2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

පේටන්ට් ලැබූ අඟල් බාගේ මරුකවා බන්ධන

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 204

 තිලකරත්නගේ ලොව දිනන සිහිනය 

මෙය අභියෝග රැසක් හමුවේ පීඩිතව තවමත් සටන අත නොහැර සිටින අපූරු නව නිපැයුම්කරුවකුගේ කතාවක්. ඔහු නමින් එච්. තිලකරන්න. තිලකරත්න මහත්මයා මේ වන විටත් පේටන්ට් බලපත්‍ර කිහිපයකට හිමිකම් කියන, ලංකා තුළ සම්මානයට පාත්‍ර වුණු සම්මානනීය ව්‍යවසායකයෙක්.

ඔහුගේ ව්‍යාපාරය සිමෙන්තියෙන් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය. ඔහු ව්‍යාපාරය නම් කරලා තියෙන්නේ "මරුකවා" කියන නමින්. ඇත්තෙන්ම ඔහු මෙවැනි නිර්මාණකරුවන්ගෙන් වෙනස් වෙන්නෙ මේ වන විට ඔහු භාවිත කරන සුවිශේෂී තාක්ෂණය නිසා. ඔහුගේ කතාව බොහෝම වෙනස් බව පළමුවෙන්ම සඳහන් කරන්න ඕනෑ. 88 – 89 භීෂණ සමයේ තිලකරන්න කියන්නෙ නාඹර තරුණයෙක්. ඔහු විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. එකල වෙනස් මත දැරීම නම් වරද හේතු කොටගෙන මේ තරුණයා සිරගත වෙනවා. 

කොහොම නමුත් මේ දෛවෝපගත දඬුවම හේතුවෙන් ඔහුගේ ජීවිතයට තවත් මාර්ගයක් විවෘත වුණා. රුඳවියන් විසිහතර දහසක් අතුරින් නව නිර්මාණකරණ කුසලතාවය නිසාම සිරගත ජීවිතයේදී ඔහු ඇගයීමට ලක් වුණා. එහි ප්‍රතිඵලයක් විදියට තිලකරත්න මහතා හට ජපන් ශිෂ්‍යත්වයක් හිමිවෙනවා. අත්දැකීම් ගොන්නක් එකතු කරගෙන ජපානයේ සිට ලංකාවට ආ ඔහුගේ ජීවිතය සුව පහසු එකක් වුණේ නෑ. ජීවිතය දිනන්න ආරම්භ කරපු පැළ තවාන වගේම මැටි භාණ්ඩ අලෙවි සලත් විවිධ පිරිස්වල බාධා කිරීම් මත අසාර්ථක වෙනවා.

“මැටි භාණ්ඩවලට විකල්පයක් විදිහට තමා මම මේ තාක්ෂණය හොයාගත්තෙ. ඒ කාලේ ගල් කුඩු කියන්නෙ අපද්‍රව්‍යයක්. ඒ සඳහා විසඳුමක් විදිහට තමා මම මේ නිෂ්පාදන ආරම්භ කළේ. ඒ කාලේ ගල් කුඩු ගල් මෝල්වලින් නිකම් පටවලා දුන්නේ."
1993 පමණ කාලයේදී තමා ඔහු මේ අලුත් නිෂ්පාදනය සඳහා පෙළඹිලා තියෙන්නේ. වෙනස් මත දැරීම හේතු කොටගෙන නිර්මාණය වූ මැටි භාණ්ඩ වෙළෙඳසල සම්බන්ධ අරමුදල මෙම විකල්පය සොයා යාමට හේතුවක් වූ බව ඔහු පවසනවා.

“ඉස්සෙල්ලාම සිමෙන්ති හා ගල්කණු මිශ්‍රණයෙන් හැදුවේ ලොකු වාස් එකක්. ඒකේ අච්චුව හදන්න ගියේ මට රුපියල් 75ක් වගේ පොඩි මුදලක්. මගේ පරණ සරමක් ඉරලා සිමෙන්ති ගාලා තමා ඒ අච්චුව හැදුවේ. පස්සේ පොළොවේ වළක් කපලා අච්චු හැදුවා. තාමත් ඒ දේවල් තියෙනවා."

මෙම වෙනස් නිර්මාණ ක්‍රමයෙන් ප්‍රචලිත වන්නට පටන්ගෙන තියෙනවා. මේ වෙනස පිළිබඳව එවක කෑගල්ලේ හිටපු පත්තර වාර්තාකරුවකුගේ අවධානය යොමුවූ බව තිලකරත්න මහතා සිහිපත් කරනවා.

“එයා තමා මාව පෙළඹුවේ පේටන්ට් බලපත්‍රයක් අරගන්න. ඔයා මේ දිනවලට යන්න කියලා කිව්වා."

එම පෙළඹවීම තමන්ට විශාල සවියක් වූ බව තිලකරත්න මහතා ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. රොෂාන් සහ බන්දුල යන වාර්තාකරුවන් තමන්ට විශාල සවියක් වූ බව ඔහු අදත් පවසනවා.

“කොන්ක්‍රීට් අඟල් 2ක විතර එකක් අපි අඟල් කාලට ගෙනල්ලා තියෙනවා. අඩු වියදමින් ශක්තිමත්ව ගෙයක් හදන්න තමයි මම මේ තාක්ෂණය ඉදිරිපත් කරලා තියෙන්නේ. දැනට මේ තාක්ෂණය හරහා මම නිර්මාණය කරන්නේ විසිතුරු භාණ්ඩ."
ඒ අනුව සිමෙන්තිවල ශක්තිය වැඩි කිරීම සඳහා වන පේටන්ට් බලපත්‍රයක් තිලකරන්න මහතාට ලැබිලා තිබෙනවා. ඒ නිසාම මරුකවා ආයතනයේ නිෂ්පාදනය කරන විසිතුරු භාණ්ඩ බොහොම ශක්තිමත් ඒවා. වගකීමක් සහිතව තමයි මේ විශේෂ නිෂ්පාදන මරුකවා අලෙවි කරන්නෙ. 

“2019 නව නිපැයුම් කොමිසම සංවිධානය කරපු "සහසක් නිමැවුම්" තරගාවලියේ රන් සම්මානය දිනාගන්න අපිට හැකි වුණා. එතැනදී සිද්ධ වුණේ නව නිපැයුම් නිෂ්පාදන ප්‍රමිතිය අගය කිරීම."

ඒ අනුව තිලකරත්න මහත්මාගේ නිෂ්පාදන සියල්ල ප්‍රමිතිය සහ වාණිජ වටිනාකමකින් යුතු නිෂ්පාදන බවට ශ්‍රී ලංකා රජය විසින් ප්‍රමිතිගත කරලා තියෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම ලෝකයේ ඕනෑම රටක් පිළිගන්නා එකක්.

ඇත්තෙන්ම මේ වන විට අතරමැදියන් මරුකවා නිෂ්පාදන ලෝකයේ වෙනත් රටවල් වෙත යැවීම පවා සිදු කරමින් ඉන්නවා. ඒත් තම නිෂ්පාදන වෙළෙඳපොළ ඍජුව ජය ගැනීමට අදට බොහෝ බාධා ඇති බව තිලකරන්න මහත්මා සඳහන් කළා.
“රුපියල් ලක්ෂ 20 ක ආධාරයක් එකක් ලැබෙන්න තියෙනවා. තාම ඒ ලැබිල නැහැ. ලැයිස්තුවේ ඉන්නවා. ඒ වගේම අපේ නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කරන්න උපකරණ අපිට අවශ්‍යයි, ලැබෙන මුදලින් උපකරණ ගැනීමේ අපේක්ෂාවෙන් අපි ආයතනය පුළුල් කළා. දැන් විශාල කර්මාන්ත ශාලාවක් ඉදිකර තිබුණත් අපි සතු උපකරණ නැහැ.‍

තිලකරත්න මහතා උපකරණ මිලදී ගැනීමට යොදාගෙන සිටි මුදල්, ආයතනික වපසරිය පුළුල් කිරීම සඳහා යෙදීමට පොළඹවා ඇත්තේ බලධාරීන් බව පෙනී යනවා. 

“ජපානයේ පුහුණු වෙච්ච කෙනෙක් විදියට මගේ නිෂ්පාදන ප්‍රමිතිය ඉහළ මට්ටමක තියෙනවා. ඒ නිසා ඒ අයට ඕන වුණේ මගේ නිෂ්පාදන අපනයනය කරන තත්ත්වයට පත් කරන්න. මේ වෙනකොටත් අතරමැදියන් හරහා ඇමෙරිකාව, නොර්වේ, ජර්මන් වගේ දියුණු රටවල්වලට යවලා තියෙනවා."

කෙසේ වෙතත් තමන්ගේම අපනයන ක්‍රමවේදයක් සකසා ගැනීමට අවශ්‍ය සහයෝගය තිලකරත්න මහතාට බලධාරීන් විසින් තවමත් ලබා දී නැහැ. ඒ නිසාම පසුගිය කාලයේ කොවිඩ් වසංගතය ඇතුළු අභියෝග රැසක් හමුවේ පීඩාවට පත්වෙන්න ඔහුට සිද්ධ වුණා. කොන්ක්‍රීට් මිශ්‍රණයෙන් නිපදවූ මේස, පොත් රාක්ක ඇඳන් ඇතුළු නිපැයුම් රැසක් ඔහුගේ නිවසේ දැකගත හැකියි.

“දැන් මට අවශ්‍ය මේ දේ පිළිබඳව උනන්දුවක් තියෙන, විදේශීය වෙළඳපොළට යන්න පුළුවන් අයව සම්බන්ධ කරගෙන ඉස්සරහට යන්න. මම එවන් අයට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මොන තරම් බාධා ආවත් මේ වැඩේ අත නොහැර ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ."