ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මෙම මස 30 වැනිදා ඉසිඹු ලැබීමට නියමිතව සිටී. ඔහුගේ රාජකාරි ජීවිතයේ අත්දැකීම් ඇසුරෙන් ලියූ ලිපි මාලාවේ පළමුවැන්න පසුගිය සතියේ පළවූ අතර මේ එහි දෙවැනි කොටසයි.
වර්ෂ 2018ක් වූ ඔක්තෝබර් මස 26 වැනිදා දේශපාලනය මෙහෙම යැයි කියාපාමින් ඇරඹුණු දින 52 ආණ්ඩු සමය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුතම කාලපරිච්ඡේදයක් සනිටුහන් කරන්නට සමත්වූ බව නොරහසකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එතෙක් අග්‍රාමාත්‍ය වී සිටි රනිල් වික්‍රමසිංහ ධුරයෙන් නෙරපමින් එකට ආප්ප කෑ මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස පත්කළේ මෙරට දේශපාලනය උඩුයටිකුරු කරමිනි. දින 52 ආණ්ඩු සමයේ රාජකාරි මතකය අවදි කරමින් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා ලෙස ඔහු මුහුණදුන් අත්දැකීම ඔහු මෙසේ හෙළි කළේය.
''අපි රජයේ නිලධාරීන්. අපිට දේශපාලනයක් අදාළ නෑ. ඒත් මේ දින 52 ආණ්ඩුව වකවානුවේ අපි දෙපැත්තකින් හිරවුණා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව කල් දානකොට පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා මතයක් ගෙනාවා ස්ථාවර නියෝගවල තියෙන අභිමතය ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුව කැඳවීමට. එම ස්ථානයේ කතානායක කරු ජයසූරියත්, වේත්‍රධාරී විදිහට මමත්, හිටපු මහලේකම් ධම්මික දසනායකත්, නීල් ඉද්දවලත්, කතානායකවරයාගේ මාධ්‍ය ලේකම් පමණයි හිටියේ. ඒ වෙලාවෙදී අපි එකහෙළා ඒකට විරුද්ධ වුණා. අපි ඒක වැරුදියි කියන මතයේ හිටියා. මෙම සිද්ධියේදී මට ලොකු බලපෑම් ආවා. වේත්‍රධාරී කියන්නේ පොදුපෙරමුණ එක්ක පක්ෂග්‍රාහී පුද්ගලයකු බවට මට ඇතැම් මන්ත්‍රීලා ගැරහුම් කළා. මම ඒවාට සැලුණා නම් අද මම මෙතැන නෑ. කිසිම උත්සවයක් නැතිව ප්‍රතිපත්ති ප්‍රකාශයක්වත් නැතිව පාර්ලිමේන්තුව රැස්වුණා ජනපති සමඟ. එදා ඉඳන් තමයි මේ ප්‍රශ්න මතුවුණේ. නීත්‍යනුකූල නොවන තීරණවලට අවනත නොවන නිසා මාව රුකියාවෙන් අස් කරන්නත් හිටපු මහලේකම්වරයාට ඇතැමුන් බලපෑම් කරලා තියෙනවා. මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා තමයි අගමැති වුණේ. දිනේෂ් ගුණවර්ධන සභානායක හැටියටත් එස්.බී. දිසානායක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියටත් පත්කරල තිබුණා. ඒ වෙලාවෙ ඒ ප්‍රකාශය අනුව අපි කටයුතු කළා. ඒ වෙලාවෙ අවශ්‍ය කටයුතු සියල්ල මම කළා. සභානායක කාර්යාලයටත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගේ කාර්යාලයටත් ආරක්ෂාව ලබාදුන්නා. ඒ පාර මට ලේබල් ඇලෙව්වා පොදුපෙරමුණකාරයෙක් කියලා. එතකොටත් දිගින් දිගටම මගෙ වැඩ තහනම් කරන්න කියලා දැඩි බලපෑම් ඇවිත් තියෙනවා. ඒත් හිටපු මහලේකම්වරයා මට ඒ ගැන දැනෙන්ටවත් ඉඩ තිබ්බේ නෑ. ඔහු මට ඒ ගැන කිව්වේ ඔහුත් විශ්‍රාම ගියාට පස්සෙයි.”
පාර්ලිමේන්තු සභා ගර්භයට ජනපති අගමැති කතානායක කිසිදු පුද්ගලයකුට ආයුධ රැගෙන යාමට නොහැකිය. එහෙත් එක් පුද්ගලයකුට පමණක් ආයුධයක් රැගෙන මැතිසබේට ඇතුළු විය හැකිය. ඒ ආයුධයත් එසේ මෙසේ ආයුධයක් නොව කඩුවකි. මෙසේ කඩුවක් රැගෙන යා හැකි එකම පුද්ගලයා වනුයේ වේත්‍රධාරීවරයාය. ඒ කඩුව ඔහුගේ විශේෂ අවස්ථා නිල ඇඳුමට අයත් අංගයකි.
“නොවැම්බර් මස 15 වැනිදා පිහි දෙකක් සන්තකයේ තබා ගනිමින් පාර්ලිමේන්තුවට ඇතුළු වූ මන්ත්‍රීවරුන් දෙදෙනකු පිළිබඳ අනාවරණය වුණා. එක්කෙනෙක් පාලිත තෙවරප්පෙරුම. අනෙක් මන්ත්‍රීවරයා වූයේ රංජන් රාමනායක. මේ මන්ත්‍රී දෙදෙනා ළඟ පිහි දෙකක් සන්තකයේ තිබූ බවට සාක්ෂි සහිතව ඒ කාලයේ මාධ්‍ය වාර්තා පළවුණා. ඒ පිහි දෙක අරගෙන තිබුණේ පාර්ලිමේන්තුවෙ කේටරින් අංශයෙන් බවටත් කළ විමර්ශනවලදී අනාවරණය වුණා.”
මෙම ගැටුම අතරතුර අනතුරක් වූ බව කියමින් දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා රෝහල් ගතකරනු ලැබීය. මෙම කාලසීමාවේදීම පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරමින් දෙස් විදෙස් ඇස් කඳුළින් තෙත් කළ නොවැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරමින් කතානායක පුටුවට වතුර හලමින්, මිරිස් කුඩු ප්‍රහාර පමණක් නොව මන්ත්‍රීවරයකු බයිබලයකින් පවා දමා ගැසූ බවටද චෝදනා රුසක් එල්ල විය. මැතිසබේ ගිනියම් වූ එදවස මෙහෙයුම පිළිබඳ ලිපි මාලාවේ පළමුවැන්නෙන් අපි අනාවරණය කළෙමු.
එම කලබගෑනියෙන් පසු කල්තැබූ පාර්ලිමේන්තුව පසුදා යළි රුස්වීමට නියමිතව තිබිණ. එදින පාර්ලිමේන්තු ඉතිහාසය ලෙයින් තෙත් වන්නට තිබූ දිනයක් වූ අතර එම ඉරණම වෙනස් වූයේ එක් නිලධාරියකුගේ මැදිහත්වීමෙන් කළ මහා මෙහෙයුමකිනි. ඔහු පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී අප කතානායකයා වන නරේන්ද්‍ර ප්‍රනාන්දුය. මේ එදවස පිළිබඳ ඔහුගේ හෙළිදරව්වයි.
“එදා මට රහසිගත තොරතුරක් ලැබුණා පිරිසක් පාර්ලිමේන්තුව ඇතුළට හානිදායක දෑ රැගෙන පැමිණෙන්නට සිටිනවා කියා. මා මේ ගැන කතානායක දැනුවත් කළා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවට පිවිසෙන මැතිඇමැතිවරුන්ගේ ශරීර පරීක්ෂාව කරන්නේ ප්‍රවේශ දොරවල පමණයි. ඒත් මා කතානායකතුමාට කිව්වා සභා ගර්භයට ඇතුළු වන දොරවල පිවිසෙන්නන්ගේ ශරීර පරික්ෂාවක් කරන්න ඕනෑ කියලා. කතානායකතුමා ගත් කටටම කිව්වා මට ඒක කරන්න බෑ කියලා. මම කිව්වා එහෙනම් මට ඒකෙ වගකීම බාරගන්න බෑ කියලා. ඒ පාර කතානායකතුමා ටිකක් කල්පනා කරල මට කිව්වා ඔහුට මේකට අවසර ගන්න පක්ෂ නායකයන්ට දාන්න ඕනෑ කියලා. කතානායකතුමා, මේ වෙලාවෙ පක්ෂ නායකයන් සමග කතා කර කර ඉන්න වෙලාවක් නෑ. මට ඔබතුමාගෙ තීරණය මේ දැන් හදිසියි කියලා මම කිව්වා. කතානායකතුමායි මා අතර මේ වෙලාවෙ යම් මත ගැටීමක් වුණා. මම මේ කරන්න යන්නේ පාර්ලිමේන්තුවෙ සියලුදෙනාගේ ගෞරවය ආරක්ෂා කරන්නට බව මම කිව්වා. මේ අවස්ථාවෙ කතානායකතුමා ඉතා අකැමැත්තෙන් මේ සඳහා මට අවසර ලබාදුන්නා. පොලීසියෙ නිලධාරීන් මැතිසබා දොරවල ස්ථානගත කළා. පරීක්ෂාවට අවශ්‍ය පහසුකම් ලෑස්ති කළා. මැතිසබේට පැමිණෙන සියලු මන්ත්‍රීවරුන්ගේ ශරීර පරීක්ෂාවක් හදිසියේම කළා. මැතිසබේ ඇතුළට පැමිණෙන්නට කලින්ම මේ ශරීර පරික්ෂාව බොහෝ මන්ත්‍රීවරුන්ට ආරංචි වී තිබුණා. ඇතැමුන් තම තමන් ගෙනා දේවල් මග දමා ඇවිත් තිබුණා. මේ නිසා වෙන්නට ගිය මහා විනාශයක් වැළකුණා කියා අපි හිතනවා.
“පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ අපිට නිම කළ නොහැකි සහයෝගයක් ලබාදුන්නා. අපි ගත් සියලු විධිවිධානවලින් පාර්ලිමේන්තුවේ වන්නට තිබූ අයහපත් බොහෝ දේ වැළැක්වුණා. ඒ ගැන යම් සතුටක් තිබෙනවා.”
නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට පාර්ලිමේන්තුවෙන් තොර ජීවිතයක් තිබිලාම නැද්ද කියා මෙම ලිපි මාලාව කියවන පාඨකයාට ප්‍රශ්නයක් නැගෙන්නටත් බැරිකමක් නැත.
එක්දරු පියකු වන නරේන්ද්‍ර ප්‍රනාන්දුගේ බිරිය වන තුෂන්ති ප්‍රනාන්දු වෘත්තියෙන් ගණකාධිකාරීවරියක ලෙස සේවය කරන්නීය. ඔහු පවසනුයේ තම රාජකාරිය වගේම තම පෞද්ගලික ජීවිතයත් සාර්ථක වූයේ බිරිය තමන් පසුපස සෙවණැල්ලක් සේ සිටි නිසා බවයි. තම එකම පුතුගේ විවාහය දවසෙත් තමාට රාජකාරියේ නියැලෙන්නට වූ බව ඔහු මතක් කළේ පියකුගෙ කඳුළු දරුකමට මුතුකැට වුණා සේය.
“මට මතකයි මගේ පුතා විවාහ වූයේ 2018 දෙසැම්බර් 5 වැනිදා. මම එදා පාර්ලිමේන්තුවෙ වැඩ. හවස් වරුවෙ විවාහ මංගල උත්සවයට යන්නට නොහැකිව මම එදා දහවල් 1 පසුවෙද්දීත් පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව ගැන තිබූ අවිනිශ්චිත බව නිසාත්, මන්ත්‍රී කලකෝලාහල නිසාත් කතානායකතුමා මට තරයේ කිව්වා ඔයා යන්න එපා ඔයා ඉන්න කියලා. මට ගෙදරින් පිටත්වීමේ නැකත තිබුණේ දෙකයි ගාණට. මම අවසාන මොහොතේ කතානායකතුමාට කිව්වා සර් දැන් තත්ත්වය සමනය වෙලා තියෙන්නේ මට දැන් නම් යන්නම ඕනෑ කියලා. මගේ පුතාගෙ මගුල් ගෙදරට ආරාධනා කර තිබුණේ ඒ කාලයේ හිටපු කතානායක කරු ජයසූරියටත්, හිටපු කතානායකවරයකු වූ චමල් රාජපක්ෂටත් පමණයි. විවාහ උත්සවයට මැතිඇමැතිවරු ගොඩක් ඉඳී කියලා ගොඩක් අය හිතුවත් මට නෑයො ගොඩක් ඉන්න නිසා මම එහෙම කළේ නෑ. පියකු හැටියට මගේ පුතාගෙ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක අවසන් මොහොත වෙනකල්ම වගකීම් ඉටුකරන්න මට බැරිවුණා කියලා මම හිතනවා මම රජයේ නිලධාරියෙක් විදිහට හිටපු නිසා. උත්සවයේ ගොඩක් වැඩ කළේ මගේ බිරිඳ සහ මගේ නෑදෑයන්.”
(ග්‍රෙනේඩ් බෝම්බයෙන් කතානායක බේරාගන්න කළ මහා මෙහෙයුම දැනගන්න ලබන සතියේ දේශය කියවන්න.)
I සසංක චලන ගිම්හාන