2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

කජු රස මැවූ වෙදැදුර - වෛද්‍ය රුවන් වතුගල

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 176

රටකට අභිමානයක් ගෙන එන ව්‍යාපායක් ගොඩනැගීම කජු කනව වගෙ වැඩක් නෙවෙයි. ඒත් ධෛර්ය සම්පන්න බුද්ධිමත් ව්‍යවසායකයෙකුට කජුවලින් වුණත් එවන් විශ්මකර්ම වැඩක් කරන්න පුළුවන්. Royal Cashew Group හී කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය රුවන් වතුගල කියන්න දේශ දේශාන්තර ජයගත් එවන් ව්‍යවසායකයෙක්. සම්මානනීය ව්‍යවසායක් ගොඩනැගූ වෛද්‍ය රුවන් වතුගල මහතාගේ කතාව අද අපි ඔබ හමුවේ තබනවා. මේ කතාව රටපුරා සිටින තරුණ ව්‍යවසායකයන්ට අපූරු ආදර්ශ රැසක් සපයාවී.

රුවන් වතුගල හැදුනේ වැඩුනේ ගම්පහ, කිරිඳිවිට හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැනි දරුවා විදිහට. ඔහු රාජකීය විද්‍යාලයෙන් අනූව දශකයේ අග කොළඹ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබුවා.

''අපි ලැබුවේ නිදහස් අධ්‍යාපනය. ඒ නිසාම වෛද්‍යවරයෙක් වෙලා වැඩකරනවා වගේම, අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදනයක් කරන්න ඕනෑ කියලා මට අදහසක් තිබ්බා. ඒ නිෂ්පාදන අපනයනය කරන්න ඕනෑ කියලත් හිතුවා. තවත් පිරිසකට රැසක් ටිකක් දෙන්න වගේම, මට ආර්ථික වශයෙන් ස්වාධීන වෙනත් ඕනෑවෙලා තිබුණා.''

වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේදීම තමා රුවන් වතුගල මෙහෙම හිතුවේ. මේ අදහස පෙරදැරිව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කටයුතු ඔහු කළා. මේ වෙනකොටත් ලංකාවේ කජු සම්බන්ධ අගය එකතුකළ නිෂ්පාදනයක් තිබුණේ නැහැ. ඔහු ඒ ව්‍යාපාර අවස්ථාව හඳුනගත්තා. මේ නිසාම තමන්ගේ ව්‍යවසාය ගොඩනගන්න ශ්‍රී ලංකාවේ රසවත් කජු රුවන් වතුගල තෝරාගත්තා.

''හැමෝම දැනගෙන හිටියා ලංකාවෙ කජු රසයි කියලා. ඒත් ජාත්‍යන්තර වෙළෙඳ පොළට කජු එකතු කළ නිෂ්පාදනයක් විදිහට ගිහිල්ලා තිබුණෙ නැහැ. තේ සහ කුළුබඩුවලට තමා පිළිගැනීම තිබුණේ. 1999දී මම මේ ව්‍යාපාරය ගොඩනගද්දී, අපේ වෙළෙඳපොළේ කජු තිබුණත් ඉතාම ප්‍රාථමික විදිහට. ගමේ ගොඩේ තලලා පොලිතින්වල ඔතලා.''

පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වූ රුවන් වතුගල තමන්ගේ නිවසේ ගරාජයේ මේ ව්‍යාපාරය කුඩාවට ආරම්භ කරන්න තීරණය කළා. ඔහු වැඩේට අත ගැහුව රුපියල් 3500ක් ඒ වෙනුවෙන් යොදවලා.

''හැමදේම මමමයි කළේ. කජු ටික හොයාගෙන ලේබල් පැකින් කරන එක කළා. පැකින් එකට පොටෝ එක පවා මම ගැහැව්වා. මම මුලින්ම කාර්ගීල්ස් එකට දුන්නා. හොඳ පැකින් එකක ප්‍රමිතියට හදපු නිසා ඔවුන් මගේ නිෂ්පාදන අනුමත කළා. හැමතැනටම මමම ගියා. ශ්‍රී ලංකා එයාර්ලයින් එක පවා අපේ නිෂ්පාදන අරගත්තා. ලංකාවේ හැම සුපිරි වෙළඳසැළකම අවස්ථාව අපට ලැබුණා.''

රුවන් වතුගල මුලදී කජුමද සැපයුම්කරුවන්ගෙන් ලබාගන්න කටයුතු කළා. ඒත් ගෘහ කර්මාන්තයක් විදිහට කජු තැලීම සිදුවුණ නිසා, කජු මදවල නිසි ප්‍රමිතියක් තබාගැනීම ගැටලුවක් වුණා. ඒ නිසාම පසුව ඔහු ගොවීන්ගෙන් කජු එකතු කරගෙන තලලා ප්‍රමිතිගත කරන්න තීරණය කළා. කොහොම නමුත් රුවන් වතුගල මේ සියල්ල සිදුකළේ වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට.

''2003 වෙද්දී මම ටැන්සානියාවට ගියා. එහේ තිබුණ කර්මාන්තශාලාවකින් සියල්ල ඉගෙන ගත්තා. පස්සේ 2004දී අපනයන සංවර්ධන මණ්ඩලය හරහා මැලේසියාවේ පැවැත්වුණු ප්‍රදර්ශනයකට යන්න අවකාශය ලැබුණා. එතනදී මට මැලේසියාවටයි මාලදිවයිනටයි ඇණවුම් ලැබුණා.''

පියවරෙන් පියවර ඉදිරියට යමින්  ව්‍යවසාය ගොඩනගන අතරේ, අධ්‍යාපන කටයුතුද රුවන් වතුගල කරගෙන ගියා.

''වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට මට මේ කටයුත්ත පටන් ගන්නකොට මුලින්ම තිබුණු අභියෝගය කාලය හොයාගන්න එක. මම හිතුවා එතැනදී පාඩම් කරන එක පාන්දර 2 සිට 6 වෙනකල් කරන්න. හරි තැනක් නොමැති එකත් අභියෝගයක් වුණා. ඒ නිසා ගෙදර ගරාජ් එකේ වැඩේ පටන්ගත්තා. ඊළඟට යන්ත්‍රෝපකරණ හොයාගන්න එකත් ගැටලුවක් වුණා. ආහාර නිෂ්පාදන සම්බන්ධ යන්ත්‍ර මිල අධිකයි. මම කළේ භාවිතා කරපු උපකරණ අරගෙන මට ඕනෑ විදිහට නවීකරණය කර ගැනීම.''

වෛද්‍ය රුවන් වතුගල තමා විසින්ම නවීකරණය කොට සකසාගත් පැරණි යන්ත්‍රෝපකරණ තවමත් සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. ව්‍යවසායකයකුට ආරම්භයේදී සියල්ල තනිව කර ගැනීමට සිදුවෙනවා. ඒ සඳහා උත්සාහය සහ කැපවීම අත්‍යවශ්‍යයි. රුවන් වතුගල සපයන්නේ ඊට හොඳ උදාරණයක්.

ව්‍යවසායකයෙකුගේ තීරණ ගැනීමේ හැකියාව පිළිබඳවත් රුවන් වතුගල කතාව අපූරු ආදර්ශයක් සපනයවා.

''මැලේසියාවේ ප්‍රදර්ශනයට යන්න තියෙනකොට තමයි මට වෛද්‍යවරයෙක් විදියට පළවෙනි පත්වීමක් ලැබුණේ. පත්වීම ලබාගත්තොත් ප්‍රදර්ශනයට යන්න බෑ. ඒ වගේම පළවෙනි පත්වීම ලබා නොගත්තොත් දෙවැනි වතාවෙ අනිවාර්යයෙන්ම දුෂ්කර සේවයට යන්න වෙනවා. නමුත් මම ප්‍රදර්ශනය තෝරාගත්තා. ඒ නිසාම මට 2004 යාපනයේ සේවයට යන්න වුණා. ඒ කාලෙම තමා අවසන් ඊලාම් යුද්ධය ආරම්භ වුණේ...''

කෙසේ නමුත් ප්‍රදර්ශනයට යාමට ගත් තීරණය වෛද්‍ය රුවන් වතුගල නම් සම්මානනීය ව්‍යවසායකයා බිහිවීමට හේතුවුණා. යාපනයේ සීමාවාසික පුහුණුව ලැබූ තරුණ වෛද්‍යවරයා ජාත්‍යන්තර ඇණවුම් කිහිපයකත් හිමිකරුවෙක් වුණා. ඔහු විසි දෙනෙකු පමණ සේවකයන් සහිතව ව්‍යාපාරය පාලනය කිරීම තරම් දක්ෂයකු වූ බවත් සිහිපත් කරන්න ඕනෑ.

2004 වසරෙන් පසු පියවරෙන් පියවර ඉදිරියට පැමිණ Royal Cashew ව්‍යාපාරයේ කඩයිම් රැසක් ගෙවීගිය දශක දෙක තුළ ජයගන්න සමත් වුණා. 2007 වනවිට Royal Cashew අලෙවිසැල් ජාලයක් බිහි කිරීමටත්, 2012 වනවිට සිය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබාගැනීමටත් වෛද්‍ය රුවන් වතුගල සමත් වුණා.

''ISO ගත්තට පස්සේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය එක්සත් රාජධානිය වගේ රටවලිනුත් මට ඇණවුම් ලැබෙන්න පටන් ගත්තා. 2015 වගේ වනවිට ආහාර තාක්ෂණවේදය හැදෑරෑ පිරිසක් එකතු කරගෙන පර් යේෂණ සහ සංවර්ධන අංශය ගොඩනැගුවා. ඒ හරහා විවිධ රසයන්ගෙන් යුත් කජු වර්ග 19ක් මේ වෙනකොට වෙළඳපොළට ඉදිරිපත් කරලා තිබෙනවා''

සිය අලෙවිසැල් ජාලයත්, ව්‍යාපාරයත් පුළුල් කරමින් ශ්‍රී ලංකීක කජු අධිරාජ්‍යයක් ගොඩනැගීමට වෛද්‍ය රුවන් වතුගල සමත් වෙන්නේ මේ විදියට. ඒ නිසා ඔහු විටින් විට සම්මානයට පවා බඳුන් වෙනවා. 2019 වනවිට නවීන යන්ත්‍රෝපකරණ සහිත කජු නිශ්පාදන සඳහාම වෙන්වූ කර්මාන්ත ශාලාවක්ද Royal Cashew නිර්මාණය කරනවා.

අනතුරුව සිය ව්‍යාපාරය, විශේෂඥයා සහන සහිතව 2022 පමණ වනවිට නැවත සන්නාමකරණය (Rebranding) කිරීමටද රුවන් වතුගල කටයුතු කරලා තිබෙනවා. ඇත්තෙන්ම දැන් මේ ව්‍යාපාරය ජාත්‍යන්තර ප්‍රමිතිගත කීර්තිමත් ව්‍යාපාරයක්. ඒ නිසාම කර්මාන්ත අමාත්‍යශය වගේම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෛද්‍ය රුවන් වතුගලව පසුගිය දා අගය කළා.

''දැන් අපේ කර්මාන්ත ශාලාවේ  දවසකට ටොන් එකොළහමාරක නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුකරන පහසුකම් තියෙනවා. මේ වනවිට සේවක සේවිකාවන් 170ක් පමණ වැඩ කරනවා. දැනට රටවල් විස්සකට විතර අපේ නිෂ්පාදන අපනයනය කරනවා.''
රසවත් ශ්‍රී ලාංකීය කජු රාජකීයත්වයකින් ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ වෛද්‍ය රුවන් වතුගල නම් වූ මේ අපූරු ව්‍යවසායකයාට. ඔහුගේ කතාව මීට වඩා දිග පළලින් යුතුව ලියා තැබිය යුත්තක්. ශ්‍රී ලංකාවේ තේ කුළුබඩු ලෝකය දැනගෙන හිටියා, ඒත් ශ්‍රී ලාංකික කජු නිෂ්පාදන දැන් ලොව හඳුනන්නේ නම් වෛද්‍ය රුවන් වතුගල නම් ව්‍යවසායකයාගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන්.

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00