සෑම මිනිසකුටම උපතින්ම මොළයක් ලැබෙයි. සමහරු ඒ මොළයෙන් වැඩ ගනිති. තවත් සමහරු මොළේ නැත්තන් සේ වැඩ කරති.
''මිනිහා මොළකාරයා'' යැයි පැසසුම් ලබන්නේ මොළෙන් වැඩගන්නා පුද්ගලයාය. ''මිනිහට මොළේ නෑ'' යැයි ගැරහුම් ලබන්නේ, මොළයක් නැතුවාක් සේ වැඩ කරන්නාය.
පුදුමයට කාරණය වන්නේ, මොළකාරයන්ද ඇතැම් විට මොළේ නැත්තන් සේ පිස්සු කෙළිමය. ජනවහරේදී ''උකුණු හිසක් තරම්වත් මොළයක් නෑ'' හෝ ''මොළේ බල්ලො කාලා'' යනුවෙන් යෙදෙන්නේ එවැනි උදවියටය. පොදුවේ ගත් කල මොළේ නැති එකා මෝඩයාය. ''මෝඩයාගේ කැත හත් පලේය.'' මොළේ ඇති එකා එක වරකින් කරන වැඩේ, මෝඩයා හත් වතාවකදීවත් හරිහැටි නොකරයි. නැතහොත් හත්පලේ ගා ගනී.
දැන් කාලේ නම්, සිරි ලංකාව වැනි රටවල හත්පලේ ගා ගන්නේ, මෝඩයන්ම නොවේ. මැති ඇමැතිවරුන්, මහාචාර්යවරුන්, පමණක් නොව පූජ්‍ය පක්ෂයේ උතුමන්ද ඒ අතර වෙති. ''පණ්ඩිතයාගේ සිහිය උඩහල්ලේ'' යැයි කියන්නේ එබඳු තැන්වලදීය.
''හොඳට නරකට දෙකට කටමය'' යන පිරුළ මොළයටද අදාළය. හොඳ මොළයක් ඇති අයද එය නරකට යොදාගන්නා විට සමාජය පරිහානිය කරා ඇදෙයි. ''විනාශ කාලේන විපරීත බුද්ධි:'' යැයි කියන්නේ එවැනි කාලයන් සම්බන්ධයෙනි.
මිනිසා බුද්ධිමතකු වූයේ, මොළයේ ක්‍රියාකාරීත්වය නිසා වුවත්, වර්තමාන ලෝකයේ ඒ කාර්යභාරය, කෘත්‍රිම බුද්ධියක් (Ai= Artificial Intelligence) වෙත පවරා දීමට සියල්ල සූදානම්ය. එයද මිනිස් මොළයෙන්ම නිර්මාණය වූවකි. එහෙත් ඉන්පසු මිනිසාට තම මොළය වෙහෙසීමට අවශ්‍ය නැත. ඔහුගේ බුද්ධිමය අවශ්‍යතා, කෘත්‍රිම බුද්ධියේ ආධාරයෙන් ඉටුකර ගත හැකිය.
මෑතකදී සුප්‍රකට මාධ්‍ය ආයතනයක් වූ ''නිව් යෝක් ටයිම්ස්'' තමන්ගේ ඇතැම් ප්‍රකාශිත කෘතීන්, කෘත්‍රිම බුද්ධි සමාගම් විසින් අනවසරයෙන් භාවිත කිරීම ගැන නඩු පැවරීය. එහි ඇති හාස්‍යජනක කාරණය වන්නේ කෘත්‍රිම බුද්ධියටද, ''කොපි'' නොකර බැරි බවය.
මිනිසාට සමාන රොබෝවරුන් නිර්මාණය කිරීමද තවමත් සියයට සියයක් සාර්ථක වී නැත. මිනිස් මොළයට සමාන කෘත්‍රිම මොළයක් නිර්මාණය කෙරෙන බවට පුවතක්ද මෑතකදී දක්නට ලැබුණි. ඒ නිසා මුදල් හදල් ඇති අයට අනාගතයේදී තම මොළය වෙනුවට සුපිරි මොළයක් බද්ධ කර ගැනීමේ අවස්ථාවද සැලසෙනු ඇත.
මිනිසා නිර්මාණය කළේ දෙවියන් වහන්සේය. නැතිනම් මහා බ්‍රහ්මයාය. ඒ දෙදෙනා වහන්සේලාටම මිනිසාට සමාන මොළයක් (බුද්ධියක්) ලබාදීමට අවශ්‍ය නොවූයේ එසේ වී නම්, ලෝකය අවුල් ජාලාවක් වීමට ඉඩ තිබූ නිසා විය හැකිය. දැන් ඒ අඩුපාඩුව පිරිමැසීම කෘත්‍රිම මොළ හා බුද්ධි ජාලා නිපදවන සමාගම් විසින් බාරගෙන ඇත.
මීට කලකට ඉහත මා කියැවූ විද්‍යා ප්‍රබන්ධයක් මගේ මතකයට නැඟේ.
එක් විද්‍යාඥයෙක් ප්‍රේමය පිළිබඳ හැඟීම් දැනෙන රොබෝවරයකු නිපදවීය. ටික කලක් යනවිට, රොබෝවරයා විද්‍යාඥයාගේ රෑමත් බිරිඳට, ආදරය කිරීමට පටන් ගනී. එක් දිනක් විද්‍යාඥයා තම බිරිඳ සමඟ යහන් ගැබේ පෙම් කෙළිනු දුටු රොබෝ දැඩි ලෙස කෝප වෙයි. ඔහු විද්‍යාඥයා වෙත කඩා පැන ඔහුගේ ගෙල මිරිකා මරා දමයි.
විද්‍යාඥයා රොබෝට ප්‍රේමය උගැන්වූ නමුත්, ප්‍රේමය සමඟම උපදින ඊර්ෂ්‍යාව ඉවත් කිරීම අතපසු කර තිබුණි.
දැනට පෙනෙන අන්දමට නම්, කෘත්‍රිම බුද්ධිය යනු මිනිසාට සේවය කරන සහායකයෙකි. ලේකම්වරයෙකි. එහෙත්, දැනටමත් මිනිසා ජංගම දුරකථනයෙහි වහලකු වී ඇති සැටි සිතන විට අනාගතයේදී ඔහු කෘත්‍රිම බුද්ධියේද යටත් වැසියකු වුවහොත් පුදුම විය යුතු නැත.
අප්‍රිකානු රටක දේශපාලන පක්ෂයක් සිය ජාතික සංවිධායක වශයෙන් කෘත්‍රිම බුද්ධිය ''පත්කරන'' බව නිවේදනය කිරීමෙන් පසු ඒ පිළිබඳ නොයෙක් කතාබහ නැගුණි. අපේක්ෂකයන් තෝරා ගැනීමේදීද, මැතිවරණ ප්‍රතිඵල ඉක්මන් කිරීමේදීද, කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි බවද සමහරු පෙන්වා දුන්හ. එක් තීරු ලිපි රචකයකු කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම සඳහාද කෘත්‍රිම බුද්ධිය යොදා ගතහොත් එය සොයාබැලීමට වෙනත් බුද්ධියක් සොයාගත යුතු වන බවය.
රොබෝවරුන්ට විහිළු තහළු කළ නොහැකි බවත් උපහාස රසය නොදැනෙන බවත් විද්‍යාඥයෝම පවසති. එක් විද්‍යාඥයෙක්, දේශපාලන උපහාසය දැනෙන රොබෝවෙක් නිෂ්පාදනය කළේය. රට රටවල දේශපාලන උපහාස කතා අසන කළ ''ඔහු'' හඬනගා සිනාසෙයි.
එහෙත් ටික කලකින්ම රොබෝගේ සිනාව නතරවුණි. විද්‍යාඥයා, තම රොබෝව රටින් රට ගෙන ගොස් දේශපාලන සිනා කතා අසන්නට සැලැස්වීය. එහෙත් රොබෝ නිහඬය.
එක් දිනක් විද්‍යාඥයා තම සහායකයකු අමතා මෙසේ කීය.
''මට තව එක රටයි යන්න ඉතුරුවෙලා තියෙන්නෙ. එහෙදිත් හරි ගියේ නැත්තං මම මේ රොබෝව විකුණලා දානවා, යකඩ මුදලාලියකුට.''
''මොකක්ද ඒ රට?'' සහායක ඇසීය.
''සිරි ලංකාව''
ඒ ඇසූ සැණින්, රොබෝ මහ හඬින් සිනාසීමට ගත්තේය.
I කපිල කුමාර කාලිංග