2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

කැලෑවෙන් වැසුණු කොටියාගල ’’සීගිරිය’’

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 144

බොහෝ දෙනකු නොදන්නා යාල වනයට යාබදව පිහිටි විශිෂ්ට බිතුසිතුවම් සහිත ස්ථානයක් ගැන පුරාවිද්‍යා පර් යේෂක අරුණ ශාන්ත නව මතයක් ඉදිරිපත් කර සිටී. මොණරාගලින් සියඹලාණ්ඩුව මාර්ගයේ කි.මී. 43ක් දුරින් පිහිටි කොටියාගල ගම්මානයට පිවිසෙන්න පුළුවන. එතැන් සිට තවත් කි.මී. 10ක පමණ දුරක් ගෙවා ගම්මානය මැදින් වනය හරහා මයිල්ල ලෙන් විහාරයට ළඟා විය හැකියි.

මොණරාගල දිස්ත්‍රික්කයට අයත් යාල වනෝද්‍යානයට යාබද ප්‍රදේශයක පිහිටා තිබෙන විශිෂ්ට සිතුවම් සහිත අනුරාධපුර යුගයේ මුලින්ම ඇරඹුණු පූජනීය ස්ථානයකි. දුෂ්කර මාර්ගයක ගමන් කළ යුතු නිසා සෆාරි ජීප් රථයක්, ට්‍රුක්ටරයක් හෝ යතුරු පැදියක තමයි ගමන් කළ යුතු වන්නේ. 1967දී පුරාවිද්‍යා ඕවර්සියර් කෙනකු වන එම්.එච්. මාර්ෂල් විසින් දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසුව මේ ගැන පිටත ලෝකයට කරුණු හෙළිදරව් විය. තරමක් උස්වූ කඳු මුදුනක් මත පිහිටා ඇති මෙම භුමිය වටාම විශාල පෙදෙසක මයිල ගස් වැවී ඇති බව මෙම ස්ථානයක් පිවිසෙන අයට දැකගත හැකිය. ගැමියන් පවසන්නේ මෙම පෙදෙස මයිලපිටිය නමින් හඳුන්වන බවයි.

මෙහි කටාරම් කෙටූ ලෙන දිගින් අඩි 73ක්ද පළලින් අඩි 42ක්ද වේ. එක් ගල්ලෙනක සැතපෙන බුද්ධ ප්‍රතිමාවකි. මෙම සැතපෙන පිළිමය අනුරාධපුර යුගයට අයිති අතර ගඩොල් සහ මැටිවලින් බැඳ හුණු බදාමයෙන් කපරාරු කර තිබේ. නිදන් හොරුන්ගේ අතවර නිසා ප්‍රතිමාවේ ඇතැම් කොටස් විනාශ වී ගොසිනි. පර්වතය මුදුනෙහි දාගැබක් පැවති බවට සාධකද හමුවේ. නිදන් හොරුන් විනාශ කළ එම දාගැබේ තිබී ගැලවුණු ඡත්‍ර ගල ලෙනෙහි පිළිමය අසල දක්නට පුළුවන.

මෙම විහාරයේ ඉතාම වැදගත් කොටස වන්නේ ලෙන් විහාරයේ වියනේ පවතින ඉපැරණි බිතු සිතුවම්ය. බුදුරුවට ඉහළින් ලෙන් වියනෙහි රතු පසුබිමෙහි මල් රටාවන් සහ ඇත් රූප සිතුවම් කර තිබේ. අතීතයේ මේ සම්පුර්ණ ලෙන් වියනම සිතුවම්වලින් පිරී පැවතුණි. විවිධ මල් රටා, සීගිරි ළඳුන්ට සමාන කාන්තා රූප, මානව රූප සහ සත්ත්ව රූපද මෙහි දැකගත හැකියි. මහාචාර්ය සේනක බණ්ඩාරනායක පවසන්නේ මේ සිතුවම් 5-7 සියවස්වලට අයත් බවයි. මෙම සෑම සිතුවමක්ම  ඉතා අනර්ඝ ලෙස නිමකර ඇති   බව පුරාවිද්‍යාඥ ආචාර්ය රාජාද සිල්වාගේ නිගමනයයි. මෙම සිතුවම් අනුරාධපුර යුගයට අයත් 4-5 යන සියවස් කාලයේදී නිර්මාණය කර ඇති බව ඔහු විසින් පෙන්වා දී තිබේ. උසස් වූ කුසලතාවයකින් යුක්ත චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණයන් ලෙස මේවා සැලකිය හැකිය.

ඔහු මේ සිතුවම් ගැන මෙසේ සඳහන් කර තිබේ.

''චිත්‍රාත්මක අවකාශය මේ තරම් ප්‍රසන්න අන්දමට නිරූපණය කිරීමේ ඉහළ සාධන තත්ත්වයකට පත්වීම සඳහා මෙම කලාවේ සංවර්ධනයට දීර්ඝ කාලයක් ගතවන්නට ඇති බව පෙනේ. මෙම සිතුවම් පුළුල් වශයෙන් 3-4 සියවස්වලට අයත් කළ හැකිය. එම අවදිය වූ කලී ඉතා ආදි වර්ගයේ දාගැබ් නිර්මාණය මෙරට පැවති සමයකි.'' රාජා ද සිල්වා, ඉතාලි ජාතික ලුසිනානෝ මරන්සි සහ සිල්වියා පෙරිසෝ විසින් 1980 දී මෙම සිතුවම් සංරක්ෂණය කර තිබේ. 

බොහෝ දෙනාගේ ඇසින් ඈත්ව පිහිටි කොටියාගල ලෙන් සිතුවම් මෙරට බිතුසිතුවම් කලාවේ පරිණාමය විමසීමේදී වටිනා උදාහරණ සපයයි. මේ ගැන පර් යේෂණ කළ පුරාවිද්‍යා ගවේෂක අරුණ ශාන්ත කොටියාගල ගැන සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම කෘති ලියා තිබේ. ඔහු මේ සිතුවම්වල කාලනිර්ණය ගැන දරන්නේ පුළුල් මතයකි. මේ  අරුණ ශාන්ත සිතුවම් ගැන දක්වන අදහස්ය: ''අවදි තුනකට අයත් චිත්‍ර මෙහි තිබෙනවා. පළමුවෙනි අවදිය ක්‍රි.ව.6-8 සියවස්වලට අයත් වෙනවා. ඊළඟට තවත් කොටසක් තිබෙනවා ඒ කාලෙටම අයිති ප්‍රාථමික ලක්ෂණ පළකරන සිතුවමක්. අලියකු සහ මල් මෝස්තර කිහිපයක් එයට අයත්. ප්‍රධාන ලෙන් පිළිමගෙට තවත් කොටසක් එකතු කර තිබෙනවා 10-11 සියවස්වල. එහි පොළොන්නරු යුගයට ආසන්න කාලයට අයත්වන සිතුමක් දැකගත හැකියි. මේවා දිඹුලාගල පුල්ලිගොඩ සිතුවම්වල කාලයට අයත් කළ හැකියි. එහි නිරූපණය කර තිබෙන්නේ ලෝකුඹු නිරයයි.

වියන මැද තිබෙන සිතුවම තමයි වැදගත්ම වන්නේ. මධ්‍යයේ මණ්ඩපයක බෝධිසත්ව යුවළ සිටිනවා. සේවක සේවිකාවන්ද දැකගත හැකියි. මේ පද්මපානි අවලෝකිතේශ්වර රූපයක් සහ ඔහුගේ දේවියයි. බෝධිසත්වයන් සිටින්නේ අතේ නෙළුම් මලක් දරාගෙනයි. මේ විමානය වටා තිබෙන්නේ ජලාශ්‍රිත මනංකල්පිත පරිසරයක්. නෙළුම් කොළ අතර සැඟව සිටින ඇලිඇතුන්, දිය නයි, ඉබ්බෝ, ගෙම්බො, මුවා වැනි සතුන් දැකගත හැකියි. මේක ආකර්ශනීය සත්ව නිරූපණයක්. බෝධිසත්ව මණ්ඩපයට වම් පැත්තේ අසරුවෙක්ද සිටිනවා. නෙළුම්මල් කඩන දෙවඟනන්ද ඇඳ තිබෙනවා. 

අපට මේවාට සමාන මූර්ති සහ වටපිටාවක් ඉසුරුමුණියෙදීත් දැකගත හැකියි. ඉසුරුමුණිය මේ සිතුවමින් නිරූපිත පරිසරයේ ජිවමාන සංකේතයක්. පොළොන්නරුව කුඩාගල ලෙන, ශාස්ත්‍ර‍ෙවල මණිනාග පබ්බත විහාරය යන තැන්වලත් මෙයට සමාන සිතුවම් තිබෙනවා.  ඒ අනුව අපට කිවහැක්කේ මේ සිතුවම එකල ජනප්‍රිය තේමාවක් වශයෙන් පැවති බවයි.''

එක් තැනක වෘත්තාකාර හැඩ මෝස්තරද අලියකුගේ රූපයක්ද දැකිය හැකියි. ඒ සඳහා භාවිත කර ඇත්තේ රතු හා සුදු පාට පමණි. රතු වර්ණයේම ප්‍රභේදයක් ඒ සඳහා භාවිත කර තිබේ. එම සිතුවම ප්‍රාථමික ලක්ෂණ පළකරන බව අරුණ ශාන්තගේ අදහසයි. ඉතා සියුම් රේඛාවන්ගෙන් විසිතුරු කළ අලංකාර මානව රූප රිද්මයානුකූලයි.  චිත්‍ර පරීක්ෂා කිරීමේදී සීගිරි අප්සරාවන්ට බෙහෙවින් සමාන රූපයක් දැකගත හැකියි. සීගිරි චිත්‍රවල මේ වනවිට අපට දැකගත හැකි වන්නේ සීගිරි අප්සරාවන්ගේ උඩුකය රූප වුවත් මෙහි සම්පූර්ණ කාන්තා රූපය නිරූපණය වේ. මෙම විහාරයේ ඇති චිත්‍රවල අනෙක් වැදගත් කරුණ ශීර්ෂාවරණය, ඔටුන්න, ග්‍රීවාභරණ, හස්තාභරණ, වස්ත්‍ර ආදියේ ඇති සියුම් රේඛායි. මෝස්තර සිතුවම් සඳහා වෘක්ෂලතා පුෂ්පයන් ලියවැල් සහ හංසයන් ආදිය උපයෝගී කරගෙන ඇත.

විහාරයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ සැතපෙන බුදු පිළිමයයි. එය ලෙන පිරෙන තරමට විශාලත්වයකින් යුක්තය. සැතපෙන පිළිමය පිහිටි ලෙනට යාබදව පසුකාලීනව ඉදිකළ විහාරගෙයි ගඩොල් බිත්තියේ සිතුවම් කොටස් කිහිපයකි. අනුරාධපුර යුගයේ සම්භාව්‍ය ශෛලිය පොළොන්නරු යුගයේ නව සම්භාව්‍ය ශෛලියට මාරුවන අවස්ථාවක් ලෙස මෙම සිතුවම් සැලකිය හැකිය.

රුහුණේ ඇති පැරණිම සිද්ධස්ථානවලින් එකක් වන මයිල්ල පර්වත රජමහා විහාරය අනුරාධපුර යුගයට අයත් පෞරණික සිද්ධස්ථානයකි. එම යුගයට අයත් සැතපෙන බුදුපිළිම වහන්සේ නමක් අද වනවිට වැඩසිටීම විශේෂිත වූවකි. ගඩොල්වලින් මෙන්ම මැටි බදාම ආදිය යොදාගනිමින් ඉතා විශිෂ්ට අන්දමින් මෙම පිළිම වහන්සේ නිර්මාණය කර ඇති අතර සිවුර ඇඟට ඇළුණු සජීවී ස්වභාවයක් මෙයින් පෙන්නුම් කෙරේ.

I කුසුම්සිරි විජයවර්ධන