2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

හොර වෙද්දු වෙන්න යන හරි වෙද්දු

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 75

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාවිත කරන විශාල පිරිසක් අප රටේ සිටිති. සමහර විදේශිකයෝ ද ලංකාවේ දී ආයුර්වේද ප්‍රතිකාර ලබා ගනිති. රජයේ ආයුර්වේද රෝහල් සහ බෙහෙත් ශාලා මගින් මෙන්ම පෞද්ගලික බෙහෙත් ශාලා මගින් ද මෙසේ ප්‍රතිකාර ලබා ගනිති. බටහිර ඔසුවලින් ගුණ ලබාගැනීමට අපහසු සන්ධි රෝග, සමහර ස්නායු රෝග මෙන්ම කැඩුම් බිඳුම් සඳහා ද තවමත් බොහෝ දෙනකුට පිහිටට එන්නේ ආයුර්වේදයයි. රෝගියා ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමට යන්නේ වෙද මහතා ගැන ලොකු විශ්වාසයකිනි. අතුරු ආබාධ නැති වෙදකමක් කර ගැනීමටය. නමුත් පසුගියදා වාර්තා වුණු පුවතකින් එම විශ්වාසය පළුදු වන තොරතුරක් අපට අසන්නට ලැබුණි. ඒ ආයුර්වේද වෛද්‍යවරු 18516ක් සිය ලියාපදිංචිය අලුත් කිරීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ ආයුර්වේද වෛද්‍ය සභාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ සඳහන් වීමය.

ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරයකුට ජනතාවට ප්‍රතිකාර කිරීමට නීතිමය අයිතියක් නැත. නමුත් ඔවුන් අතරින් බහුතරයක් දෙනා ලියාපදිංචි නොවුණ ද ප්‍රතිකාර කිරීම නම් සිදු කරති.

ආයුර්වේදයේ ආරම්භය පිළිබඳ විවිධ මත පවතින අතර වඩාත් පුළුල්ව පිළිගත් මතය වන්නේ ඉපැරණි උත්තර භාරතයේ (උතුරු ඉන්දියාවේ) වේද යුගයේ දී ආරම්භ වී මුඛ පරම්පරාගතව රුගෙනවිත් පශ්චාත් වේද යුගයේ වඩාත් දියුණු විද්‍යාවක් බවට පත් වූ බවයි. ඒ අනුව ආයුර්වේද වෙදකම අවුරුදු 5000ක් තරම් පැරණිය. ස්වභාවික ඖෂධ පමණක් උපයෝගී කර ගන්නා නිසා සමහර බටහිර ඔසු මෙන් අසාත්මිකතා හෝ අහිතකර ප්‍රතිවිපාක නැත.  

අප රටේ බටහිර, ආයුර්වේද හා හෝමියෝපති යන ලංකාවේ පිළිගත් වෛද්‍ය ක්‍රම තුන සඳහා වෛද්‍යවරු ලියාපදිංචිය සිදුවන්නේ ඒ ඒ වෛද්‍ය සභා තුන හරහාය. ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු සංඛ්‍යාව 26650කි. 
සෑම ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකුම වසර පහකට වරක් සිය ලියාපදිංචි අලුත් කරගත යුතු නමුත්, ආයුර්වේද වෛද්‍ය සභාව ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කර නැතැයිද විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර 2022 දී සහ 2021 දී ලියාපදිංචිය අලුත් කළ යුතු වෛද්‍යවරුන් 430 කට අදාළ අලුත් කිරීමේ ගාස්තු ලෙස රු. 795600 ක මුදලක් ආයුර්වේද වෛද්‍ය සභාව ගණනය කර තිබුණි. නමුත් එම ආදායම් එකතු කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබූ බවත් ජාතික විගණන කාර්යාලය සඳහන් කර සිටී.

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු අතරින් 3827ක් මියගොස් ඇති බවට වාර්තා කර තිබූ නමුත් එම මියගිය පාරම්පරික වෛද්‍යවරුන් පිළිබඳව නිවැරදි තොරතුරු යාවත්කාලීනව ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ බව පවසන විගණන කාර්යාලය මියගිය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අවලංගු කර ඒ පිළිබඳව මහජනතාවට නිවේදනය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ බව ද සඳහන් කරයි. භයානකම පැත්ත එයයි. විගණන වාර්තාවේ සඳහන් වන්නේ ජීවතුන් අතර නොසිටින වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි සහතික අවභාවිත කිරීමේ ඉඩකඩක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවයි. 

මේ ගැන දේශයට අදහස් දැක්වූ රජයේ ආයුර්වේද විශේෂඥ නිලධාරින්ගේ සංගමයේ ලේකම් ධම්මික ලොකුගමගේ- ''ආයුර්වේද වෛද්‍යවරු ලියාපදිංචිය අලුත් කර ගන්නවාද කියල ඔවුන්ම තමයි තීරණය කළ යුත්තේ. එය මුදල් ගෙවා ලබාගත යුතු ලියාපදිංචියක්. ආයුර්වේද වෛද්‍ය සභාවෙන් අයදුම්පතක් ලබාගෙන පුරවා ඉදිරිපත් කළ යුතුයි. අවුරුදු පහක් ගතවන විට බොහෝවිට සමහර වෛද්‍යවරුන්ට අමතක වෙනවා ලියාපදිංචිය අලුත් කරගත යුතු දිනය. එම දිනය යාවත්කාලීන කරගැනීමට මතක් කිරීමක් කිරීමේ වැඩපිළිවෙලක් ආයුර්වේද සභාවෙන් ක්‍රියාත්මක වෙනවා, නම් වෛද්‍යවරුන්ට ලොකු පහසුවක් වෙනවා. දැන් අපට බැංකුවලින් ඒටීඑම් කාඩ්පත් අවලංගු වන දිනය ළංවන විටම කෙටි පණිවුඩයකින් දැනුම් දෙනවා. එවැනි තාක්ෂණික උපක්‍රමයක් ඉදිරියේ දී හෝ නවීන තාක්ෂණය භාවිත කර ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එවිට වෛද්‍යවරුන්ට මෙන්ම ආයුර්වේද වෛද්‍ය සභාවටත් පහසුයි. එමෙන්ම මෙහිදී යම්කිසි සහන කාලයක් ද නැවත ලියාපදිංචිය අලුත් කර ගැනීමේදී ලබාදිය යුතුයි. 
ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරු ලියාපදිංචියේ ගැටලුත් පවතිනවා. ලියාපදිංචිය සිදුවන්නේ වෛද්‍ය උපාධි සහතිකය පරීක්ෂා කරමින්. පාරම්පරික වෛද්‍යවරු ලියාපදිංචි කිරීමේදී හඳුනා ගැනීමේ ක්‍රම කිහිපයක් භාවිත කරනවා. දැනට විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්, උපාධිධාරී වෛද්‍ය නිලධාරින් සහ පාරම්පරික වෛද්‍යවරු (විශේෂ වෛද්‍යවරු) ලියාපදිංචි කරන්නේ එකම ලේඛනයේ.''  

ආයුර්වේද වෛද්‍යවරු ලියාපදිංචිය සිදුවන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ පවතින ආයුර්වේද වෛද්‍ය සභාවේය. එය නියාමන ආයතනයකි. 1961 අංක 31 දරන ආයුර්වේද පනතෙහි විධිවිධානවලට අනුකූලව ආයුර්වේද ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනය ඇතිකිරීමට අවශ්‍ය දැනුම, කුසලතාව හා පළපුරුද්ද සහිත ආයුර්වේද වෛද්‍යවරු සඳහා නෛතික අවසරය පිරිනැමීම සහ වෘත්තියේ ගරුත්වය සහ ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම එහි අරමුණ වේ. කෙසේ වුවත් මෙසේ මූලික නීතිමය කරුණු පවා මඟහැරෙන විටක ගුණාත්මක ආයුර්වේද වෛද්‍ය සේවයට බාධා ඇතිවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

I කුසුම්සිරි විජයවර්ධන