වනාන්තරවලට වන ගැහැට නම් ඉවරයක් නැත. රටේ සැමතින්ම ඒ ගැන අසන්නට ලැබේ. පසුගියදා සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තර කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ කර ඇති රක්වානේ තුනේ කණුව ප්‍රදේශයේ ටුලුකන් සහ බෝයින් ප්‍රදේශයේ සිදුවන වන සංහාරය සම්බන්ධව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කතාබහට ලක්විය. එහිදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේ මේ සම්බන්ධව ඉක්මනින් නඩු පවරන ලෙසයි. නමුත් එය සිදුවන බවක් නම් අපට දැනගැනීමට නැත.
''මේ වනාන්තර සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් බවට පත්කරන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. ඉංග්‍රීසි පාලන කාලයේදීවත් මේවා විනාශ කළේ නැහැ. මේවායින් අවට ඇළ දොළ පෝෂණය කරන ජල උල්පත් රාශියක් උපත ලබනවා'' යයි ගැමියෝ පවසති.
''මේ වනාන්තරය දෙල්වල වළංකන්ද රක්ෂිතයට යා කිරීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබෙනවා. මේවා ඉක්මනින්ම පවරාගෙන අදාළ කටයුතු කළ යුතුයි. එසේ නොවුණහොත් මේ වනය විනාශ වෙලා යාවි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අයත් ඉඩම් කට්ටි 21ක් සිංහරාජයේ පරිවාර වනාන්තර බවට ප්‍රකාශ කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට යෝජනා වී තිබෙනවා. ඒ අතරින් ඉඩම් කට්ටි තුනක් මා සතු බලතල අනුව පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. කැලෑ එළිකිරීම ගැන කටයුතු කිරීමට බලතල ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියට. ඒ ගැන කිහිපවරක්ම ඒ අධිකාරියට දැනුම් දුන්නා'' ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් ජී.එල්.ඩබ්ලිව්. ප්‍රතිභා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සඳහන් කළාය.
අද වනවිට දකින්න ලැබෙන්නේ සිංහරාජය වටා පිහිටි අනාරක්ෂිත වනාන්තර අතුරෙන් වැඩි වශයෙන් එළිකරනු ලබන්නේ උප කඳුකර වැසි වනාන්තර බවයි. මෙම වනාන්තර ප්‍රදේශ තුළ සිංහරාජයට පමණක් ආවේණික සත්ව සහ ශාක විශේෂ බහුලව වාර්තා වේ. මේ නිසා මෙම අනාරක්ෂිත වනාන්තර ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට පවරා ගැනීම කඩිනමින් සිදුකළ යුතුව ඇති බව පරිසරවේදීහු පවසති.
වන විනාශය සිදුවන තවත් කොටසක් වන්නේ සිංහරාජ වන රක්ෂිතයේ පන්නිල- වළංකන්ද කොටසට මායිම් ව පිහිටි අක්කර 600කට වඩා වැඩි විශාලත්වයකින් යුක්ත රෝස්මෙරි වත්ත වනාන්තරයයි. එහි සිදුවන්නේ වනය එළිකරමින් තේ වගාව හා එනසාල් වගාවයි. මෙම වනාන්තර අයත් වන්නේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන දකුණ හා කොට්ටල යන ග්‍රාම නිලධාරී වසම්වලටයි. රෝස්මෙරි වත්ත වනාන්තරය වතු කොටස් 5 කින් යුක්තය. අක්කර 129ක් වන රෝස්මෙරි වත්ත, අක්කර 255ක් වන බොයිනේ වත්ත, අක්කර 123ක් වන එවර්ටන් වත්ත සහ අක්කර 40 බැගින් වන ටුලුකන් වත්ත හා ග්ලෙනල්වා වත්ත වශයෙන් මෙම වනාන්තරය නම්කර තිබේ.
මෙම වනාන්තරවලින් ආරම්භ වන දොළ පහරවල් ලෙස ඉදිකඩ දොළ, බීරි දොළ, අමුණුකරේ දොළ, හල් දොළ, පොළොන් ඇල්ල, හීන් දොළ, අනන්ත දොළ හා සන්නස් දොළ දැක්විය හැකිය. මේවා අතරින් බහුතරයක් කළු ගඟ පෝෂණය කරයි. ඊට අමතරව රක්වාන දොළ ඔස්සේ වලවේ ගඟටද මෙම වනාන්තරයේ දියපහරවල ජලය එක් වේ. රක්වාන කුඩා නගර ජල ව්‍යාපෘතිය, රක්වාන ප්‍රාදේශීය සභා ජල ව්‍යාපෘතිය, ගංගොඩ - කොට්ටල ප්‍රජා ජල ව්‍යාපෘතිය, වෙරළුගහමුල පැරණි හා වෙරළුගහමුල නව ප්‍රජා ජල ව්‍යාපෘතිය යන ජල ව්‍යාපෘති මගින් පවුල් 5000 කට පමණ පානීය ජලය සැපයීම මේ වනාන්තර පද්ධතියේ ඇළදොළවලින් සිදුවේ.
මේ වන හානිය ගැන පවසන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර:
''මේ වනවිට වළංකන්ද කොටස හා සම්බන්ධව පිහිටා ඇති ටුලුකන් වත්තේ ගල්ඇන්ඳහේන ප්‍රදේශයේ අක්කර 15ක පමණ වනාන්තර ප්‍රදේශයක් නීති විරෝධීව ව්‍යාපාරිකයෙක් අත්පත් කර ගෙන සිටිනවා. වනාන්තරයේ යටි ස්ථරය සම්පූර්ණයෙන්ම ඉවත්කර 2023 වසරේ මුල් කාලයේදී එනසාල් වගාව ආරම්භ කළා. ටුලුකන් වත්තේ වනාන්තරවල සිට බොයිනේ වත්තේ වනාන්තරද මේ වනවිට එළිකර එනසාල් සහ තේ වගාව සිදුකරමින් සිටිනවා.
මෙසේ වනාන්තර ඉඩම් එළිකරන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් අක්කර 5ක පමණ වනාන්තර භූමියක් බදු පදනම මත ලබාගෙන එය යොදාගෙනයි. මේ වනවිට නීති විරෝධීව එළිකර තිබෙන වනාන්තර අක්කර 15ක් දැකගත හැකියි. සිංහරාජ වන රක්ෂිතයට මායිම්ව පිහිටි මෙම වනාන්තර ඉඩම වටා විදුලි වැටකුත් තනා තිබෙනවා.''
රෝස්මෙරි වත්ත හා එවර්ටන් වත්ත යන වනාන්තර ඉඩම් තවත් පුද්ගලයන් කිහිප දෙනකු විසින් අත්පත් කර ගෙන විවිධ කටයුතුවලට යොදාගෙන තිබෙන බවත් සජීව චාමිකර පවසා සිටී.
ආරක්ෂිත නොවන මේ සියලු වැසි වනාන්තර එළිකිරීම් සිදුකරනු ලබන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. පනතට අනුව හෙක්ටයාර 1ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයකට යොදාගන්නේ නම් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුය. එවැනි අනුමැතියකින් තොරව නීති විරෝධීව යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු වුවත් එවැන්නක් සිදුව නැත.
මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පළාත් කාර්යාලයේ නිලධාරීන් මෙම නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයන්ට උපදෙස් ලබා දී ඇත්තේ එකවර හෙක්ටයාර එකකට වඩා අඩු නැතහොත් අක්කර 2.5කට වඩා අඩු වනාන්තර කොටස් හෝ සිංහරාජ වන රක්ෂිතයේ මායිමේ සිට මීටර 100 කට වඩා දුරින් පිහිටි වනාන්තර හෝ එළි කිරීම සිදු කරන ලෙස බව සජීව චාමිකර සඳහන් කර සිටී. ''ඒ ආකාරයෙන් සිදුකරන වනාන්තර එළිකිරීම් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට අයත් නොවන බවට නීති විරෝධීව වනාන්තර එළි කරන පුද්ගලයන්ට මෙම නිලධාරීන් විසින් උපදෙස් ලබා දී තිබෙනවා. අප මෙම වන විනාශයන් සිදු කරන ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම ක්‍රියාවල නිරත පුද්ගලයන් අප සමඟ පැවසූවේ මේ ආකාරයෙන් කටයුතු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ද ඉඩම් ජාවාරම්කරුවන් හා එක්ව වනාන්තර ඉඩම් කොල්ලය සිදු කරමින් ඉන්නවා'' යයි සජිව පවසයි.
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රජයට යෝජනා කරන්නේ සිංහරාජ වන රක්ෂිතය වටා කිලෝමීටර 2ක කලාපයේ පිහිටි සියලු වනාන්තර ආරක්ෂිත තත්ත්වයට පත් කරන ලෙසය. නමුත් එය ක්‍රියාත්මක වන බවක් නම් අපට පෙනෙන්ට නැත. කැලෑ කැපීම ගැන සොයාබැලීමට ගිය ඇතැම් රජයේ නිලධාරීන්ට ඉඩම් හිමියකු තර්ජනය කර ඇති බවද අසන්නට ලැබුණි. රජයේ නිලධාරින් මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නත් එය තවම සිදු නොවීමෙන් අපට පෙනෙන්නේ මේ වනාන්තර විනාශය පිටුපස අදෘෂ්‍යමාන හස්ත රාශියක් ක්‍රියාත්මක වන බවය.
I කුසුම්සිරි විජයවර්ධන