අද අපි ඔබ හමුවේ තබන්නේ රට වටා ඇති මහ සයුරෙන් විපුල ඵල නෙලා ජාත්‍යන්තරය ද ජයගත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු පිළිබඳ කතා පුවතක්. ඔහු නමින් සුනිල් වනසිංහ. Western Lanka Fisheries (pvt) Ltd නම් සම්මානනීය ව්‍යාපාරය ගොඩනැගුවේ ඔහු විසින්.
Western Lanka Fisheries හරහා සිදුවෙන්නේ ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර දේශීය සහ විදේශීය වෙළෙඳපොළ සඳහා සැපයීම. විශේෂයෙන්ම ලෝව පුරා විශාල රටවල් ප්‍රමාණයකට මුහුදු ආහාර අපනයනය කරන්න මේ ආයතනය කටයුතු කරනවා. කොහොම නමුත් මේ ව්‍යාපාරය වසර 21 කට ආසන්න කාලයක් හිමින් සීරුවේ ගොඩනැගුවේ සුනිල් වනසිංහ මහත්මයා. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.
1981 දී සිය උපාධිය සම්පූර්ණ කළ වනසිංහ මහත්මා තෝරගන්නෙ ධීවර ක්ෂේත්රයේ රැකියාවක්.
“උපාධිය අවසන් කරලා ධීවර අමාත්‍යංශයේ කළමනාකරණ පුහුණුවට සම්බන්ධ වුණා. පසුව ධීවර අමාත්‍යංශය තුළ කළමනාකරන වෘත්තීන්වල නිරත වුණා. ඒ අනුව ධීවර ක්ෂේත්රයට අදාළව රාජ්‍ය අංශයේ වසර විස්සක් පමණ මම සේවය කළා."
කලින් කලට වෙනස් වුණු රාජ්‍ය ප්‍රතිපත්ති, ඉලක්කගත වැඩපිළිවෙළක් නොවීම ආදී බොහෝ කරුණු නිසාම තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගාගත යුතු බව මේ අතර කාලය තුළ සුනිල් වනසිංහ මහත්මා විශ්වාස කරන්න පටන්ගෙන තිබුණා. ඒ අනුව අවසානයේ ධීවර සංස්ථාවේ මෙහෙයුම් කළමනාකරු ලෙස කළ රැකියාවට ඔහු සමුදෙන්න තීරණය කළා.
“අතේ ඉතිරි කරගෙන තිබුණු මුදලක් භාවිත කරලා බොහොම සුළුවට තමා මේ ව්‍යාපාරය ආරම්භ කළේ. මට ලොකු ආසාවක් තිබුණා අපනයන ක්ෂේත්රයේ කර්මාන්තයක් ආරම්භ කරන්න. 2002 දී තමා මේ ව්‍යාපාරය ගොඩනගන්න මම පටන් ගත්තේ."
පසුගියදා නිමාවුණු ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල-2023 හීදී රන් සම්මානයකටත් බඳුන් වන්නේ ඔහු මෙලෙස ආරම්භ කරපු ව්‍යාපාරයයි.
“අපි මුලින්ම මුහුදු කකුළුවෝ අරගෙන ඒක ප්‍රොසෙස් කරලා කොරියාවට අපනයනය කළා. අපි මීට අමතරව තවත් මුහුදු ආහාර වර්ග නිෂ්පාදනය ආරම්භ කළා. ක්‍රමයෙන් අපනයන පුළුල් කරන්න කටයුතු කළා."
මේ වන විට ලෝකයේ ඕනෑම රටකට ශ්‍රී ලංකාවේ තිබෙන ඕනෑම මුහුදු ආහාර වර්ගයක් යැවිය හැකි ආයතනයක් බවට Western Lanka Fisheries පත්වෙලා තියෙනවා.
“අපිට දවසකට අපනයනයට ක්ෂේත්රයට බොහොම ලේසියෙන් මෙට්‍රික් ටොන් 12ක් විතර යවන්න පුළුවන්. උපරිමය මෙට්‍රික් ටොන් 15 ක්. අපි මෑතකදී ආරම්භ කළා මත්ස්‍ය නිෂ්පාදන ටින් කිරීමේ ව්‍යාපාරයක්. අපිට එය හරහා දවසකට කෑන් 9000 ක් හදන්න පුළුවන්."
මෙම නව ව්‍යාපෘතිය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ ද සහයෝගය ලැබී තිබෙනවා.
“අපේ කර්මාන්ත ශාලාව පිහිටලා තියෙන්නේ ජාඇළ පමුණුගම. EU ස්ටෑන්ඩට් ඇතුළුව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුව තමා අපි නිෂ්පාදන සිදු කරන්නෙ. දැනට අසූවක් විතර සේවකයෝ සේවය කරනවා. කෑනින් ෆැක්ටරි ඒකේ උපරිම ධාරිතාවත් එක්ක තව 45ක් විතර අපිත් එක්ක එකතු වේවි."
යුරෝපය, මැදපෙරදිග, ඇමෙරිකා එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව, කොරියාව, චීනය, ජපානය, තායිවානය, ඉන්දියාව ඇතුළු රටවල් විශාල ප්‍රමාණයකට Western Lanka Fisheries අපේ රටේ මුහුදු ආහාර අපනයනය කරමින් සිටිනවා.
කෙසේ වෙතත් වනසිංහ මහත්මා සඳහන් කරන ආකාරයට වර්තමාන තත්ත්වය දක්වා ව්‍යාපාරය ගොඩනැගීම දීර්ඝ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රතිඵලයක්.
“මේ සඳහා දැනුම තමා ප්‍රධානම. දැනුම නැතුව මේ වගේ ව්‍යාපාරයක් ගොඩනගන්න බැහැ."
ඔහු සඳහන් කරන ආකාරයට ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ධීවර ක්ෂේත්රය තුළ ලද අත්දැකීම් සහ දැනුම විශාල වශයෙන් උපකාරී වී තිබේ.
පසුගිය වසර 21 ක පමණ කාලය තුළ අභියෝග රුසක් ජය ගැනීමට ඔහුට සිදුවී තිබේ.
“එක් අවස්ථාවකදී ඇමෙරිකානු මිලදී ගන්නෙක් මුදල් නොගෙවා පැහැර හැරියා. මුදලින් ලක්ෂ 350ක් විතර. ඒ අවස්ථාවේදී අපි සෑහෙන්න අපහසුතාවයට පත්වුණා. නමුත් වැඩේ අතාරින්නෙ නැතුව දිගටම කටයුතු කළ නිසා, නැඟිටින්න පුළුවන් වුණා."
මෙවන් අභියෝග රුසකට ඔහු මුහුණ දීලා තියෙනවා. දින 52 ආණ්ඩුව මාරුවේ සිට පිළිවෙළින් සිදුවූ පාස්කු ප්‍රහාරය, මැතිවරණය, කොවිඩ් වසංගතය ආදී අවස්ථාවල නොසැලී සිටීම වර්තමාන සාර්ථකත්වයේ රහස බව වනසිංහ මහතා පෙන්වා දෙනවා.