අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ ජීවත් වන ගොවි මහතකු තමන්ගේ අක්කර භාගයක භූමි කළ මිරිස් වගාවෙන් රුපියල් ලක්ෂ 100 කට ආසන්න ආදායමක් ලබාගත් බව පසුගියදා මාධ්‍ය ඔස්සේ හෙළි කර තිබිණි. ඔහු නමින් එච්.එන්. ඇන්ටනී පීරිස්ය. නමුත් ඔහුව බොහෝ දෙනකු හඳුන්වන්නේ බන්දුල නමිනි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ දෙනකුගේ ජීවිකාව ගොවිතැනය. බන්දුල ද පාරම්පරික ගොවිතැනේ නිරත ගොවියෙකි. ඔහු බොහෝ ගොවීන් මෙන් සාම්ප්‍රදායික වගාවන්වල කාලයක පමණ සිට නිරත වූ ගොවි මහතෙකි. නමුත් පසුගිය වසරේ සිට නවීකරණ ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණයට වගා කටයුතු ආරම්භ කිරීමට ඔහු පියවර තැබීය. එයින් අද වන විට මෙසේ ඉතා ඉහළ ආදයමක් ලැබීමට සමත්ව සිටී.
''මම පාරම්පරික ගොවියෙක්. ගිය වසරේ සිට නවීන තාක්ෂණයට අනුව වගා කටයුතු ආරම්භ කළා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ ලංකාව පුරා ගොවීන් එකදහස් දෙසීයකටත් එයින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ගොවීන් හාරසීයකටත් මෙම වගාවන් සඳහා ලක්ෂ පහළොවක බඩු කට්ටලයක් නොමිලේ ලබා දුන්නා. ඒ අතර තවාන් දැමීම සඳහා අවශ්‍ය බීජද ලබා දුන්නා. මෙම ව්‍යාපෘතිය මීට වසර පහළොවකට පෙර ආරම්භ වුණා.'' යැයි බන්දුල මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කළ එම ව්‍යාපෘතියට බන්දුල ගිය වසරේදී සම්බන්ධ වී තිබිණි. පාරම්පරික, සාම්ප්‍රදායික ගොවිතැනින් මෙවැනි නවීන තාක්ෂණයට අනුව සිදුකරන වගා කටයුතු සඳහා මූලික දැනුමක් ලබාගැනීමට බන්දුල ඇතුළු ගොවීන්ට අවශ්‍ය විය. ඒ අනුව බන්දුල ගොවි මහතාට දින පහළොවක සංචාරයක් සඳහා තායිලන්තයට යාමට අවස්ථාව ලැබිණි. ඔහු තායිලන්තයේ පැවති නවීකරණ තාක්ෂණ වගාවන් සම්බන්ධයෙන් බොහෝ දැනුමක් මෙන්ම වටිනා අත්දැකීම්ද තම ජීවිතයට එකතු කර ගත්තේය. සාම්ප්‍රදායික වගාවන් වෙනුවට නවීන තාක්ෂණය යොදා මිරිස් වගාවන් සිදුකිරීමට ඔහු අදිටන් කර ගත්තේය. ගොවිතැනින් වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි හොඳම ක්‍රමවේදය මෙය බව තමා ලබාගත් දැනුමත් සමඟ ඔහු තුළ විශ්වාසයක් ගොඩනැගිණි.
''තායිලන්තය සංචාරය සඳහා ලංකාවෙන් පළාත් හතකින් ගොවීන් තෝරාගෙන තිබුණා. එයින් උතුරුමැද පළාතෙන් පළමු ගොවි මහතා ලෙසින් මාව තෝරාගෙන තිබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ දෙනාගේ ජීවිකාව වුණේ ගොවිතැනයි. ඊට පෙර අනුරාධපුරේ හැම කොට්ඨාසයකින්ම, හැම ගමකින්ම වස විසවලින් තොර වගාවන් තෝරාගැනීමක් සිදු කළා. මාව තේරුණේ එයින්. ඒ අනුව පළාත් හතරකින් ගොවීන් හත්දෙනකු බැගින් මේ තායිලන්ත සංචාරයට තෝරාගෙන තිබුණා.'' යැයි බන්දුල ගොවි මහතා පැවසීය.
ඒ අනුව 2016 වසරේදී බන්දුල ඇතුළු ගොවීන් පිරිසට තායිලන්තයට යාමට අවස්ථාව ලැබිණි. ඒ ගමනේ ප්‍රතිඵලයක් ලෙස ඔහු වටිනා වගා දැනුමක් ලබාගත්තේය. එම සංචාරයෙන් පසුව ඔහු නැවතත් සුපුරුදු පරිදි සාම්ප්‍රදායික වගා කටයුතු අනුව තම වගාවන් කරගෙන ගියේය. බන්දුල, ගොඩ මඩ අක්කර තිහක වගා කටයුතු සිදු කරන ගොවි මහතෙකි. ඒ වගා බිම්වල වට්ටක්කා, පැණි කොමඩු, අමුමිරිස්, ලොකු ලූනු, බඩඉරිඟු වැනි වගාවන්ද සිදු කරයි. ඒ අතරින් ගිය වසරේදී අක්කර භාගයක භූමි ප්‍රදේශයක නවීන තාක්ෂණය යටතේ අමුමිරිස් වගා කිරීම ඔහු ආරම්භ කළේය. මේ අනුව තායිලන්ත ගමනින් ලත් දැනුමත් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති අධි ඝනත්ව වගා ක්‍රමය භාවිත කරමින් බන්දුල අමුමිරිස් වගාව අක්කර භාගයක් පුරාවට ආරම්භ කළේය. මේ සඳහා ඔහු ඇතුළු තවත් ගොවීන් කිහිප දෙනෙක් එවකට කෘෂිකර්ම අමාත්‍ය ලෙසින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා මුණගැසීමට රුපියල් 20000ක වෑන් රථයක් කුලියට ගෙන අනුරාධපුරයේ සිට අමාත්‍යංශයට පැමිණියහ. ඇමැතිවරයා මුණගැසීමට දින දෙකක් ගත විය. ඒ මුණගැසීමේදී ගොවීහු එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ලියකියැවිලි ඔහුට ඉදිරිපත් කළහ. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ඔවුන්ට ඒ වගාවන් සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දී තිබිණි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ඔවුහු වගා කටයුතු ආරම්භ කළහ.
''මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ ගිය අවුරුද්දේ මම මුලින්ම අමුමිරිස් වගාව පටන් ගත්තා. එම වගාවෙන් ඉතා හොඳ ආදායමක් ලබාගත්තා. ඒ වගාව අවසන් කර නැවත මෙම වසරේ අප්‍රේල් මාසේ පටන් ගත්තා. එතැන් සිට වගා කළ අමුමිරිස් වගාවෙන් අදටත් හොඳ අස්වැන්නක් ලබාගන්නවා. අක්කර භාගයටම මූලික පොහොර කිලෝ සීයයි දාන්න ඕනෑ වුණේ. කොම්පෝස්ට් පොහොර කිලෝ දෙදහසක් එකතු කළා. සාම්ප්‍රදායික ක්‍රමයට වගා කරනවා නම් අක්කර භාගයට මූලික කිලෝ දෙසීයක් අවශ්‍ය වෙනවා.'' යැයි බන්දුල ගොවි මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට මෙවර වගාවෙන් දළ වශයෙන් අමුමිරිස් කිලෝ 25,000කට වැඩි අස්වැන්නක් ලබාගැනීමට බන්දුල ගොවි මහතා සමත් වී තිබේ. ඒ අනුව ඔහු අද වන විට අක්කර භාගයක භූමි වගාවෙන් ලද ආදායම රුපියල් ලක්ෂ 70 ඉක්මවා ගොස් ඇත. නෙලාගනු ලබන අස්වැන්නෙන් වැඩි කොටසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලබා දෙන අතර සුපිරි වෙළෙඳසල් ජාලයකින්ද ඔහුගේ අමුමිරිස් මිල දී ගනු ලබයි. වගා කටයුතු සඳහා බන්දුලට තම බිරිඳගෙන් සහ පුතුන් දෙදෙනාගෙන් උපරිම සහයෝගයක් ලැබෙන අතර අස්වැන්න නෙලන විටදී දවසේ වැටුපට කිහිප දෙනකුගේ උදව් ලබාගැනීමටද සිදුවේ. සාම්ප්‍රදායික ක්‍රමයට අක්කර භාගයක අමුමිරිස් වගාවක් සඳහා දිනකට ලාම්පු තෙල් යන්ත්‍රය යොදාගනිමින් පැය හයක කාලයක් ජලය ලබාදීමට සිදුවුවද වර්තමානයේදී නවීන තාක්ෂණ ක්‍රමයට වගාවන් සිදුකිරීමත් සමඟ අක්කර භාගයක අමුමිරිස් වගාව සඳහා දිනකට විනාඩි 45 කට වතුර බිංදු ලබාදීමේ ක්‍රමය අනුව ජලය ලබා දීම ප්‍රමාණවත් බව බන්දුල ගොවි මහතා පවසයි.
I දිශානි ජයමාලි කරුණාරත්න