මෝගල් අධිරාජ්‍යයේ හමුදා සොල්දාදුවන්ගේ කුසගිනි නිවන්න බත්වලට මස් එකතු කර සැකසූ ආහාරයකි බිරියානි. එදා දකුණු ඉන්දියාවෙන් හඳුන්වා දුන් මේ කියන බිරියානි අද වනවිට ආසියාවේම සුවිශේෂී කෑමකි. එහෙත් මේ කියන්නට යන්නේ බිරියානි තරමට රස නැති කතාවක් වන්නට පුළුවන. එහෙත් ඒ කතාව සොයා බත්තරමුල්ල කඩුවෙල මාර්ගයේ ගමන් කරමින් ඉදිරියට ගිය අපි මාලබේ ප්‍රදේශයේ මාර්ගයක් අසල පුටුවක් තබාගෙන හිඳගෙන සිටින සුවිශේෂී පුද්ගලයකු දුටුවෙමු. කඩවසම් තරුණයකු බඳු ඔහු කළු පැහැති උපැස් යුවළක් පැළඳ සිටියි. ඔහු අසලින් විදෙස් ජාතික තරුණියකි. කෑම පාර්සල් කිහිපයක්ද මේසයක් මත තබා තිබේ. එකිනෙකට වෙනස් වූ සිද්ධි දාමය දුටු අපි ඒ දෙස මඳක් බලා සිටියෙමු.
ඔහු නමින් මනීෂ මදවනආරච්චි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ග්‍රාමයේ උපන් පුංචි මනීෂ ශිෂ්‍යත්වය වන තෙක් පාසල් ගියේ තංගල්ල ප්‍රාථමික විද්‍යාලයටය. ශිෂ්‍යත්වය සමත් වූ මේ පුංචි පහේ හපනා කොළඹ අශෝක විද්‍යාලයට ඇතුළු වීමට වරම් ලබා සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවේය.
සා.පෙළින් පසු 1997 දී උසස් පෙළ විභාගය තෙක් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. පාසල් කාලයේ පටන් ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවට දස්කම් දැක්වූ මනීෂ ඉන්පසුව ශිෂ්‍යත්වයක් ලබා රුසියාවට ගොස් වසර 13 ක් රුසියාවේ විවිධ රුකියාවල නිරත විය. ඒ අතරතුර වසර 9 ක් ඇතුළත රුසියාවේදී මොස්කව් පවර් ඉංජිනියරින් ආයතනයෙන් පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන් විද්‍යාවේදී උපාධියත් (BSC), ග්‍රුෆික් ඩිසයින් සහ වීඩියෝ සංස්කරණය සම්බන්ධයෙන් විද්‍යාපති උපාධියත් (MSC), ශබ්ද ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධියත් (PHD) හිමිකර ගැනීමට ඔහු සමත් විය. ලංකාවේ සිට දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදය ඔස්සේ ඔහු ආචාර්ය උපාධිය අවසන් කළේ 2006 දීය.
මනීෂට දෛවයෝගයකින් මුණගැසුණු ඔහුගේ ආදරණීය බිරිය ස්වෙතානා රුසියානු තරුණියකි. ලංකාවට පැමිණි ස්වෙතානා යළි රුසියාව බලා පිටත් වන්නට සිතුවද ගුවන් යානය මගහැරී නියමිත දිනෙන් පසු තවත් මාසයක කාලයක් ඇයට ලංකාවේ සිටීමට සිදුවිය. එම කාලයේදී ඇයට ආරක්ෂිත සේවයක් සැලසූ මනීෂ ඇය නැවත අදාළ නියමිත දිනයේ රුසියාව බලා පිටත් කර හැරියේ රොබට් නොක්ස් ලියූ හෙළයන්ගේ ආගන්තුක සත්කාරය සිහි ගන්වමිනි. ටික කලක් සංචාරක මගපෙන්වන ආයතනයක කටයුතු කළ මනීෂට ස්වෙතානා මුණගැසුණේ එහෙමය. තමාට ලංකාවේ රුකවරණය, ආරක්ෂාව, ආගන්තුක සත්කාරය සැලසූ මනීෂ ගැන ස්වෙතානාට ආල හැඟුම් පහළ වන්නට පටන් ගත්තේය. ඒ ආදර කතාව 2016 දී නිමා වූයේ රන් කෙන්දෙන් බැඳි අතැගිලි එක් කරමිනි.
බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ පුත් සොත්ථිසේන රාජ කුමාරයා තම පාදයේ කුෂ්ඨ රෝගයක් සෑදීමෙන් කලකිරී සියලු රජ සම්පත් අතහැර කැලෑ වැදී තනිව වාසය කරන්නට සිතයි. තම අගමෙහෙසිය වූ සම්බුලා රාජ කුමරිය සිය සැමියාට වූ ප්‍රේමයෙන් සියලු රජ සම්පත් අතහැර සොත්ථිසේන සමඟ කැලෑ වැදී අපා දුක් වින්දාය. අනේකවිධ කරදරවලට පැටලුණාය. සිය සැමියා නහවා පිරිසුදු කරමින් පෝෂණය කරමින් ඖෂධ ගල්වමින් වනයේ වාසය කළාය. එවන් නූතන සම්බුලාවක් වූ ස්වෙතානා උපන් රටට ආයුබෝවන් කියා තම ස්වාමියා රුකබලා ගනිමින් ලංකාවේ කල් ගෙවන්නට පුරුදු වූයේ රුසියාවේ රුකියාව පවා අතහැර දමමිනි. එදා පටන් අදටත් කුකුළා හඬලන්නට පෙර අවදි වන රුසියානු ස්වෙතානා බිරියානි සාදා පැකට් කර සැමියා සමඟ ගොස් මාලබේ මාර්ගයේ තබා බිරියානි විකුණන්නීය. එමෙන්ම කිඹුලාවල මාර්ගයේ ද ඔහු වෙළෙඳාමේ නිරත වෙයි. තම බිරිය හදන බිරියානි ගැන මනීෂ පැවසූයේ “මේක රුසියාවේ ජනප්‍රිය කෑමක්. අපි මේක ලංකාවට ගැලපෙන විදිහට සකස් කර තියෙනවා. මේකට කුළුබඩු කුඩු විදිහට කිසිම දෙයක් එකතු කරන්නේ නෑ. කොත්තමල්ලි ඇට ආදී කුළුබඩු දමා ලූනු, කැරට්, චිකන් සහ හාල් සියල්ල සමඟ එකට මිශ්‍ර කර එකට පිසීම කරන්නේ. ලංකාවේ අයගෙත් මේකට ගොඩක් ඉල්ලුම තියෙනවා.” යනුවෙනි.
එහෙත් අප අසා සිටි මනීෂ කියන කතාව ඒ බිරියානි තරමටම රස නැති බව පසක් වන්නට අපට වැඩි වෙලා ගියේ නැත. මනීෂ දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. එමෙන්ම සිය රෝගී තත්ත්වය හේතුවෙන් ආර්ථික දුෂ්කරතා රුසකට මැදි වී සිටියි.
“මම ජීවත් වන්නේ මාලබේ. මට කුඩා කල පටන් දියවැඩියාව තිබුණා. රට ගියාට පස්සේ ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න බැරි වුණා. රට ගිහින් ආවාට පස්සේ මට හදිසියේ හෘදයාබාධයක් ඇතිවුණා. ඊටපස්සේ කොළඹ ජාතික රෝහලට මා ඇතුළු කළා. ජාතික රෝහලෙන් සැත්කමක් කළා. මගේ වකුගඩු දෙකම හරියට වැඩ කරන්නේ නෑ. මගේ කකුලක් ඉවත් කළා. ඇස් පෙනීමත් දුර්වලම වුණා. ඊටපස්සේ දිගින් දිගටම අසනීප වුණා. අසනීප වුණාට පස්සේ මම කරගෙන ගිය රුකියා සේරම නැති වුණා. මේ අසනීප තත්ත්වය නිසා මට දැන් වෙන රස්සාවක් කරන්න බෑ. මට වෛද්‍ය උපදෙස්වලින් ලැබී තියෙන්නේ විසඳුම් දෙකයි. එකක් වකුගඩු බද්ධයක් කරන්න වෙනවා. එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා වකුගඩු පෙරණ ක්‍රියාවලිය (Dialysis) කරන්න වෙනවා. වකුගඩු බද්ධයකට ලොකු මුදලක් අවශ්‍ය වී තිබෙනවා. කාටවත් අතපාන්න බැරිකමටම අපි මේ බත් විකුණන්න ගත්තේ කොරෝනා උවදුරෙන් රට වෙලාගන්නට කලින් ඉඳන්. ඒ දවස්වල බත් පැකට් 300 ක් විතර ගියා. දැන් නම් සතියේ දවස්වලට බත් පැකට් 10 – 15ක් වගේ විකුණනවා. සති අන්තයට බත් පැකට් 25 ක් විතර අමාරුවෙන් විකුණගන්න පුළුවන් වෙනවා. බත් විකුණලා තමයි බේත්වලටයි සැත්කමටයි සල්ලි හොයන්නෙ. සතියේ දවස් දෙකක් වකුගඩු පෙරන්න යන්න වෙනවා. තව දවස් දෙකක් කකුල්වලට බේත් දාන්න යන්න තියෙනවා. ජාතික රෝහලේ වකුගඩු පෙරණ ක්‍රියාවලිය කරන්නේ දිනකට ලීටර 3 ක් පමණ සීමාවකටයි. ඒත් මගේ ශරීරයේ ඊට වඩා වතුර තියෙනවා. ඒ නිසා ඒකට පෞද්ගලික රෝහලකට යන්න වෙනවා. මා ඉල්ලා සිටින්නේ මගේ ජීවිතය රුකගෙන යථා තත්ත්වයට පත්වන්නට මට සහායක් වන ලෙසයි.” ඒ මනීෂගේ හඬයි.
මනීෂ යනු ආචාර්ය උපාධි ලැබූවෙකි. එහෙත් ඔහුගේ හැකියාවට සරිලන රුකියාවක් කර ගැනීමට ඔහුට ඉඩ අහිමිය. කවරාකාර බාධක පැමිණිය ද පාදයක් අහිමි මනීෂ දෙපයින් නැගිටින අයුරු අපි බලා සිටිමු. එය මුළු රටටම ආදර්ශයක් සපයන වග නිසැකය.
I සසංක චලන ගිම්හාන