිරිස් අස්වැන්නක් ලබාගැනීමේ හැකියාව පවතී. මීට අමතරව කුඩා පාත්ති සාදා දරුවන්ට අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.
පාසල් වගා භූමියේ ඉතා සාර්ථක ලෙසින් ගෝවා වගා කොට ඇත. මීට අමතරව උඩරට ප්‍රදේශයට ආවේණික කැරට්, අර්තාපල්, ලීක්ස්, බීට් ද වගාකොට ඇත. එමෙන්ම අනෙකුත් වගා බෝගද වගා කොට ඇත.
''කෘෂි විද්‍යාව හදාරන දරුවන්ගේ විශාල උනන්දුවක් තිබෙනවා. ඒ දරුවන් විතරක් නෙමෙයි පාසලේ ඉගෙනුම ලබන අනෙකුත් දරුවන්ටද ඒ උනන්දුව තියෙනවා. ඒ හැම දරුවකුගේම සහයෝගයෙන් තමයි මේ වගා භූමිය සාර්ථකව පවත්වාගෙන යන්නේ. දහය වසර සහ එකොළහ වසර කෘෂි විද්‍යාව ඉගෙනුම ලබන දරුවන් මේ කෘෂි වගාවට වැඩි වශයෙන් සම්බන්ධ වෙනවා. අප පාසලේ පළමු වසරේ සිට උසස් පෙළ දක්වා දරුවන් ඉගෙනුම ලබනවා. පාසලේ කෘෂිවිද්‍යාව ගුරුවරුන් දෙදෙනෙක් ඉගැන්වුවත් පාසලේ විදුහල්පති ඇතුව ගුරු මණ්ඩලයේ සෑම දෙනෙකුම සඳහා විශාල සහයෝගයක් ලබාදෙනවා. පාසලේ දරුවන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබනවා.'' යැයි කෘෂිවිද්‍යා ආචාර්ය අමිල ජයතුංග මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
පාසලේදී කෘෂි විද්‍යා ගුරු දෙපළට යම් දිනෙක වගා බිම සඳහා සොයාබැලීමට අවස්ථාවක් නැති දිනවලදී ඒ සොයාබැලීමක්ම සිදුකරනු ලබන්නේ ගුරු මණ්ඩලයේ යම් ගුරුවරයකු හෝ කිහිපදෙනකු විසිනි. එපමණක්ම නොව වගා කිරීමට අවශ්‍ය කරනු ලබන මූල්‍ය ආධාර සහ මේ සඳහා අවශ්‍ය අනුග්‍රාහකයන් සොයාදීමට පවා ඔවුහු ඉදිරිපත් වී සිටිති.
වගාබිම සඳහා අවශ්‍ය ජලය සපයාගනු ලබන්නේ පාසල් භූමියේ පසෙක ඇති විශාල ළිඳ ආධාරයෙනි. ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විදුහල මායිම්ව ඇත්තේ කුඹුරු යායකටය. පාසල් භූමියේ ඉදිකර ඇති විශාල ළිඳෙහි ජලය පානය සඳහා යොදාගන්නේ නැත. ඒ ළිඳෙහි ජලය සම්පූර්ණයෙන්ම මෙම වගා කටයුතු සඳහා යොදාගැනෙයි. අනුරාධපුරයට අධික නියඟය ඇති සමයේදී වුවද මෙහි ජලය හිඳෙන්නේ නැත. ඒ හේතුවෙන් වගාවන්වලට අවශ්‍ය ජලය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැත. වගා බිමේ තැනින් තැන වතුර මල් සවිකර ඇත.
වගාවක් ආරම්භ කිරීමට පෙර වගා බිමට හොඳින් වේළුණු ගොම පොහොර පස සමඟ හොඳින් කලවම්කොට වගාබිම සාදා ගනිති. මේ සඳහා අවශ්‍ය කරන ගොම පොහොර පාසල් දරුවන්ගේ මාපියෝ ලබාදෙති. මීට අමතරව පාසලෙත් කාබනික පොහොර නිෂ්පාදනය වේ. ඒ සියලු කාබනික පොහොර යොදාගනු ලබන්නේ වගාබිමටය. වගා බිමෙන් ලබාගන්නා අස්වැන්න විකුණනු ලබන්නේද පාසලේ ගුරු මණ්ඩලයට, පාසල් දරුවන්ගේ දෙමව්පියන්ට සහ ගම්වාසීන්ටය. අස්වැන්න නෙලාගැනීමෙන් අනතුරුව පාසල් භූමියේ කුඩා පොළක් පවත්වා මේ අස්වැන්න විකුණති. එම අස්වැන්නෙන් ලබාගන්නා ආදායම පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහාත්, දරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහාත් සහ ඉදිරි වගා කටයුතු සදහාත් යොදවා ගැනේ.
''2015 වසරේදී අපි මේ වගා කටයුතු ආරම්භ කළා. මේ වෙද්දී මේ කෘෂි වගාව අපි සංවර්ධනය කරගෙන ආවා. ඉදිරියේදී මෙය තව තවත් දියුණු කිරීමට, තවත් පාත්ති ටිකක් හදන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා උදව් කරන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න. හැමදාම උදේට මේ දරුවන් පාසලට එන්නේ හරිම ප්‍රබෝධයෙන්. මේ බොහෝ දරුවන් පාසලේ භූමි කොටසට පැමිණ මේ වගාකටයුතුවල නිරත වෙනවා. ඇත්තටම මේ දරුවන් එක්ක මෙවැනි කටයුත්තකට නිරත වෙන්න ලැබීමත් අපිට සතුටක්.'' යැයි කෘෂිවිද්‍යා ආචාර්ය අමිල ජයතුංග මහතා සඳහන් කරයි.
I දිශානි ජයමාලි කරුණාරත්න