2024 ජනවාරි 20 වන සෙනසුරාදා

කවීගේ කචකචේ තුළින් ගොඩනැගුණු K catchy

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

නූතන මාර්ගගත වාණිජ ලෝකය සාම්ප්‍රදායික ව්‍යාපාරික අදහස් අතික්‍රමණය කරනවා. ලංකාවේ සමාජ මාධ්‍යය තුළ ගොඩනැඟුණු ව්‍යාපාර පිළිබඳව අපි ඉඳහිට කතා කරන්නෙ ඒ නිසාමයි. සැබවින්ම ව්‍යවසායකත්වය ප්‍රියකරන තරුණ පරම්පරාවට මාර්ගගත වාණිජ ලෝකය තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න හොඳ තෝතැන්නක්.

මේ වෙනකොටත් ලංකාවේ FACEBOOK සහ TIKTOK සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ අතිශය ජනප්‍රිය ව්‍යාපාර සන්නාමයක් පිළිබඳ අද අපි කතා බහ කරන්න හිතුවා. බොහෝ විට ඔබ K Catchy ගැන අසා ඇති. ව්‍යාපාරයේ බොහොම ජනප්‍රියයි. ඒකට හේතුව මෙහි හිමිකාරිය. ඇය නමින් කවී නිම්ෂා.

ඇය බොහොම ජනප්‍රිය සමාජ මාධ්‍ය තාරකාවක්. ව්‍යාපාරය ගොඩනගන්නේ තමන්ගේ ජනප්‍රියත්වය සහ හැකියාව පදනම් කරගෙන. මේ ව්‍යාපාරය තුළ අලෙවි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම Beauty Cosmetic සහ දෛනික ජීවිතයේදී බොහෝ දෙනාට අවශ්‍ය වෙන පුංචි උපකරණ. ඇත්තටම එක දෙයක් කියලා නෑ. ඇයට ඕනෑම දෙයක් විකිණීමේ අපූරු හැකියාවක් තියෙනවා.

ඇත්තටම මෙතැන ව්‍යාපාරය සිද්ධ වෙන්නේ Video Content පදනම් කරගෙන. කවීගේ භාවිතය පිළිබඳව අධ්‍යනය කරල බැලුවම ඒක ඇයට අනන්‍ය වෙච්ච අපූරු ක්‍රමයක්. මුළුමනින්ම වෙනස් භාෂා ශෛලියකින් ඇය තමන්ගේ රසිකයන් වගේම පාරිභෝගිකයන්වත් ආමන්ත්‍රණය කරනවා.

ඒ වගේම මේ ශෛලිය ඇතුළේ ඇය තමන්ගේ දෛනික ජීවිතය පිළිබඳ, තමන්ට හිතෙන දේවල් පිළිබඳ අදහස් බෙදාගන්නවා. තරුණියක් වීම නිසා සමාජ මාධ්‍ය ඇතුළෙ ලැබෙන ස්වභාවික ආකර්ෂණය පරයන, විශේෂ ආකර්ෂණයක් මේ සමඟම ඇයට ලැබෙනවා. මේක නිසා ඇයගේ ව්‍යාපාරය සහ ජනප්‍රියත්වය එකින් එක සම්බන්ධ වෙනවා.

සමාජ මාධ්‍ය භාවිතා කරන අතිශය බහුතරයක් දෙනා ඇගේ වීඩියෝ එකක් හෝ නරඹලා ඇති බව විශ්වාසයි. සමහරුන්ට ආදරේ හිතෙන, සමහරුන්ට බනින්න තරම් කේන්ති යන, තවත් සමහරුන්ට හොඳ හැටි හිනා යන මේ නිරෑපණය සරලවම කිව්වොත් හරිම යුනික්. සරලව කිව්වොත් ඇය කතා කරන්නේ හුරතල් තොඳොල් භාෂාවකින්.

ඒක තමයි ඇගේ ආකර්ෂණයේ රහස. ව්‍යාපාර සාර්ථකත්වයට මූලික හේතුව. ඇය සඳහන් කරලා තියෙන විදිහට Craft බඩු සේල් කිරීම හරහා තමා කවී මේ ව්‍යාපාරයට අත්පොත් තියල තියෙන්නේ. K Catchy විතරක් නෙවෙයි K Catchy Skin Care වගේ තවත් ව්‍යාපාර සන්නාම කිහිපයක් එක්ක මේ වනවිට ඇය ඉදිරියට යමින් ඉන්නවා. දැන් මේ ව්‍යාපාරයට වසර හතරක් පහක් වයසයි.

අපේ නිරීක්ෂණ අනුව, මේ කාලය තුළ සමාජ මාධ්‍ය තුළ කවී නිම්ෂාහට මුහුණපාන්න වූ අභියෝග සුළුපටු නෑ. විටක ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා ඇයට අහිමි වූ අවස්ථා දැකගන්න පුළුවන්. සිය දහස් ගණනක තමන්ගේ පාරිභෝගික සහ රසික සමූහයක් සිටින සමාජ මාධ්‍ය ගිණුම් අහිමිවීම මේ වගේ ව්‍යාපාරයක් ඇතුළෙ සුළුපටු අභියෝගයක් නෙවෙයි.

ඒ වගේම ඇය තමන්ගේ වීඩියෝවල විටින්විට සඳහන් කරන ආකාරයට මේ වගේ ව්‍යාපාරයක් කරන තරුණි‌ෙයක්ට මුහුණ දෙන්න පුළුවන් ඉතාම නරක අත්දැකීම්වලට ඇය මුහුණදීලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ සැරිසරන විකෘති මානසික ස්වභාවයන් තිබෙන මිනිසුන් මේ වගේ ජනප්‍රිය අය ඉලක්ක කරගෙන විවිධ සමාජ මාධ්‍ය හිංසනයන් සිදුකරනවා.

ඒක කවීට විතරක් මුහුණ දෙන්න වෙන තත්ත්වයක් නෙවෙයි. සමාජ මාධ්‍ය භාවිතා කිරීමෙන් නැගී සිටින්න උත්සාහ කරන ගොඩක් තරුණ ව්‍යවසායිකාවන්ට මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය ව්‍යාපාර අතහැර දැමීමටත් ඒක හේතුවක්. නමුත් ඒ අතරින් මෙම තත්ත්වයන් කළමනාකරණය කරගෙන ඉදිරියට යන අය තමා ග්‍රහණය කරන්නෙ.

කවී සඳහන් කරන විදිහට ඇය තේරුම් අරගෙන ඉන්නවා ඇය මේ සමාජ මාධ්‍ය වේදිකාව තුළ ගමන් කරන්නේ පාරිභෝගිකයන් සමඟ පමණක් නොවෙයි. ඇයට ආස කරන අයත් වෛර කරන අයත් ඇගේ වටා ඉන්නවා. ඒ සියල්ලන්ගේම එකතුවෙන් තමයි ඇගේ ව්‍යාපාරය ප්‍රසාරණය වෙන්නෙ. සැබවින්ම එක තමයි සමාජ මාධ්‍ය තුළ ගොඩනැගෙන ව්‍යාපාරවල ස්වභාවය.

කවී නිම්ෂා කියන්නෙ ශ්‍රී ලාංකීය සමාජ අවකාශයේ කුඩා පරිමාණ ව්‍යාපාර ස්ථාපිත කිරීමේ පුරෝගාමී චරිතයක් විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ ව්‍යාපාර ඇය ආරම්භ කරපු කාලේ එතරම්ම ජනප්‍රිය නෑ. ඒ අද වෙනකොට මේක වෙනම ව්‍යාපාර ධාරාවක් විදියට ගොඩනැඟී හමාරයි.

කවී දෙස බලලා ව්‍යාපාර ආරම්භ කරපු තරුණියන් ඕනෑතරම් මේ අවකාශය තුළ සිටිනවා. ඒ නිසාමයි අපි ඇයව මේ ක්ෂේත්‍රය තුළ පුරෝගාමී චරිතයක් විදියට හඳුන්වන්නෙ. ඒ වගේම විටින් විට ඇය සමාජ මාධ්‍ය වෙත මුදාහරින වීඩියෝ පටවල හා විනෝදය සේම අධ්‍යාපනික වටිනාකමකුත් ගැබ්ව තිබෙන බව සඳහන් කළ යුතුයි.

බොහෝවිට තරුණ ව්‍යවසායිකාවන්ට ඇය ලබාදෙන උපදෙස් ඉතාම ආකර්ෂණීයයි. ඒ වගේම තමන්ගේ රසික සමාජය පරිස්සම් කරගන්න, පාරිභෝගිකයන්ගෙ හිත් නොරිදා කටයුතු කරන්න දරන ප්‍රයත්නයත් සියුම්ව නිරීක්ෂණය කළොතින් හරිම අපූරු එකක්. සමහරුන්ට බනින්න හිතන කතා ශෛලියක් භාවිතා කරමින් ඇය කරන මේ වැඩේ, ලංකාවේ මේ තරම් සාර්ථකව කරන තවත් කෙනෙක් නැති තරම්.

කොහොම නමුත් අවස්ථා ගණනක අභියෝග ජයගනිමින් මේ වනවිට ඇය ඉතාම සාර්ථක ගමනක් පැමිණ සිටිනවා. ''Everything in One Place'' කියන ආකාරයේ තේමාව කවී භාවිතා කරන්නේ සඳහන් කරලා ඇයගේ ව්‍යාපාරික හීනයත් සමාජ මාධ්‍ය තුළ සියල් සපිරි මාර්ගගත අලෙවිසලක් නිර්මාණය කිරීම. අපි ඇයට ජය ප්‍රාර්ථනා කරනවා. 

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00