2024 ජනවාරි 13 වන සෙනසුරාදා

දරුවන් පාසලේදීම ව්‍යවසායකයන් කරවන කාර්මික සංවර්ධන මණ්ඩලය

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 74

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රට පුරා විශාල සේවාවන් රැසක් සිදුකරන කරන ආයතනයක්.  ව්‍යවසායකත්වය දිරිගන්වන්න ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දක්වන දායකත්වය සුළුපටු නැහැ. ඒ අතරිනුත් මේ මොහොතේ පාසල් තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉතා වැදගත් වැඩ කොටසක් සිදුකරමින් සිටිනවා.

අද අපි ඒ පිළිබඳව කතාබහ කරන්න තීරණය කළා. මේ සංවාදයට අපිත් එක්ක එකතු වුණේ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායක අංශයේ අධ්‍යක්ෂ රේණුකා ජයලත් මහත්මිය.

ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යවසායකත්වය පිළිබඳ කතාබහකින් අපි සංවාදය ආරම්භ කළා.

''සමස්තයක් හැටියට කතා කළොත් අපේ රටේ ව්‍යවසායකයෝ හරි අඩුයි. අපේ රටේ ශ්‍රම බලකායෙන් ව්‍යවසායකයෝ ඉන්නේ සීයයට 2.8ක් වගේ සුළු ප්‍රමාණයක්. ඒත් බොහෝ දියුණු රටවල්වල මේ ප්‍රතිශතය ගොඩක් ඉහළයි.''

අධ්‍යක්ෂකතුමිය පැහැදිලි කරන විදිහට ව්‍යවසායකයන් තමයි රටක රැකියා උත්පාදනය කිරීමේ ප්‍රමුඛයන් බවට පත්වෙන්නෙ. අද අපේ රටේ ගොඩක් දෙනෙක් රට හැරදාලා වෙනත් රටවල්වල රැකියා සොයාගෙන යන බව ඔබ දන්නවා. ඒකට හේතුව ඔවුන්ට සුදුසු වැටුපක් ලැබෙන රැකියා රට තුළ නොවීම. නමුත් ව්‍යවසායකත්වය දියුණු රටවල ඒ අවස්ථා ඕනෑතරම් තිබෙනවා.

අපිට මෙහෙම වෙන්න  සැබෑ හේතුව තමා රටේ ව්‍යවසායකත්වය දුර්වල වීම.

''රජයකට ඇත්තටම රැකියා නිර්මාණය කරන්න අපහසුයි. රැකියා නිර්මාණය කරන්න පුළුවන් කණ්ඩායම තමයි ව්‍යවසායකයෝ. ව්‍යවසායකයන් වැඩි වුණොත් තමයි මේ රටේ රැකියා ප්‍රශ්නය විසඳෙන්නෙ. අනෙක් කාරණාව රටේ ව්‍යවසායකයෝ වැඩි වුණොත් තමයි රටේ නිෂ්පාදනය වැඩිවෙන්නෙ. නිෂ්පාදනය වැඩි වුණොත් තමයි රට තුළ ආදායම් උපදින්නේ. රටට විදේශ විනිමය ලැබෙන්නෙ. අපනයනය සංවර්ධනය වෙන්නේ.''

රේණුකා ජයලත් මහත්මිය පෙන්වා දෙන ආකාරයට සැබෑවටම රටේ ආර්ථිකය සවිබල ගන්වන ප්‍රධාන සාධකය ව්‍යවසායකත්වය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව අංශය වෙතින් සිදුකරන්නේ මොනවද? අපි මීළඟට ඇගෙන් ප්‍රශ්න කළේ ඒ පිළිබඳව.

''අපේ අංශය හරහා සිදුකරන්නේ ව්‍යවසායකත්වය දිරිගැන්වීම. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ රටේ කර්මාන්ත දියුණු කරන්න. ඒත් අවම වශයෙන් අපේ රට තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක්වත් නැහැ. අපි ඒ සංස්කෘතිය නිර්මාණය කිරීමට උත්සාහ කරනවා.''

ඇත්තටම මේ උත්සාහය අගය කළ යුතු එකක්. ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ වෙනකොට රටේ ව්‍යවසායකත්වය වැඩි දියුණු කරන්න හරිම තැනින් වැඩේ පටන් අරගෙන තියෙනවා. මේ වෙනකොට පාසල් තුළ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව අංශය බොහොම සක්‍රීයව වැඩ කරමින් ඉන්නවා.

''අපි දරුවෙක්ව පාසල් යවන්නේ හොඳ රස්සාවක් කරන්න ඉගෙන ගන්න කියලා. කවුරුත් කියන්නෙ නෑ දරුවන්ට ව්‍යවසායකයෙක් වෙන්න, රටේ අනිත් අයට රැකියාවක් ලබාදෙන්න කියලා. මේක අතීතයේ ඉඳන්ම අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තිබුණු වරදක්. අපිට තියෙන්නෙ රැකියා ඉලක්ක කරගත්, විභාග මානසිකත්වය සහිත අධ්‍යාපන ක්‍රමයක්. ඒත් දැන් අපේ අංශය හරහා දරුවන්ට පාසල තුළදීම ව්‍යවසායකත්වය ලබාදෙන්න අපි කටයුතු කරනවා.''

මේ වනවිට පාසල් තුළ ව්‍යවසායකත්ව කව නිර්මාණය කරමින් මේ වැඩසටහන කාර්මික සංවර්ධන මණ්ඩලය ආරම්භ කරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙනුත් මේ සඳහා සහයෝගය ලැබෙනවා. වසර පහක් හයක් ගතවෙද්දී මේ ප්‍රතිඵල අපිට දැකගන්න පුළුවන් වේවි.

''අපි පාසල් ගුරුවරුන්ට පුහුණුව ලබාදීලා තියෙනවා. කොහොමද පාසල් තුළ ව්‍යවසායකත්වය ඇති කරන්නේ කියලා. මේ වෙනකොට දරුවන් තුළින් කැපී පෙනෙන වෙනසක් නිරීක්ෂණය වෙනවා. පාසල් ව්‍යවසායකත්ව කව හරහා දරුවෝ විවිධාකාර පුහුණුවීම් ලැබුවා. අපි සබන් හදන්න උගන්නනවා, ඉටිපන්දම් හදන්න උගන්නනවා, යෝගට් හදන්න උගන්වනවා, සපත්තු සෙරෙප්පු හදන්න උගන්වනවා. මේ විදිහට දරුවන්ට අවශ්‍ය තාක්ෂණය අපි දෙනවා. දැන් ඔවුන් විවිධ නිෂ්පාදන සිද්ධ කරන්න පටන් අරගෙන.''

පහුගිය සමයේදී ලංකා කාර්මික සංවර්ධන විසින් පවත්වපු කොළඹ, මහනුවර, යාපනය, ගාල්ල ප්‍රදර්ශනවලදී මේ තත්ත්වය හොඳින්ම දැකගන්න ලැබුණා. අධ්‍යක්ෂකතුමිය කියන කතාව සම්පූර්ණයෙන්ම සත්‍යයක්. නොමිලේ ප්‍රදර්ශන කුටි පවා පාසල් දරුවන්ට ලබාදෙන්න කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු කරලා තිබුණු බව අපි දැක්කා.

''අපි පාසල්වල දරුවෝ දහය පහළොව ගෙනැල්ල පුහුණු වැඩසටහන් කළා. මේ දරුවන්ට තාක්ෂණික පුහුණුව කළමනාකරණ පුහුණුව ලබාදීමට කටයුතු කළා. ඒ අනුව තව අවුරුදු තුනකින් සමාජගත වෙන්නේ කුසලතාවයෙන් පරිපූර්ණ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් දරුවෙක්.''

මේ දරුවන් පාසල් අධ්‍යාපනය නිමා කරන විට ඔවුන් අතහැර නොදමන බවත්, රේණුකා ජයලත් මහත්මිය අප සමග පැවසුවා.

''මේ දරුවෝ පාසලෙන් එළියට යනකොට මොකක් හෝ කර්මාන්ත අදහසක් සහිතව කර්මාන්තයක් කරන්න ලෑස්ති වෙනව නම්, අපි සහයෝගය ලබාදෙනවා. අපි ලබාදෙනවා දරුවන්ට සියයට හයක පොලියට ණය මුදලක් කාර්මික සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත අරමුදල හරහා.''

මීට අමතරව දරුවෙක් ව්‍යවසායකත්ව අදහසක් සහිතව තවදුරටත් පුහුණුව අපේක්ෂා කරනවා නම් කාර්මික සංවර්ධන මණ්ඩලය ඒ වගකීමත් භාරගැනීමට සූදානමින් සිටිනවා. ව්‍යවසායකත්ව අංශයේ අධ්‍යක්ෂතුමිය සඳහන් කළේ අදාළ ක්ෂේත්‍රවල ආයතන සම්බන්ධ කර ගනිමින් දරුවන් සඳහා සීමාවාසික පුහුණුව ලබාදීමේ හැකියාව තමන් සතු බවක්.

''අපි සමහර පාසල්වලට මහණ මැෂින් ලබාදීලා තියෙනවා. දැන් දරුවෝ බෑග් මහන්න පටන් අරගෙන. අපි දරුවන්ට පර්ස්, පැන්සල් කේස් වගේ මහන්න පුරුදු කරලා තියෙනවා. දැන් ඒ දරුවෝ සාර්ථකව ඒක කරගෙන යනවා. පාසල්වල ආපනශාලාවල තමන්ගේ පාසලේ සිසුන්ට ඒ දේවල් අලෙවි කරන්නත් මේ දරුවන් පෙළඹිලා.''

දශක ගණනාවක සිට ජාතිය ඉල්ලා සිටි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ව්‍යවසායකත්ව අංශය අරඹා ඇති බව කීමට මැලිවිය යුතු නෑ. රේණුකා ජයලත් මහත්මිය පවසන ආකාරයට මේ ව්‍යාපෘතිය සවිමත් කිරීම සඳහා ඔවුන් තවත් බොහෝ උපාය උපක්‍රම යොදා තිබේ.

''මේ ව්‍යවසායකත්ව කව සඳහා සම්බන්ධ වෙන්න අපි ගුරුවරු අටසීයක් පුහුණු කළා. මේ වෙනකොට පාසල් තුන්සියයකට අධික ප්‍රමාණයක මේ කව ආරම්භ කරලා තියෙනවා. තවදුරටත් මේ ව්‍යාපෘතිය පුළුල් වෙනවා. පසුගිය කාලය තුළ වැඩිපුරම ක්‍රියාකාරීව කටයුතු කරපු ගුරුවරු දහ දෙනෙක් අපි තෝරගත්තා. මේ ජනවාරි 22 වැනිදා අපි ඒ අයව මණ්ඩලයේ වියදමින් ඉන්දියාවේ සංචාරයකට එක්කගෙන යනවා. අපි හිතනවා මේක දැකලා අනිත් ගුරුවරුත් දිරිමත් වෙයි කියලා.''
ඉදිරියේදී දරුවන්වද කර්මාන්ත ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීම සඳහා විදෙස් සංචාර වෙත යොමු කිරීමේ අරමුණක් ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සතු බව රේණුකා ජයලත් මහත්මිය අප සමඟ වැඩිදුරටත් සඳහන් කළා.

මෙය සැබෑවට ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය වීමේ හා සුපසන් බලාපොරොත්තු දනවන කතාවක්. දියුණුවුණු බොහෝ රටවල්වල ඉතිහාසයේ මෙවන් වූ පරිච්ඡේදයක් ලියැවී තිබෙනවා. ඒ නිසාම ඇතැම් විට මේ ව්‍යාපෘතිය ලොව දිනූ ජාතියක් සිය දියුණුව වෙනුවෙන් තැබූ පළමු පියවර වීමටද පුළුවන්. අපේ පැතුමත් එය එලෙසින්ම වනු දැකීමයි.

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00