ඕමල්පේ හිමි කාලෙට ගැලපෙන දාන වට්ටෝරුව කියති
ඉහළ යන භාණ්ඩ මිලත් ජීවන වියදමත් නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඉල්ලා සිටින්නේ භික්ෂූන් වහන්සේලාට සරල දාන වේලක් සකස් කර පූජාකරන ලෙසයි.
උන්වහන්සේ දේශය සමඟ පැවසුවේ ව්‍යංජන දෙකක් සහිත දානයක් වුව සාංඝික කිරීමට හැකියාවක් පවතින බවයි. එසේම අතුරුපස සඳහා පළතුරු, පුඩිං, අයිස්ක්‍රීම්, කැවිලි වර්ග අනවශ්‍ය බවද සෝභිත හිමියෝ පවසති.
මේ ගැන වැඩිදුරටත් විස්තර කළ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසුවේ රට මෙවැනි තත්ත්වයකට පත්කළේ දූෂිත දේශපාලකයන් පිරිසක් විසින් බවයි. උන්වහන්සේ මෙසේද පැවසූහ. ''ලැබුවා වූ 2024 අවුරුද්ද මේ රටේ ඉතිහාසයේ අවාසනාවන්තම අවුරුද්ද වෙනවා. මිනිසුන්ට ජීවිතය පවත්වා ගැනීමට එදාවේල හොයාගන්න පවා දුෂ්කරයි. උපයනවිට බදු ගෙවන්නත් ඕනෑ. වියදම් කරන විට බදු ගෙවන්නත් ඕනෑ. ඉතිරිවෙච්ච මුදලක් ඉතුරුකරන විට බදු ගෙවන්නත් ඕනෑ. ලෝකයේ කිසිම රටක මේ වගේ තත්ත්වයක් නෑ. වෙනත් රටවල් අයකරන බදුවලින් සිදුකරන්නේ මහජන යහපතට සේවයක් කිරීමයි. මෙහෙ සිදුවන්නේ දේශපාලනඥයන්ගේ වංචාවලින්, හොරකම්වලින් සිදුවූ අලාබ අයකර ගැනීමයි.
මේ වගේ කාලකන්නි සමාජයක් ලෝකයේ තවත් නැතුව ඇති. සොබාදහමත් දැන් කම්පිත වෙලා. එකදිගට වහිනවා. ගොවිතැන් විනාශයි. එළවළු මිල අහස උසට නැගලා. මෙවන් වටපිටාවක ජීවත්වන ජනතාව දානෙ දෙන්නෙ කොහොමද?
'පරපටි බද්ධා මේ ජීවිකාතී' යන වදන භික්ෂූන් වහන්සේලා නිතර සිහිපත් කළ යුතුයි. එහි අරුත මගේ ජීවිතය යැපෙන්නේ අනුන්ගෙනි යන්නයි. ගිහි දායක ඇත්තො දුක්විඳලා හරිහම්බ කරගත් මුදලින් තමයි දානේ වේල සකස්කර පූජා කරන්නේ. මහා පරිමාණයෙන් ව්‍යංජන ගොඩක් එක්ක දානෙ ලබාදීමට උනන්දුවීම අනවශ්‍ය බවයි පවසන්න ඇත්තේ. ඒ වගේම ශ්‍රද්ධාවෙන් දෙන දානයට ව්‍යංජන දෙකක් වුවත් තිබීම ප්‍රමාණවත්. මේ අවස්ථාවේ පන්සල්වලිනුත් ඉල්ලා සිටින්න ඕනේ මහා බුද්ධ ප්‍රතිමා, විශාල චෛත්‍ය, ගොඩනැගිලි ඉදිකිරීම් නවත්වලා දායකයන්ට සහනයක් ලබාදෙන ලෙස. ඒ වගේම දැන් ආගමේ නාමයෙන් ක්‍රියාත්මක වන අටපිරිකර, දොළොස් පිරිකර, සොළොස් පිරිකර, අටළොස් පිරිකර වගේ උපක්‍රමවලටත් රුවටෙන්න එපා. බුද්ධාගම විනාශ කිරීමේ විවිධ උපක්‍රමත් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මිත්‍යා දේවල්වලිනුත් බේරී සිටිය යුතුයි.
භික්ෂුන් වහන්සේට සාංඝික දානයක් ලබාදීම සැදැහැවත් බෞද්ධයාගේ සතුටට හේතුවකි. මේ නිසා කුමන ආකාරයෙන් හෝ දානෙ සකස්කර පූජා කිරීමට බොදුනුවෝ උත්සාහ කරති. පළමුවැනි සාංඝික දානය ලෙස බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ එක් පසෙකින් භික්ෂු සංඝයාද එක් පසෙකින් භික්ෂුණී සංඝයාද මධ්‍යයේ තථාගතයන් වහන්සේද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍රමුඛ මහා දානයයි. මේ දානය බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ.
පුරාණයේ සාංඝික දාන හතක් ගැන පිටක ග්‍රන්ථවල කියවුණද අද ඉන් ලබාදිය හැක්කේ භික්ෂු සංඝයාට පමණක් දෙන දානය වන තෙවැනි සාංඝික දානයයි. මේ සාංඝීක දානය උපරිම ව්‍යංජන සහ අතුරුපසවලින් යුක්තව පානයට තැඹිලි වතුරද ලබාදෙමින් පූජා කිරීමට බෞද්ධයෝ උත්සාහ කරති. ඉන් නිරාමිස ප්‍රීතියක් ලබාගනිති. නමුත් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දානෙ වේලක් ලබාදීම නාගරිකයන්ට පවා අපහසු වී ඇති අතර දුෂ්කර ගම්මානවල එය තවත් අපහසු වී ඇති බව කිවයුතු නොවේ.
බෞද්ධයන්ගේ පවුලේ ඥාතියකු මියගිය විට පින් අනුමෝදන් කිරීම සඳහා මෙන්ම විවාහ මංගල්‍යයකට පෙර, අලුත් නිවෙසකට ගිය විට, උපන් දිනයක් අරමුණු කර ගනිමින් සාංඝික දාන පිරිනැමීම අද දැකගත හැකිය. දානය ලබාදීමේ බෞද්ධ අරමුණ නම් තමන්ට දිය හැකි බාහිර කවර දෙයක් වුවද දානය ලෙස දෙමින් ඒ පිළිබඳ අදහස, ඇල්ම නැතිකර ගැනීමයි. එය දාන පාරමිතාවකි. මෙයට ආහාර පමණක් නොව, ඇඳුම් පැළඳුම් පොත්පත් ගෙවල් දොරවල් ආදී ඕනෑම දෙයක් අයත්ය. මෙවැනි දන්දීම් බුදු දහමේ දක්වන්නේ ආමිස දානය ලෙසිනි.
බුදු දහමේ සඳහන් වන අට මහා කුසලයෙන් දෙවැනි කුසලය වන්නේ සාංඝික දානයයි. සාංඝික යනු සංඝයා උදෙසා දෙනු ලබන දානය වේ. සංඝයා යනු අතීතයේ වැඩසිටි, වර්තමානයේ වැඩ වෙසෙන සහ අනාගතයේ වැඩ හිඳින තුන් කාලයටම අයත් සංඝයා වහන්සේ වෙති.
තවත් භික්ෂූන් වහන්සේ නමක් මේ ගැන දේශයට තම අදහස් මෙසේ පැවසූහ:
''සැහැදැවත් බෞද්ධයා තම තමන්ගේ වත්කම අනුව තමයි දානෙ ලබාදෙන්නේ. වත්කම වැඩි පුද්ගලයා වැඩි ව්‍යංජන ආදිය සමඟින් දානෙ දෙනවා. වත්කම අඩු ඇත්තො මාළුපිනි කිහිපයක් සමග දානෙ දෙනවා. ඒකත් අපහසු නම් දානෙ නොදී ඉන්නවා. නමුත් ප්‍රශ්නය වන්නේ කෙතරම් බඩු මිල ඉහළ නැග්ගත් මත්පැන් ශාලා අසල පෝලිම් දකින්න ලැබීමයි. අනික රට මේ තත්ත්වයට පත්කළේ ජනතාව නොවෙයි. පාලකයොනේ. අදත් පාලකයො සුරසැප විඳිනවා. බෞද්ධයා දානෙ වේලක්වත් දෙන්න විදිහක් නැති තත්ත්වයට පත්කළේ කව්ද? හොරකම් කර රට බංකොලොත් කළේ පාලකයොනේ.''
රටේ මෙවන් තත්ත්වයක් පැවතියද ඒ ගැන අසංවේදී සමහර විහාරස්ථානවලින් මස්, මාළු සහිතව ව්‍යංජන රාශියකින් යුක්තව දානෙ පිළියෙළ කළ යුතු බව සඳහන් උපදෙස් පත්‍රිකා දායක නිවෙස්වලට ලබාදී ඇති අන්දම අපට පසුගිය දිනවල මුහුණුපොතේ සංසරණය වන පුවත්වලින් දැකගත හැකිවිය. මේ අතර බෞද්ධයන්ගෙන් විශාල වශයෙන් සම්මාදම් කරමින් මහා පරිමාණ බුදු පිළිම, දාගැබ් හදන විහාර නම් අපට ඕනෑතරම් දැකගත හැකිය. පසුගිය කාලයේ සමහර විහාරවල කඨින පිංකම් පැවැත්වූයේද දායකයන් ගසාකමින් ලක්ෂ ගණන් මුදල් නාස්ති කරමිනි.
මේ අතර අපට හමුවුනු බොහෝ දෙනා පවසා සිටියේ පවත්නා බදු ගැසීම නිසා ආගම ඇදහීමටවත් නිදහසක් නැති බවයි. පන්සලට ගොස් මලක් පූජාකර පානක් පත්තු කිරීම වෙනුවට හෙට දවසේ කෑමවේල උපයාගන්නා ආකාරය කල්පනා කළ යුතු බවයි.
I කුසුම්සිරි විජයවර්ධන