2024 ජනවාරි 06 වන සෙනසුරාදා

ඉතාලි මැකරෝනි ලංකාවට හුරු කෙරූ අලුත් පරපුරේ තරුණ ව්‍යවසායකයා

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 224

මැකරෝනි පැස්ටා නූඩ්ල්ස් කිව්වම මතක් වෙන්නෙ ඉතාලිය නේද? ඒත් ඒ කතාව ශ්‍රී ලංකාවේ අපිට දැන් එතරම්ම වලංගු නැහැ. මේ නිෂ්පාදන සම්බන්ධ ශ්‍රී ලංකාවේ දැවැන්ත ආයතනයක් තියෙනවා. මේ වෙනකොට ඔවුන් අපනයන වෙළෙඳපොළ පවා ජයගැනීමට උත්සාහ දරමින් සිටිනවා. අද කතාව මේ සුවිශේෂී ආයතනය ගොඩනැඟ චරිතය පිළිබඳව.

St. Anthony’s Biz (Pvt) Ltd කියන්නෙ දේශීය සමාගමක්. 2002 වර්ෂයේ ආරම්භ කරලා විවිධාකාර අභියෝග මැද හිමිහිට ඉදිරියට ආපු මේ ව්‍යාපාරය පිටුපස අපූරු කතාවක් තියෙනවා. අපිත් එක්ක ඒ කතාව බෙදාගන්න එකතු වුණේ St. Anthony’s Biz (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත මැන්ඩිස් මහත්මා.

“අපේ ආයතනයේ වර්තමාන තත්ත්වය ගැන කතා කරනවා නම් ස්ථිර සේවකයන් 100 ක් පමණ සේවය කරනවා. තාවකාලික සේවකයන් 30 ක් පමණත් වක්‍ර සේවා සපයන්නන් විස්සක් විතරත් ඉන්නවා. අපි අපනයන මට්ටමේ ආයතනයක් විදිහට තමා දැන් කටයුතු කරන්නෙ. අපේ පළවෙනි ඕඩර් එක ඉදිරි මාසවලදී ඩුබායි වෙත යන්න නියමිතයි."

St. Anthony’s Biz (Pvt) Ltd ව්‍යාපාරය වර්තමාන තත්ත්වයට ඔසවා තබන්න පුරෝගාමී වුණේ හසිත. ඒත් මේ ව්‍යපාරය 2002 දී ආරම්භ කළේ හසිතගේ පියා.

“දශක දෙකකට ඉහත St. Anthony’s Enterprises නමින් මේ ව්‍යාපාරය ආරම්භ කළේ අපේ තාත්තා. අම්මා සහ නැන්දා සමඟ හවුල් ව්‍යාපාරයක් විදිහට. 2006 දී තාත්තාට අසනීප වෙනවා. 2008 දී තාත්තා නැතිවෙනවා. ඒ කාලය ඇතුළත අපේ ව්‍යාපාරය පාඩුවට තමා දිව්වේ. සේවකයෝ එක්කෙනෙක් වගේ හිටියේ. ගෙදර තමා ව්‍යාපාරය කරගෙන ගියේ."

සෑම අර්බුදයක් තුළම අවස්ථාවක් තියෙන බව කියන්න හසිත සහ පවුලේ කතාව අපූරු උදාහරණයක්. පියා අහිමි වෙනකොට හසිත පාසල් ශිෂ්‍යයෙක්.

“2008 දී ඕලෙවල් ඉවරවෙලා ඒලෙවල් කරන්න යනකොට තමා මම ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නෙ. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මල්ලි මැකරෝනි හදනවා. මම විකුණනවා. දවස් දෙකක් උසස් පෙළට මහන්සි වෙනවා. දවස් තුනක් විතර මැකරෝනි විකුණනවා."

වසරක් දෙකක් ගතවන විට මැකරෝනි ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙනියන්න හසිත ඇතුළු පිරිස සමත් වුණා. එහෙත් ඔවුන්ට ඊළඟ අදියරේ මුහුණ දීමට සිදුවෙන්නෙ වෙනත් ගැටලුවකට.

“අපේ මැෂින් එකේ පැයකට කිලෝ පහක් වගේ තමා හදන්න පුළුවන් වුණේ. ඒත් ඉල්ලුම වැඩිවෙලා තිබුණා. ඒ අනුව 2010 දී අපි තුර්කියෙන් මැකරෝනි ආනයනය කරන්න තීරණය කළා. 2012, 2013 වගේ වෙනකල් අපි ආනයනය කිරීම සිදු කළා."

මේ කාලය ඇතුළත හසිත මැන්ඩිස් නම් තරුණ ව්‍යාපාරිකයා පාසල් අධ්‍යාපනය නිමකරලා උසස් අධ්‍යාපනය සඳහාත් යොමුවෙලා හමාරයි. 2015 වගේ වෙනකොට, ව්‍යාපාරය වර්ධනය කරන අතරේම හසිත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියත් සම්පූර්ණ කරන්න සමත් වෙනවා.

එත් මේ තරුණ ව්‍යවසායකයා දැවැන්තයකු වීම සඳහා බලපෑ බරපතළම ගැටලුව ඇතිවුණේ මේ ආසන්න කාලේ.

“මේ කාලෙදි මම ආනයනය කරපු HS Code එක වැරදිලා ලොකු දඩයක් කන්න වුණා. ආයෙම ව්‍යාපාරය බිංදුවට වැටුණා. 2015 ඉඳන් 2020 වෙනකල් මම මැකරෝනි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න මූල්‍ය පහසුකම් ලබාගන්න ආයතන කිහිපයකට යනවා."

ඒත් හසිතගේ මේ උත්සාහය පහසුවෙන් සාර්ථක වන්නේ නැහැ. මේ වයසේ තරුණයෙක්ට මේ විදියේ ව්‍යාපාරයක් සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ලංකාවේ මිනිස්සු මෙච්චර මැකරෝනි කයිද කියන ප්‍රශ්න තමා ඒ මූල්‍ය ආයතනවලට ඇතිවුණේ. එහෙත් උත්සාහය අත නොහැරපු මේ තරුණයා, එක්තරා අවස්ථාවක ජය ලබනවා. එක්තරා පෞද්ගලික මූල්‍ය ආයතනයක් කැමති වෙනවා රුපියල් මිලියන සීයක් හසිතගෙ ව්‍යපාරය වෙනුවෙන් ආයෝජනය කරන්න. 

“ඊටපස්සේ අපි ඒ යන්ත්‍රය ගෙන්වන්න සමත් වෙනවා ඉතාලියෙන්. 2020 මේ මැෂින් එක ගෙනාවත් ඉන්ස්ට්‍රෝල් කරන්න අපහසුතා ඇතිවෙනවා කොවිඩ් එක්ක. ඊටපස්සේ ඉතාලි ජාතිකයෝ ගෙන්වාගෙන විශාල පිරිවැයක් දරලා තමා අපි මේ යන්ත්‍රයෙන් වැඩ ආරම්භ කරන්නෙ."

කොහොම වුණත් 2015 දී මුහුණපෑ අර්බුදයත් එක්ක තමන්ගේ ව්‍යාපාරය තවත් මානයක් ඔස්සේ වර්ධනය කරන්න හසිත ඇතුළු පිරිස කටයුතු කළා. ඒ නිසාම අද St. Anthony’s Biz (Pvt) Ltd තවත් නිෂ්පාදන කිහිපයක වෙළෙඳපොළ ජයගෙන හමාරයි.

“2015 දී මැකරෝනි විතරක් ප්‍රමාණවත් නැහැ කියලා මම පාන් කුඩු සහ නූඩ්ල්ස් නිෂ්පාදනයට යොමු වුණා. පාන් කුඩු ගැන කතා කරනවා නම්, දැනට ලංකාවේ ISO 9001, 22000 තත්ව සහතික සහිත නිෂ්පාදනය අපේ. පාන් කුඩු වෙළෙඳපොළ මාර්කට් ලීඩර් අපි. මැකරෝනිවලින් අපි අංක දෙකට වගේ ඉන්නවා. ඒත් දැනට ලංකාවේ ගොඩක් වෙළෙඳ සන්නාම සඳහා මැකරෝනි නිෂ්පාදනය කරන්නෙ අපේ ආයතනය විසින්." අපි බොහෝ දෙනා හඳුනන "Mendis Foods” වෙළෙඳ සන්නාමයේ හිමිකම් දරන්නෙත් St. Anthony’s Biz (Pvt) Ltd ආයතනය විසින්. පසුගිය වසංගත සමයේ මැකරෝනි ආනයනය සැලකිය යුතු ලෙස පහළ යාමද St. Anthony’s Biz (Pvt) Ltd ව්‍යාපාරය ගොඩනැගීමට හේතු වූ බව හසිත සඳහන් කළා.

“2020 දී ලොකු පිරිවැයක් දරලා ඉතාලියෙන් ගෙනාපු යන්ත්‍රය ස්ථාපිත කළත්, ඒ සමඟම අපිට අසාමාන්‍ය ඉල්ලුමක් ආවා. ආනයනික මැකරෝනි ලංකාවේ නිපදවීම තමා ඒකට හේතුව වුණේ. මේ හරහා අපිට විශාල ලාභයක් ලැබුණා."

වසංගතය සමඟ පැමිණි ආර්ථික අර්බුදය යම් පීඩාවක් ඇතිකළ ද හසිත ඉහත අභියෝගය ජයගැනීමට සමත්ව තිබුණා. තමන්ගේ ව්‍යාපාරික ජීවිතය පුරාවටම ඇති හසල අත්දැකීම් ඊට පිටුබලයක් වූ බව ඔහු සඳහන් කළා.

“ඒත් ආර්ථික අර්බුදය, ආනයන සීමා එක්ක අවශ්‍ය රෝ මැටීරියල් තුර්කියෙන් ආනයනය කරන්න අපිට බැරි වුණා. ඒ අවස්ථාවේ දේශීය සහල්වලින් තමා අපි ලොකු අලෙවියක් සිදු කළේ. එතැනත් අපි නිෂ්පාදන සඳහා දේශීය සහල් සීයට තිහක් පමණ භාවිත කරනවා." දුර්භීක්ෂ සමය අවසානයේදී මේ වන විට St. Anthony’s Biz (Pvt) Ltd වේගයෙන් ඉදිරියට යමින් ඉන්නවා. කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය වගේ ආයතන රුසකින් තමන් වෙත ලැබුණු සහයෝගයත් හසිත බොහොම සතුටින් මතක් කළා.

“මට අපේ ව්‍යවසායකයන්ට කියන්න තියෙන්නේ ව්‍යාපාරයකට ප්‍රශ්නයක් ආවම විසඳුම හොයන්න ඕනෑ සාම්ප්‍රදායික විදියට නෙවෙයි. අපි වෙනස් විදිහට හිතලා කටයුතු කළොත් පියවර කිහිපයකින් අපේ ව්‍යාපාරය ඉදිරියට අරගෙන යන්න පුළුවන්."

සැබැවින්ම අලුත් ව්‍යවසායකයන්ට තරුණයන්ට ආදර්ශයක් සපයන කතාවක් හසිත මෙන්ඩිස් සතුව තියෙනවා. ඒ වගේම දැනුම මූලික තැන පිහිටුවාගෙන කටයුතු කරන මෙම තරුණ ව්‍යවසායකයා මේ වන විට තමන්ගේ උසස් අධ්‍යාපනයේ කඩඉම් කිහිපයක් ඉදිරියට ගොස් අවසන්. අවසානයේ ඔහුගේ රහස අපිට හෙළිදරව් වෙනවා. ඒ රහස තමා  දැනුම සහ සාම්ප්‍රදායික නොවන තීරණ.

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00