2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

කර්මාන්ත සංවර්ධනයට නවමං සොයායන IDB ඉංජිනේරු අංශය

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 127

කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) යනු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක්. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනයට උරදෙන මෙම ආයතනයේ  විෂය පථය අතිශය පුළුල්. ඒ නිසාම ඇතැම්විට කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ඉටුවන සේවාවන් පිළිබඳ බොහෝ දෙනකු දැනුවත් නැහැ. එම නිසාම නව ව්‍යවසායකයක් ගොඩනගන්න සූදානම් වන, දැනටත් කර්මාන්ත ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටින ඔබ දැනුවත් කරන්න අපි අදහස් කළා.

අද අපි ඔබ වෙත ගෙන එන්නේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරු අංශය මගින් ඉටුවන සේවාවන් පිළිබඳ තොරතුරු. ඒ සඳහා අප සමඟ සම්බන්ධ වුණා කර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ - ජාතික, යාන්ත්‍රික  ඉංජිනේරු බී.ජී. දිසානායක මහතා.

“කර්මාන්ත සංවර්ධනය ඇති අංශ කිහිපය අතරින් ප්‍රධාන අංශයක් විදිහට ඉංජිනේරු අංශය සලකන්න පුළුවන්. රටේ දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන ක්ෂේත්‍ර අතරින් නිෂ්පාදන ක්ෂේත්‍රය (manufacture) හඳුන්වන්න පුළුවන්. පැහැදිලිවම මේ ක්ෂේත්‍රයේ දියුණුවට ඉංජිනේරු අංශය විශේෂ දායකත්වයක් දැක්විය යුතු වෙනවා."

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක ඉලක්කගත ආර්ථික වැඩපිළිවෙළක් තුළ නිෂ්පාදන ක්ෂේත්‍රය තාක්ෂණයෙන් යාවත්කාලීන කිරීමේ වගකීම ඇත්තේ ඉංජිනේරුවන්ට බව දිසානායක මහතා පැවසුවා. ඒ අනුව එම අභිප්‍රායෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරු අංශය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් ව්‍යාපෘති ප්‍රමාණය විශාලයි.

“අපේ ඉංජිනේරු වැඩහල (workshop centre) මෙහිදී ප්‍රධානයි. අපේ වාත්තු අංශය ජපන් තාක්ෂණය සහිතව ඉහළම ප්‍රමිතියෙන් ක්‍රියාත්මක වෙනවා. අපි අලුතින් පටන් ගන්න සූදානම් වෙනවා රොබෝ තාක්ෂණය කර්මාන්ත ක්ෂේත්‍රයට ලබා දීමේ වැඩපිළිවෙළක්. ඒ අනුව Robotic Application Centre එක ආරම්භ වෙනවා."

මේ වන විටත් අදාළ උපකරණ රුගෙනවිත් ඇති බව ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා. මෙම උපකරණ භාවිතයෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට කර්මික සංවර්ධන මණ්ඩලය සූදානම්. 

“අපේ තව තියෙනවා CNC Unit එකක්. මේ ඒකකයේ පරිගණකගත පද්ධති සහිත යන්ත්‍ර අපි සතුව තියෙනවා. CNC තාක්ෂණය පිළිබඳවත් කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. මේ යන්ත්‍ර පුහුණුව සඳහා පමණක් නෙවෙයි භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නෙ. සාධාරණ මිලක් යටතේ සේවා සපයන්නත් අපි බලාපොරොත්තු වෙනවා."

කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයතන වෙත පමණක් නොව විශ්වවිද්‍යාල, තාක්ෂණය විද්‍යාලය සිසුන් සඳහා ද අවශ්‍ය පුහුණුව ලබාදීමට කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සූදානමින් සිටිනවා. දිසානායක මහතා සඳහන් කරනවා නව යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත ක්ෂේත්‍රයට පැමිණි විට, එකම යන්ත්‍ර සඳහා මොඩියුල සැකසීමට ද ඉංජිනේරු අංශය කටයුතු කරන බව. ඒ ඔස්සේ නව යන්ත්‍ර සූත්‍ර පිළිබඳ තාක්ෂණික ඥානය දේශීය කර්මාන්තවලට ලබා දීමට හැකි වෙනවා. 

“නිෂ්පාදන සඳහා නිෂ්පාදන සහතික ලබා දීම, අපනයනය කෙරෙන අමුද්‍රව්‍ය සඳහා සහතික ලබාදීම වගේ කටයුතුත් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හරහා අපි සිදු කරනවා."

මේ අනුව අපිට පෙනී යන්නේ නියාමන ක්‍රියාවලියකට ද ඉංජිනේරු අංශය මැදිහත් වන බවක්. මෙහිදී තක්සේරුකරණ ක්‍රියාවක් ද සිදුවෙනවා.

“දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න බැරි අමුද්‍රව්‍ය හඳුනා ගැනීමත් අපි සිදු කරනවා. පසුව ඒවා ආනයනයට අවශ්‍ය නිර්දේශ ලබාදීමත් සිදුවෙන්නේ අපේ අංශය හරහා. ඒ වගේම එම අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය මත පනවා ඇති බදු අඩු කරන ලෙසටත් ඉල්ලීම් සිදු කරනවා."

දිසානායක මහතා පවසන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට ආයතන අතර තාක්ෂණික සම්බන්ධීකරණයත් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙතින් සිදුවෙනවා.

“ආයතනයක් විදිහට අපේ අරමුණ තමා සීයට 2.8 ක් වගේ තියෙන ව්‍යවසායකත්වය සියයට 10 ක් දක්වා ඉහළ නැංවීම. අපේ සභාපතිතුමා ඒ බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර වෙත ගිහිල්ලා ඒවායේ දියුණුවට තිබෙන බාධා හඳුනාගෙන අවශ්‍ය සහයෝගය ලබාදීමත් අපේ ප්‍රමුඛ රාජකාරියක්. දැනට නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් (Manufacturing Set) දළ දේශීය නිෂ්පාදිතයට දක්වන්නේ 15෴ ක විතර දායකත්වයක්. එය සියයට 30 ක් බවට අපි පරිවර්තනය කළ යුතුයි. යාවත්කාලීන වන අපේ වැඩසටහන්වල අරමුණ තමා ඒක."

සැබැවින්ම මෙම සංවාදයෙන් අනාවරණය වූ තොරතුරු මෙරට බොහෝ කර්මාන්තකරුවන් නොදැන සිටි බවට සැකයක් නැහැ. රටක් ලෙස ඉදිරියට යෑමට මෙම තොරතුරු පවා වැදගත් වන බව අප සිතනවා. කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරු අංශය වෙතින් ඔබේ ව්‍යාපාරයටත් කර්මාන්තයටත් දැනුම සහයෝගය ලබාගන්න පුළුවන්. පමා වෙන්න එපා.

IDB ඉංජිනේරු 
අංශය අමතන්න.
0112605319 ‍\ 0112632486

 

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00