පක්ෂයෙන් ඉල්ලා අස්වීම නොහොත් පිල් මාරුව, සිරි ලාංකීය දේශපාලනයට අලුත් දෙයක් නොවේ. මේ සිරිත අලුත් කරමින් සමගි ජනබලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රීවර චමින්ද විජේසිරි, පසුගියදා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීය.
තම අස්වීමට හේතු දක්වමින් ඔහු වැදගත් හේතු කීපයක්ම පැවසීය. ඉන් ප්‍රධාන හේතුව වූයේ, පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් දෙසීය විසිපහේම දරුවන්ට පවා ශාප කරන තැනට රට පත්වී ඇති බවය.
විජේසිරි මහතා මෙසේද කියා තිබුණි.
''දවසක්, මේ දියවන්නාව ළඟට කිඹුලෙක් ඇවිත් හිටියා. ඒක බලන්න රුස්වුණු සෙනඟ කිඹුලට කිව්වේ, පුළුවන් නම් මේකෙ ඉන්න දෙසීය විසිපහම කාපන් කියලා.''
මේ කිඹුල් කතාව අසද්දී, කලකට පෙර කියැවූ රුසියානු කිඹුල් කතාවක්ද මගේ මතකයට නැගුණි.
ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් පාලන සමයේදී සෝවියට් දේශයේ, පාලක මණ්ඩලයේ, තරුණයන්ට තැනක් හිමි නොවීය. ඉතාම වයෝවෘද්ධ පුද්ගලයන්ට රට පාලනය හිමිවීම ගැන බොහෝ විවේචන එල්ල වුණි. ඒ පිළිබඳව පොදු ජනතාව අතර පැතිර ගිය උපහාස කතාවකි මේ.
අවන්හලකට ගිය කම්කරුවන් දෙදෙනෙක් වොඩ්කා බොමින්, රටේ තත්ත්වය ගැන කතා කරමින් සිටින අතර, එක් අයෙක් මෙසේ ඇසීය.
''සත්ව ලෝකයේ දත් හතළිහක් සහ කකුල් හතරක් ඇත්තේ කාටද?''
''කිඹුලට...''
අනෙකා පිළිතුරු දෙයි.
''හරි. එතකොට, අපේ රටේ දත් හතරක් සහ කකුල් දෙක බැගින් තියෙන්නෙ කාටද?''
''දේශපාලන මණ්ඩලයේ උදවියට.''
අපේ රටේ දේශපාලන බිමේද, දත් හතරේ මෙන්ම කකුල් හතරේ, උදවිය සිටින බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඔවුහු පරිණත, දේශපාලන වෘත්තිකයෝ වෙති. එහෙත් අවාසනාව වන්නේ, ඒ පරිණතයන් බොහෝ විට එක දතක්වත් නැති, කිරි සප්පයන් මෙන් බොළඳ ලෙස හැසිරීමය.
ඒ කෙසේ වෙතත්, ජනතා ශාපයට බියෙන්, මන්ත්‍රීකමින් (දේශපාලනයෙන්දැයි ස්ථීරව කිව නොහැකිය) ඉල්ලා අස්වීම නම්, බොළඳ ක්‍රියාවකැයි අවතක්සේරු කළ නොහැකිය.
අපගේ මිතුරකුගේ අදහස අනුව, එම ඒකපුද්ගල ඉල්ලා අස්වීම, වඩා ඵලදායක වනු ඇත්තේ, අනෙක් මන්ත්‍රීවරුද එකා පසුපස එකා බැගින්, ගෙදර යාමට පටන් ගතහොත්ය. එය වර්තමාන සිරිලාංකීය දේශපාලනයේ, අලුත්ම ''ට්‍රෙන්ඩ් එක'' වෙනවා නම්, ජනතාවට යම් අස්වැසිල්ලක් ඇතිවනු නිසැකය.
''කිඹුලා කනවා ඉවසන්ට පුළුවනි. කොහිල කටු ඇනෙනවා ඉවසන්ට බැරි'' යැයි පිරුළක් ජනවහරේ පවතී. සිරි ලාංකිකයාටද දැන් සිදුවී තිබෙන්නේ ඒ ටිකමය. දත් ඇති කිඹුල්ලු මෙන් දත් නැති කිඹුල්ලුද, දණ බිම ඇනී සිටින මිනිසුන් හපා, ගිල දමති.
ජනාධිපතිවරණය සඳහා අලුත් අලුත් අපේක්ෂකයන් ඉදිරිපත්වීමද, මේ දිනවල දක්නට ලැබෙන තවත් දේශපාලන ට්‍රෙන්ඩ් එකකි. මේ කවුරුත් එන්නේ රට ගොඩ දමන්නටය. මෙතෙක් සිටි අයත් ආවේ ඒ කරුමාන්තයටමය. එහෙත් අපේ කරුමය වූයේ ඒ කිසිවකුටත් ඒ දේ හරිහැටි ඉටුකර ගත නොහැකි වීමය. අපට ඇති සැකය වන්නේ ඔය අප්පුහාමිලා කාට කාටත්, ගොඩ දමන්නට රටක් ඉතිරි වේද කියාය.
එක්තරා රටක, ජනපතිවරණය ආසන්නයේදී පැවති රුලියකදී අපේක්ෂකයෙක් මහත් ආවේගයෙන් යුතුව මෙසේ පැවසීය.
''මම ජනාධිපති පදවියට පත්වුණාට පස්සෙ මේ රටට වසංගතයක්ව තිබෙන වංචාව, දූෂණය සම්පූර්ණයෙන්ම නැතිකර, සෞභාග්‍යය උදා කරවනවා.''
කතාව අසා සිටි ජනපති ලේකම් අසල සිටි සගයකුට මෙසේ කීය.
''මෙයා මොනවද මේ කතා කරන්නෙ... ඊළඟ ඉලෙක්ෂන් එකේදී කියන්නත් ටිකක් ඉතිරි කරගන්න එපායැ.''
පිස්සු පොරවල් නොහොත් මානසික රෝගීන්, සමාජය ඉදිරියට පැමිණීමද, මේ කාලයේ තවත් ට්‍රෙන්ඩ් එකකි.
එක් රටක ජනාධිපතිවරයෙක්, මානසික රෝහල් පරීක්ෂණය සඳහා ගියේය. ඔහු ඉදිරියට ආ මානසික රෝගියෙක් මෙසේ ඇසීය.
''ඔබතුමා කවුද?''
''මම තමයි ජනාධිපති.''
''එහෙනං පරිස්සමින්.... ඕක කියන්ඩ ගිහිං තමයි මටත් මෙහෙ එන්ඩ සිද්ධ වුණේ...''
රෝගියා බැරූරුම් ලෙස කීය.
I කපිල කුමාර කාලිංග