''කැරට් දාලා කොත්තුවක්ද? කැරට් නොදා කොත්තුවක්ද?''
මේ අමුතුම කොත්තුවකි. පසුගිය දිනෙක රාත්‍රියේ කොත්තුවක් ගැනීමට කෙනකුගෙන් කොත්තු බාස් ඇසුවේ එවැන්නකි. කෙනකුට මෙය සිනහවට කරුණක් වනු ඇත. නමුත් සැබෑ සිදුවීම නම් මේ දිනවල කැරට් මිල ඉහළ යාමත් සමඟ කොත්තුවට දමන කුඩා කැරට් කැබැලිවලට ද ඉහළ මිලක් නියම වී තිබීමය. ඒ නිසාම කැරට් නිසා කොත්තු වර්ග කර ඇත. කැරට් නොදැමූ කොත්තුව පෙර මිලට ගත හැකි වුවද කැරට් දැමූ කොත්තුවක මිල ඉහළ ගොස් තිබේ. ෆ්‍රයිඩ් රයිස් එකේ ඉරණම ද එයමය.
පසුගිය දිනෙක මෑත කාලයේ වෙළෙඳපොළේ වැඩිම මිලකට කැරට් අලෙවිය වාර්තා වුණු බව වෙළෙන්දෝ පවසති. ඒ අනුව හොඳ තත්ත්වයේ ඇති කැරට් කිලෝවක් පසුගියදා අලෙවි වී තිබුණේ තොග මිල රුපියල් දෙදහස් පන්සීයටය. එලෙස තොග මිල රුපියල් දෙදහස් පන්සීයට අලෙවි වන විට සිල්ලර මිල ඊට ඉතා වැඩි මුදලක් විය. නමුත් පාරිභෝගිකයන් එවැනි වැඩි මුදලකට එළවළු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එළවළු මිලෙහි යම් සුළු අඩුවීමක් නැවතත් දක්නට ලැබුණි.
''දැන් නම් එළවළු කාලා හමාරයි. අපි දවස් තුනක්ම එළවළු කඩේ වහලා තිබ්බා. ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු ගෙනත් විකුණපු අපට ඒ මිලට මෙහාට ගෙනත් විකුණන්න බැහැ. පෑලියගොඩ එළවළු මධ්‍යස්ථානයේම කැරට් කිලෝවක් රුපියල් එක්දාස් දෙසීයයි. බෝංචි කිලෝවක් රුපියල් හත්සිය පනහයි. බීට්රෑට් රුපියල් හත්සිය පනහයි. ගෝවා රුපියල් හයසිය පනහයි අටසීයයි අතර මුදලක් වුණා. ඒ සාමාන්‍ය තත්ත්වයේ එළවළු. හොඳම තත්ත්වයේ එළවළු මිල ඊට වඩා වැඩියි. ඉතින් ඒ වගේ මිලකට පෑලියගොඩට ගිහින් අරගෙන ඇවිත් අපි මෙහේ කීයටද විකුණන්නෙ. එළවළු ගේන්න යන වාහනේ තෙල් ටිකත් පාඩුයි. අපි එළවළු අරගෙන ඒක වාහනයට පටවන්නත් මනුස්සයෙක්ට සල්ලි දෙන්න ඕනෑ. කඩේ ගෝලයන් දෙන්නට දවස් පඩි දෙන්න ඕනෑ. ලයිට් බිල් ගෙවන්න ඕනෑ. ඒ හැමදේම කරන්න ගියොත් අතින් පාඩුයි. ඊට වඩා හොඳයි මේ දවස් ටිකේ කඩේ වහලා තියෙනවා.'' යැයි නුගේගොඩ එළවළු වෙළෙඳසල් හිමි ආනන්ද ගීගෙනගේ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
කෙසේ වුවද මේ දිනවල බොහෝ එළවළු වෙළෙඳසල්වල මිල සටහන් වී ඇත්තේ ග්‍රෑම් සියයේ මිල අනුවය. එය සුපිරි වෙළෙඳසල්වලට සාමාන්‍ය සිදුවීමක් වුවද සිල්ලර හෝ තොග එළවළු වෙළෙඳසල්වලට එය විශේෂිත වූ සිදුවීමකි. බොහෝ එළවළු වෙළෙඳසල් මින් පෙර පාරිභෝගිකයන්ට ලබා දුන් අවම ග්‍රෑම් ප්‍රමාණය වූයේ ග්‍රෑම් දෙසිය පනහකි. ඇතැමුන් ග්‍රෑම් දෙසිය පනහ නොදුන් අවස්ථා ද විය.
''ග්‍රෑම් පන්සීයක් ගන්න. දෙසිය පනහක් දෙන්න බැහැ''. ඇතැම් වෙළෙඳුන් පැවසුවේ එලෙසිනි. නමුත් අද වන විට ග්‍රෑම් පන්සීය හෝ කිලෝවක් මිලදී ගන්නා පාරිභෝගිකයන් සොයාගැනීම ද අපහසුය. ඒ තරමට එළවළු මිල අහස උසට ගොසිනි. පාරිභෝගිකයන් එළවළුවලින් ඈත් වී හමාරය.
''දැන් එළවළු නෙවෙයි වහ කන්න වෙන්නෙ. ඉස්සර සුප් එකට ඕනෑ වුණාම ෆුඩ් සිටියට ගිහින් කැරට් ගෙඩියක්, බෝංචි කරල් කිහිපයක්, අල ගෙඩියක් වගේ එළවළු ටිකක් කිරාගෙන අරගෙන ආවා. දැන් අපි හතරදෙනාට දවල් උයන්නෙත් ඒ සුප් එකට වගේ පොඩි එළවළු ටිකක් ගෙනල්ලයි. හැබැයි ඉතින් කැරට්, බෝංචි නම් කනව බොරු. ඉස්සර අපේ ගෙදරට පතෝල, වැටකොළු ගෙනාවට ගෙදර අය කැමැති නැහැ. දැන් ඒවත් ගිනි ගණං. මෙහෙම ගියොත් ඇඟට හරි හමන් පෝෂ්‍යදායී ආහාර නොගැනීම නිසා අපේ රට මන්දපෝෂණයෙන් පළවෙනි තැනට තේරෙන්න බැරි නැහැ. රුපියල් දාහක් අරගෙන පොළට ගියාම ෂොපින් බෑග් එකක ග්‍රෑම් දෙසිය පනහේ එළවළු තුන හතරක් දාගෙන ගෙදර එන්න වෙලා තියෙනවා.'' යැයි මිරිහාන මාධවී කුමාරපේලි මහත්මිය දේශයට පැවසීය.
හතු පිපෙන්නා සේ කෑම කඩ නගරයක් පාසා ඉදිවී ඇත. මීට පෙර රාත්‍රී කාලයේදී විශේෂයෙන් බොහෝ නගරවලින් ඇසෙන්නේ සංගීතයට අනුව හඬ නංවන කොත්තු තැටියේ ශබ්දයයි. කැරට්, බෝංචි, ලීක්ස්, ලූනු කොළ සමඟ මුසුවූ පරාටා කැබලි කොත්තු තැටියේ එහා මෙහා යමින් රසවත්ව මස් හොද්දක් සමඟ හෝටල් මේසයට ගිය ද අද වන විට කොත්තුවල එලෙස එළවළු කැබලි දිස්වන්නේ නැත. අද එවැනි ඇතැම් කොත්තු කඩ තාවකාලිකව වසා ඇත. ඇතැමුන් තම හිතුමතේට කොත්තු පිඟානක, ෆ්‍රයිඩ් රයිස් පිඟානක, නූඩ්ල්ස් පිඟානක මිල වැඩි කර ඇත. මේ අතර ඇතැම් හෝටල්වලට අලුත් කෑම පිඟානක් එක්කොට ඇත. එළවළු කොත්තු, බිත්තර කොත්තු, මාළු කොත්තු, කුකුළු මස් කොත්තු, සී ෆුඩ් කොත්තු සාමාන්‍ය ලෙසින් අලෙවි කළ ද අද වන විට එයට 'කැරට් ඇති කොත්තු හා කැරට් නැති කොත්තු' ලෙසින් තවත් අංගයක් එක් වී තිබේ. කැරට් සමඟ කොත්තුවක මිල ඉතා ඉහළය. ඒ තරමට එළවළු මිල ඉහළ ගොස් ඇත. වර්තමානයේදී ෆ්‍රයිඩ් රයිස් හෝ කොත්තු පිඟානකට කැරට්වලට වඩා කුකුළු මස් එක් කිරීම වාසි සහගත වී තිබේ.
''අපි විවාහ උත්සව ඇතුළු උත්සව බාරගෙන තියෙන්නෙ ගිය වසරේ තිබුණු මිල ගණන්වලට අනුවයි. හැබැයි මේ අවුරුද්දෙ කැරට්, ලූනු ඇතුළු එළවළු මිල වැඩිවීමත් එක්ක අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. ඒ වගේම බොහෝ භාණ්ඩවලට බදු අය කරනවා. ඒ හැමදේම නිසා මේ කර්මාන්තය අද වෙද්දි ලොකු අනතුරකට ලක්වෙලා. ගිය වසරේ අපි මේ උත්සව බාරගනිද්දි ලූනු කිලෝවක් රුපියල් සීය, එකසිය විස්සට වගේ වුණා. අද වෙද්දි සාමාන්‍ය බොම්බයි ලූනු කිලෝවක් රුපියල් හාරසිය පනහක් විතර වෙනවා. ඒ හැමදේම නිසා අපිට මේ කර්මාන්තය දරාගන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා. බදු ප්‍රශ්න, එළවළු මිල ප්‍රශ්න නිසා ඉදිරියේදී තවත් මේ කර්මාන්තය කඩා වැටෙනවා. මිනිසුන්ගේ රස්සා නැතිවෙද්දි මේ බොහෝ දෙනා අඩු පඩිවලට විදෙස්ගත වෙනවා. අද අපේ කර්මාන්තයේ නියැලුණු බොහෝ චෙෆ්ලා මේ වෙද්දි විදෙස්ගත වෙලා. සමහරු විදෙස්ගත වෙන්න උත්සාහ කරනවා. රෙස්ටුරන්ට් එකක වැඩ කරන බොහෝ දෙනාගේ රස්සාවල් නැතිවෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඕනෑ කියලා රජය කොයි තරම් කිව්වත් ඒකෙදි නිසි වැඩපිළිවෙළක් වෙන්නෙ නැහැ. සංචාරකයන්ට රසට, පිළිවෙළට අපේකමට අනුව කෑම ටික පිළියෙළ කරන්න අද බැරිවෙලා තියෙනවා. සමහර බාරගත්ත විවාහ උත්සව මිල ගණන් නැවත කතා කරන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නැහැ.
මේක විශාල ප්‍රශ්නයක්. අඩුම තරමේ කේටරින්වලදි මේ දවස්වල ඇණවුම්වත් බාරගන්නෙ නැහැ. කැරට්, බෝංචි නැති ෆ්‍රයිඩ් රයිස් එකක් නැහැ. හැබැයි මේ එළවළු මිලත් එක්ක ඒක දරාගන්න බැහැ. බොහෝ උත්සවවලට වම්බටු මෝජු හදනවා. වම්බටු තෙල්වල මිලත් එක්ක දරාගන්න අමාරුයි. අමුමිරිස් කිලෝවක් රුපියල් දාහකට වැඩියි. ඉතින් මේ මිලට ඇණවුමක් බාරගන්න අද අමාරුයි. ඒ නිසාම මේ ක්ෂේත්‍රයේ නියැලෙන ඇතැම් ව්‍යාපාරිකයන් ඒකෙන් ඈත්වෙලා තියෙනවා. බාරගත්ත ඇණවුම් පවා ඒ මුදලට දෙන්න බැරි නිසා නැවත ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඇත්තටම මේක විවාහ උත්සව ඇතුළු සියලු උත්සවවලට විශාල ගැටලුවක් වී තියෙනවා.'' යැයි සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සපයන්නන්ගේ සංගමයේ සභාපති සාලිය රවී මහතා පැවසීය.
කෙසේ වුවද පසුගිය දිනවල පෑලියගොඩ එළවළු වෙළෙඳ සංකීර්ණය ඇතුළු සියලුම ආර්ථික මධ්‍යස්ථානවල එළවළු ඉතා ඉහළ මිලකට අලෙවි වුවත් ඊට දින දෙකකට පමණ පසු නැවත එළවළු මිල ඉතා සුළු වශයෙන් අඩුවීමක් දක්නට ලැබුණි. පසුගිය සතියේ එක් දිනෙක හොඳ තත්ත්වයේ කැරට් කිලෝවක් තොග වශයෙන් රුපියල් දෙදහස් පන්සීයකට අලෙවි වුවද ඊට දින දෙකකට පසුව එම තත්ත්වයේම එළවළු කිලෝවක් රුපියල් එක්දහස් පන්සීයක් ලෙසින් අලෙවි විය. මෙයට හේතුව වූයේ ඉහළ ගිය එළවළු මිලදී ගැනීමට සිල්ලර වෙළෙඳුන් හා පාරිභෝගිකයන් වැඩි වශයෙන් නොපැමිණීම හේතුවෙන් එළවළු අඩු මිලකට විකිණීමට සිදු වී තිබීමය.
''අද එළවළු මිල පසුගිය දින දෙකටම වඩා ගොඩක් අඩුවෙලා තියෙනවා. ඊයේ හොඳම කැරට් රුපියල් දෙදහස් පන්සීයක් වුණාට අද හොඳම කැරට් කිලෝවක් රුපියල් එක්දහස් පන්සීයයි. බෝංචි කිලෝවක් රුපියල් හයසීයත් අටසීයත් අතර මිලකට තොග වශයෙන් විකිණෙනවා. ලීක්ස් කිලෝවක් තුන්සිය පනහයි. ඒ වගේම අනෙකුත් එළවළු මිල ද යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා. වෙළෙඳසලට පැමිණෙන වෙළෙඳුන්ගේ විශාල අඩුවීම නිසා සමස්තයක් ලෙස සියලුම එළවළුවල මිල පසුගිය දිනවල සාපේක්ෂව අඩුවෙලා තියෙනවා. මේ දවස්වල තොග වෙළෙඳුන් පවා සිල්ලර වෙළෙඳුන් වගේ ඉතා අඩු ප්‍රමාණයක් තමයි මිලදී ගත්තේ. ඉස්සර කිලෝ පනහක් පමණ මිලදී ගත් තොග වෙළෙන්දා අද කිලෝ දහයක් පහළොවක් වගේ තමයි අරගෙන යන්නේ. සමහරු ඊටත් අඩුවෙන් තමයි අරගන්නෙ. අපි නුවරඑළියෙන් තමයි එළවළු ගන්නෙ. අපිටම දෙන ගොවීන් නුවරඑළියේ ඉන්නවා. මේ එළවළු මිල ඉහළ යාමට අතරමැදියන්ගෙන් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. නුවරඑළියේම සමහර ගොවීන් කැරට් රුපියල් එක්දහස් පන්සීයට වගේ තමයි ගලවන්නෙ. මේකට ප්‍රධාන හේතුව වර්ෂාවයි. මේ ධාරානිපාත වර්ෂාව, නාය යාම හේතුවෙන් විශාල බෝග අස්වනු විනාශ වුණා.'' යැයි පෑලියගොඩ එළවළු වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළෙන්දකු වූ කතිෂ්ක පල්ලගේ මහතා දේශයට පැවසීය.
මේ දිනවල හෝටල්වල වැඩි වශයෙන් ආහාරයට එකතු කරනු ලබන්නේ පරිප්පු, අල, මඤ්ඤොක්කා, කොහිල, අඹ වැනි දෑය. තෝසේ සඳහා ලබා දෙන හොද්දේ පවා අද වම්බටු, වට්ටක්කා, බෝංචි සොයා ගැනීමට නොහැකිය. ඒ වෙනුවට ඇත්තේ සිහින්ව කැපූ අල කැබලි කිහිපයක් සමඟ සෝයා ය. ඒ අනුව අද වන විට ලාභ යැයි සඳහන් කළ හැකි කිසිදු එළවළුවක් නොමැත. කෙසේ වෙතත් කැරට් ආහාරයට නොගැනීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවේ. කැරට් අත්‍යවශ්‍ය එළවළුවක් ද නොවේ. මේ දිනවල වෙළෙඳපොළේ දෙල්වල මිලෙහි යම් අඩුවක් ඇත. නමුත් සෑම දිනකම දෙල් ද ආහාරයට ගත නොහැකිය.
''එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට වගකියන්න ඕනෑ කළුකඩකාරයොයි. ගොවීන් තම වගාවන් සිදු කරනු ලබන්නේ ණය වෙලයි. ඒ අතරේ මේ කළුකඩකාරයන් බීජ ලබා දෙමින් පොහොර ලබා දෙමින් අවශ්‍යතා අනුව මුදල් ලබා දෙමින් ගොවීන් තමන්ට යටතට ගන්නවා. ගොවීන් හැම මොහොතකම අසරණ වුණා. ඔය අතරේ වර්ෂාව වැඩිවීමෙන් වගා අස්වැන්නට හානි සිදු වුණා. එයින් සැපයුම අඩු වුණා. ඉල්ලුම වැඩි වුණා. එයින් කළුකඩකාරයන් අයුතු ප්‍රයෝජන ලබාගත්තා. අද ගොවීන් අසරණ වෙද්දි කළුකඩකාරයන් වැජඹුණා. පසුගියදා කළුකඩකාරයන් කැරට් ඇතුළු සියලුම එළවළු ඉතා වැඩි මුදලකට විකිණීමට උත්සාහ කළා. එයින් බොහෝ පාරිභෝගිකයන් එළවළුවලින් ඈත් වුණා. ඒ නිසාම වෙළෙදාම් ඉතා පහළ අගයක් ගත්තා. නැවතත් එළවළු මිලෙහි පසුගිය දින දෙක තුනකට සාපේක්ෂව යම් අඩුවක් තියෙනවා. නමුත් මෙය ද රටේ ජනතාවට දරාගන්න අමාරුයි. කැරට් ඇතුළු එළවළු මිල වැඩිවීමට හේතුව තවමත් මේ සම්බන්ධ නිලතල දරන නිලධාරීන් කිව්වෙ නැහැ.'' යැයි ජාතික පාරිභෝගික පෙරමුණු නායක අසේල සම්පත් මහතා පැවසීය.
I දිශානි ජයමාලි කරුණාරත්න