ගෙවී ගිය සමයේ බොහෝ අර්බුදවලට මුහුණ දුන් සංචාරක කර්මාන්තය මෙවර විපතට පත්ව සිටින්නේ වැට් බද්ද නිසාවෙනි. සියයට දහ අටක් දක්වා වැට් බදු වැඩි කිරීමෙන් සංචාරක කර්මාන්තය වෙත එල්ල වී ඇත්තේ සුළුපටු බලපෑමක් නොවේ.
පසුගියදා වැට් බද්දෙන් සංචාරක කර්මාන්තය බලපෑමට ලක්ව ඇති බව සංචාරක, ඉඩම් හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවා පිළිගෙන තිබුණි. එහිදී ඔහු සංචාරක ක්ෂේත්‍රයේ මෙතෙක් වැට් බදු අය නොකෙරුණු පාර්ශ්ව වෙතින් වැට් අය කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව ද සිය කනගාටුව පළ කොට තිබුණි.
අමාත්‍යවරයා සඳහන් කළ පරිදි සංචාරක නියෝජ්‍ය ආයතන, මෙලෙස වැට් එකතු වූ නව කණ්ඩායමකි. මීට වසර කිහිපයකට ඉහතදී දේශීය සංචාරක නියෝජිත ආයතන වැට් බද්දෙන් නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබුණි. ඒත් මෙවර බදු සංශෝධනය හරහා එම ආයතන නැවතත් වැට් බදු ගෙවිය යුතු ආයතන ලෙස නම් කොට තිබේ.
සාමාන්‍ය පරිමාණයේ නියෝජිත ආයතනයක ප්‍රධානියකුගෙන් මෙම නව බදු සංශෝධනය පිළිබඳ අපි තොරතුරු විමසා සිටියෙමු.
“අපිට වැට් බදු අදාළ වුණේ නැහැ. මේ අවුරුද්දේ ඉඳන් සියයට 18 ක වැට් එකක් අපේ ආයතනවලටත් වදිනවා. මේක කලින් තිබුණු වැට් එක සීයට තුනකින් වැඩි වෙනවා වගේ දෙයක් නෙවෙයි. අමුතුවෙන්ම මේ බද්ද ගෙවන්න අපි ලෑස්ති වෙන්න ඕනෑ. අපේ ලාභයෙන් තමා මේ වැඩේ කරන්න වෙන්නෙ. මේ කර්මාන්තය තරග කරන්නේ දේශීය වෙළෙඳපොළක නෙවෙයි. තවත් ගොඩක් රටවල් බලාගෙන ඉන්නවා සංචාරකයෝ ආකර්ශනය කරගන්න. ඒ නිසා මේ වගේ තීරණ ගන්න කලින් වගකිව යුතු අය සෑහෙන්න හිතල බලන්න ඕනෑ."
මෙරට ප්‍රධාන පෙළේ සංචාරක නියෝජිත ආයතන රුසක් ද මෙම නව බදු ප්‍රතිපත්තිය සමඟ අර්බුද රුසකට මුහුණපා සිටින බව කියැවේ.
සංචාරක නියෝජිත ආයතන යනු ශ්‍රී ලංකාව තුළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ප්‍රජාවකි. සැබැවින්ම බලධාරීන් මෙවන් පිරිස් වෙත වඩාත් වැඩි සහයෝගයක් ලබාදීමට ක්‍රියා කළ යුතුය. මන්ද යත් රටේ ආර්ථික ගැටලුව විසදාලන්නට විදේශ විනිමය රට තුළට ආකර්ෂණය කර ගැනීමේ ප්‍රමුඛ කාර්යභාරය ඔවුහු සිදු කරමින් සිටිති.
සංචාරක හෝටල් සහ අවන්හල් පවත්වාගෙන යන පිරිස් වෙත ද නව බදු සංශෝධනය සමඟ ගැටලු රුසක් මතුව තිබේ. ඒ පිළිබඳ බෙන්තොට ප්‍රදේශයේ සංචාරක අවන්හලක හිමිකරුවකු අප වෙත සඳහන් කළේ මෙවන් අදහසකි.
“ඍජු වගේම වක්‍රවත් මේ බදුවලින් අපිට වෙන්නේ හානියක්. සංචාරකයන්ට ලබා දෙන භාණ්ඩ හා සේවාවල මිල අපිට ඉහළ දාන්න පහසු නැහැ. කොහොමත් සාමාන්‍යයෙන් මිල ගණන් ඉහළ මට්ටමක තමා තියෙන්නෙ. දැන් කියන විදියට වැට් එක විතරක් නෙවෙයි තවත් බදු ගොඩක් අපිට ඉස්සරහට ගෙවන්න වෙනවා. වෙළෙඳපොළෙන් ගන්න බඩුමුට්ටුවල ඉඳලා හැමදේකම මිල වැඩියි. අපේ ලාභෙ තමයි ටික ටික අඩුවෙන්නේ. අපි යන්තම් ඔලුව උස්සන්න පටන් ගත්තා විතරයි."
පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය ආදී හේතු නිසාවෙන් සංචාරක කර්මාන්තයේ සිදුවූ කඩාවැටීම අමතක කළ නොහැකිය. මෙවන් අවන්හල් සහ සංචාරක ආයතන රුසක් නැවත විවෘත කරනු ලැබුවේ පසුගිය වසර තුළදීය.
සියලු අර්බුදයන්ට පසුව සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වීමට පටන් ගත්තේ ගෙවී ගිය වසර තුළදී බව අපි දනිමු. මේ වන විට සැලකිය යුතු පරිමාවක සංචාරකයෝ ශ්‍රී ලංකාව තුළට පැමිණෙමින් සිටිති. ඇතැම් බලධාරීන් උත්සාහ කරන්නේ කල දුටු කල වල ඉහ ගැනීමට විය යුතුය.
“අපි අතේ සතේ නැතුව බිංදුවළු වැටිලා හිටියේ. මේ සීසන් එකේ තමයි ටිකක් ඔලුව ඉස්සුවේ. ඒත් ආයෙම අපිට මෙයාල බඩේ පහර ගහන්න යන්නෙ. ඇත්තටම ටුවරිසම්වලට බදු ගහන්න ඕනෑ නෑනෙ. මේකෙන් රටට හම්බවෙන ඩොලර් ටිකම ඇති. අපිට රස්සාව තියෙන්නේ හෝටල් ටික තිබුණොත්, රටට සුද්දෝ ආවොත් විතරයි. ඒ නිසා හෝටල් ටික ආරක්ෂා කරගන්න ඕනෑ."
අලුත්ගම සංචාරක පුරවරයේ වෙරළ නියාමක තරුණයකුගෙන් කළ විමසීමකදී ඔහු මෙලෙස පැවසීය. ඍජුව තමන් වෙත මෙම බදු බල නොපාන නමුත් මෙම කර්මාන්තය කෙරෙහි බදු පැනවීම අයහපත් ලෙස බලපානු ඇතැයි සැකයක් ඔවුන් තුළ තිබේ.
පසුගියදා සංචාරක අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ද වැට් බද්ද හේතුවෙන් සංචාරක කර්මාන්තය පීඩාවට පත්ව ඇති බව පිළිගත්තේය. ඉදිරියට සිදුකර ඇති සංචාරක කාමර ඇණවුම් සඳහා ද මේ වැට් බද්දේ බලපෑම සිදුවන බව ඇමැතිවරයා කීවේය. වැට් වැඩීවීම නිසා සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම වෙනස් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව සීගිරිය ආදී සංචාරක ආකර්ශනය දිනූ ස්ථානවල ප්‍රවේශ පත්‍ර සඳහා ද වැට් බද්ද බලපා ඇති බව කියැවේ. පසුගිය කාලයේ එක් විදේශීය සංචාරකයකුට සීගිරිය නැරඹීම සඳහා ඩොලර් 30ක මුදලක් අය කරනු ලැබූ අතර රජය වැට් බද්ද ක්‍රියාත්මක කිරීමත් සමඟ එම මුදල ඩොලර් 35.5 දක්වා වැඩි කොට නැවතත් එය ඩොලර් 36 දක්වා වැඩි කර ඇතැයි කියැවේ. එසේම වැට් ක්‍රියාත්මක වීමත් සමඟ ඩොලර් ගැනීම නවතා රුපියල්වලින් පමණක් අයකිරීම සිදුකිරීම නිසා සංචාරකයන් අපහසුතාවයට පත්ව සිටින බව සංචාරක මඟපෙන්වන්නෝ පෙන්වා දෙති.
මෙම තත්ත්වය හේතු කොටගෙන බොහෝ විදේශීය සංචාරකයෝ සීගිරිය නැරඹීමකින් තොරව සීගිරිය අවට පිදුරංගල ආදී දර්ශන නරඹා පිටව යති. සීගිරිය අවට පිරිස් පෙන්වා දෙන ආකාරයට ක්‍රමයෙන් සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් අඩුවෙමින් පවතී. වැට් බදු සංශෝධනයත් සමඟ තත්ත්වය තවත් බරපතළ විය හැකිය.
වැට් බද්දෙන් සිදුවන සැබෑ බලපෑමට අමතරව බදු පෙන්වා සංචාරකයන් නොමඟ යැවීමට ද ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවට වාර්තා ලැබෙමින් තිබේ. මෙරට ප්‍රධාන පෙළේ සිද්ධස්ථානවල පවා ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කොට එය නව බදු සංශෝධනය හේතුවෙන් සිදුවූ බව සඳහන් කරයි. එසේම තවත් සංචාරක මඟපෙන්වන්නන් පිරිසක් සංචාරකයන්ගෙන් මුදල් ගසා කෑමේ අරමුණෙන් බදු පිළිබඳ කතාව ඔවුන් වෙත හුවා දක්වන බවට ද චෝදනා එල්ල වෙමින් තිබේ.
එහෙත් සැබෑවටම නව බදු සංශෝධනය හේතුවෙන් සංචාරක කර්මාන්තය දිනෙන් දින පීඩාවට පත්වන බව අප පිළිගත යුතුය. අළු ගසා නැගිටින්නට උත්සාහ දරන සංචාරක කර්මාන්තය ආරක්ෂා කර ගනිමින් දියුණු කිරීම බලධාරීන්ගේ වගකීමයි. මෙම කර්මාන්තය යම් හෙයකින් කඩා වැටුණහොත් රටේ සමස්ත ආර්ථිකයට ද විශාල බලපෑමක් එල්ල වන බව සිහිපත් කළ යුතුය. සිදුවිය යුත්තේ වැඩි සංචාරක ආකර්ශනයක් ලබාගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමයි. සංචාරකයන් විශාල පිරිසක් රට තුළට පැමිණෙන විට ඔවුන් මෙරටදී වියදම් කරන්නේ විදේශීය මුදල් බව අප මතක තබාගත යුතුය. බදු ගසා ලබාගන්නා ලාභයට වඩා වැඩි ලාභයක් මේ හරහා රටට ලැබෙනු ඇත.
I චමිඳු නිසල් ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙන්