සිංහල සිනමාවට මේ වන විට වයස අවුරුදු 76කි. එය සිනමාවේ ඉතිහාසය සසඳන විට දිගු කාලයකි. 1947 ජනවාරි 21 වැනිදා ‘කඩවුණු පොරොන්දුව’ තිරගත කිරීමෙන් සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ලංකාවේ ආරම්භ කෙරුණි. අසල්වැසි ඉන්දියාවේ පවා චිත්‍රපට කර්මාන්තය විශාල ලාභ උපයන සහ විධිමත් කර්මාන්තයක් ලෙස පසුගිය කාලය පුරා වර්ධනය වී ජාත්‍යන්තරය ද ආක්‍රමණය කර හමාරය. නමුත් අද ලංකාවේ දක්ෂ සිනමා අධ්‍යක්ෂවරු ඇතුළු ශිල්පීන් සිටියද එය කර්මාන්තයක් ලෙස සංවර්ධනය වීමේ ස්වභාවය මේ වන විට වසා ඇති සිනමා ශාලා සංඛ්‍යාවෙන්ම පැහැදිලි වේ.
පසුගියදා පාර්ලිමේන්තුවේදී කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවේ කැලණියේ පිහිටි සිංහල චිත්‍රපට සංරක්ෂණාගාරයේ වායු සමීකරණ යන්ත්‍රය අක්‍රීය වීම නිසා චිත්‍රපට පිටපත් විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති බවයි. අදාළ වායු සමීකරණ යන්ත්‍ර කඩිනමින් පිළිසකර නොකළහොත් චිත්‍රපට රීල් වසරක් දෙකක් ඇතුළත විනාශ වීමේ අවදානමක් මතුවන්නේ යැයිද ඒවා යළි ප්‍රදර්ශනය කරන්නට නොහැකි තත්ත්වයකට පත්වන්නේ යැයිද කුමාරසිංහ මහත්මිය කීවාය. චිත්‍රපට සංරක්ෂණාගාරය කියා නම ගසා තැනක් තිබුණාට ප්‍රමාණවත් නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරිය එහි සිටින්නේ සේවකයන් හතර දෙනෙක් පමණක් බවද තවදුරටත් කීවාය. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමිනි.
මෙම සංරක්ෂණාගාරය ගැන වගකීම ඇත්තේ ජාතික චිත්‍රපට සංස්ථාවටය. විශාල අඩුවක් සපුරමින් සිනමා ක්‍ෂේත්‍රය තුළින්ම පැන නැගුණු බලවත් ඉල්ලීම් හමුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් 1971 අංක 47 දරන පාර්ලිමේන්තු පනත මගින් 1972 ජනවාරි 21 දින රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවිණි. එතෙක් ව්‍යාපාරිකයන් කිහිප දෙනකු අත පැවති දේශීය චිත්‍රපට කර්මාන්තය සංස්ථාව යටතට පත් කෙරුණේ ප්‍රේක්ෂක ජනතාවගේ යහපත උදෙසාය. එය 70 දශකයේ හොඳින් ක්‍රියාත්මක වුව ද පසුව යළිත් විවිධ අවස්ථාවලදී සංස්ථාව අක්‍රිය තත්ත්වයට පත් විය. චිත්‍රපට කර්මාන්තය රුකගැනීමට කමිටු රාශියක් පත්කෙරුණ ද ඒවා ක්‍රියාත්මක නොවූ බව සිනමා කර්මාන්තයේ නියුතු පිරිසම දනිති.
ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ගම්පෙරළිය, මල්දෙණියේ සිමියොන්, නිධානය වැනි චිත්‍රපට නිර්මාණය වුව ද චිත්‍රපට සංරක්ෂණය සඳහා වැඩපිළිවෙළක් ලංකාවේ තිබුණේ නැත. ඒවායේ පිටපත් වැඩි ප්‍රමාණයක් චිත්‍රපට නිෂ්පාදකයන්ගේ නිවෙස්වල තිබුණු අතර තවත් කොටසක් චිත්‍රපට සංස්ථාවේ ගබඩාවේ තිබුණි. මේ චිත්‍රපටවලට නිසි ආරක්ෂාවක් නොලැබුණු නිසා බොහෝ චිත්‍රපටවලට රීල් විනාශ වී ගියේය. චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපට සංරක්ෂණාගාරයක අවශ්‍යතාව ගැන පවසන්නට පටන් ගත්තේ දිගු කලක පටන්ය. එම සංරක්ෂණාගාරය අවසානයේ බිහිවුණේ ජාතික ලේඛනාගාරයේ කොටසක් වශයෙනි. ඒ 2014 දීය. එය ලෙස්ටර්ගේ නමින්ම ජාතික චිත්‍රපට රෑපවාහිනී ශබ්දපට අධිලේඛනාගාරය ලෙස නම්කර තිබේ.
දළුගම සරසවි චිත්‍රාගාරය පිහිටි භුමියේ ද තවත් චිත්‍රපට සංරක්ෂණාගාරයක් පවතින අතර එහි ගබඩාවේ තිබෙන පැරණි චිත්‍රපට රීල් ක්‍රමානුකූලව පිළිවෙළට සකස් කර පසුව සංරක්ෂණ කිරීම සිදුවේ. මෙහි චිත්‍රපට ගබඩාව වායුසමීකරණය කර නැත. නමුත් සංරක්ෂණය කළ චිත්‍රපට සම්පූර්ණ කර කෑන්වලට දමා ගබඩා කරන ස්ථානය වායුසමීකරණය කර තිබේ. මෙසේ සම්පූර්ණ කරන චිත්‍රපට ඉන්පසුව යවන්නේ ජාතික ලේඛනාගාරයේ චිත්‍රපට අධිලේඛනාගාරයටයි.
මෙම සංරක්ෂණ ගැටලුව ගැන අපි ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යධිකාරි රවී ප්‍රසාද් කළුපහනට කතා කළෙමු:
"‘‘අපට චිත්‍රපට සංරක්ෂණය කරන්නට හැකිවන්නේ එම චිත්‍රපටවල පිටපතක් නිෂ්පාදක විසින් ලබාදුන්නොත් පමණයි. මි.මී. 35 ප්‍රමාණයේ රීල්වල තිබෙන චිත්‍රපට බ්ලූරේ තැටි බවට පත්කර තමයි අධිලේඛනාගාරයේ තැන්පත් කරන්නේ. එම ස්ථානය වායුසමීකරණ පද්ධයක් සහිතයි. ඒවා ක්‍රමයෙන් තමයි අපි බ්ලූරේ බවට පත්කර බාරදීම සිදුකරන්නේ. මේ වන විට චිත්‍රපට 250ක පමණ පිටපත් ලේඛනාගාරයට බාරදී තිබෙනවා. තවත් 100ක් පමණ සූදානම් කර තිබෙනවා ඉදිරියේ දී ලේඛනාගාරයට යැවීමට.
මෙසේ ලේඛනාගාරයේ නිසි ආරක්ෂාවක් ලැබෙන නිසා දළුගම ගබඩාව අලුතින් වායුසමීකරණය කිරීමේ අවශ්‍යතාවක් දකින්න අමාරුයි. ඒකට තව විශාල මුදල් ප්‍රමාණයක් වැය වන නිසා. අපි ඉතිරි චිත්‍රපට ටිකත් ඉක්මනට සම්පූර්ණ පිටපත් බවට පත්කිරීමෙන් අනතුරුව බ්ලූරේ තැටිවලට පත්කර සංරක්ෂණාගාරයට බාරදීමට කටයුතු කරනවා.''
ලංකාවේ සිනමාව ගැන අධ්‍යයනය කරන පාඨමාලා විශ්වවිද්‍යාල කිහිපයකම පැවැත්වේ. ඒ සඳහා පර්යේෂණ කරන විද්වතුන්ට පැරණි චිත්‍රපට නැරඹීමට අවශ්‍යතාව මතුවේ. නමුත් ජාතික ලේඛනාගාරයේ චිත්‍රපට සංරක්ෂණාගාරයේ ඒ පහසුකම ලබා දී නැත. මුලින්ම පැවසුණේ එහි ගබඩා කෙරෙන සංරක්ෂිත පිටපත්වල ඩීවීඩී පිටපත් සකස් කර ඒවා පරියේෂකයන්ට නැරඹීමට අවස්ථාව ලබාදෙන බවයි. නමුත් තවමත් එසේ නැරඹීමට නීතිමය ප්‍රතිපාදන සකස් කර නැති බවයි සිනමා පරියේෂකයකු අප සමඟ පැවසුවේ. එය ඉතා ඉක්මනින් සකස්විය යුතු කරුණකි. චිත්‍රපට සංරක්ෂණාගාරයක ගබඩා කර තැබුවාට එම නිර්මාණ ගැන අධ්‍යයනයක් සිදු නොවේ.
මේ අතර අපටත් ආදර්ශයට ගත හැකි ක්‍රියාවක් ඉන්දියාවේ පූනේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය මගින් සිදුකරන බව ටික කලකට පෙර අසන්නට ලැබුණි. ඒ ඉන්දියාවේ පුනේහි සංරක්ෂිත පහසුකම තුළ ශ්‍රී ලාංකික චිත්‍රපට සුරුකීමට සූදානම්ව සිටින බවයි. චිත‍්‍රපට සංරක්‍ෂණ හා ප‍්‍රතිෂ්ඨාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිවිය හැකි සහයෝගීතාව පිළිබඳව 2020 දෙසැම්බර් මාසයේදී මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චමරි රොද්‍රිගෝ මහත්මිය සහ ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයේ ප‍්‍රධානී ප‍්‍රකාශ් මැග්ඩම් මහතා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව, ශ්‍රී ලාංකික චිත්‍රපට 20-30 ක පමණ සංඛ්‍යාවක් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි එකල සඳහන් කෙරුණි. එම යෝජනාවට සිදුවූ දේ නම් අප නොදනී.
ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයේ විවිධ ප්‍රමාණයේ ගබඩා කුටි 27 ක් පවතී. එහි සම්පූර්ණ ධාරිතාව රීල් 200,000 ක් වන අතර, එහි වර්ණ සහ කළු සුදු චිත්‍රපට සඳහා වෙන වෙනම පහසුකම් පවතී. සෙලියුලොයිඩ් සහ ඩිජිටල් යන දෙවර්ගයේම චිත්‍රපට සඳහා පහසුකම් සපයන නව පහසුකමක් ඉදිකිරීම සඳහා ඉන්දියානු ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය පසුගිය කාලයේ කටයුතු කළේය.
අපට ඉන්දියාව වීමට නොහැකි බව සත්‍යයකි. ඒත් අපට තිබෙන සම්පත් පවා නිසියාකාරව භාවිත කිරීමක් නැත.
I කුසුම්සිරි විජයවර්ධන